×

උගන්ඩාවේ කොන්ඩම් හමුදාව

උගන්ඩා යුධ හමුදාව, උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් නිෂ්පාදනයට බහී.


උගන්ඩා යුධ හමුදාව “උලින්සි” (Ulinzi) යන සන්නාමයෙන් යුත් කොන්ඩම් නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

“උලින්සි” යනු ස්වාහිලි බසෙන් ආරක්ෂාව යන්නයි.

මේ කොන්ඩම් නිෂ්පාදනයේ අරමුණ, උගන්ඩා සොල්දාදුවන් එච්.අයි.වී. ආසාදනයෙන් මුදා ගැනීම බව සඳහන් වේ.

උගන්ඩාවේ වෙසෙන වැඩිහිටියන්ගෙන් 6%කට ආසන්න පිරිසකට එච්.අයි.වී. අසාදනය වී ඇත. එරට යුධ හමුදාවෙහි සේවයේ නියුතු විශාල පිරිසක් ද එච්.අයි.වී. ආසාදිතයන් බව අනාවරණය වී තිබේ. හමුදා සාමාජිකයන් ඒ තත්ත්වයට පත්වන්නේ ඈත ප්‍රදේශවල සේවයෙහි නිරතවීම නිසයි. ඒ ප්‍රදේශවලදී ඔවුහු විවිධ කාන්තාවන් ඇසුරු කරති. එවැනි ඇසුර පවත්වා ගන්නා යුධ හමුදා සාමාජිකයන් සෑහෙන සංඛ්‍යාවක් සිය නිවෙස්වලට නැවත පැමිණෙන්නේ එච්.අයි.වී. ආසාදිතයන් හැටියට බව සනාත වී තිබේ. නිවෙස්වල සිටින බිරියෝ ඔවුන් මාර්ගයෙන් එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වෙති. යුධ හමුදා උප සංස්කෘතියට ගැලපෙන අන්දමේ ආවරණයක් සහිත කොන්ඩම් හඳුන්වා දීමට යුධ හමුදා බලධාරීහු මේ නිසා තීරණය කළහ.

“… මේ රස්සාව අභියෝග සහිතයි. සොල්දාදුවන් යුධ සහිත කලාපවල සේවය කිරීමට යනවා. එහිදී හමුවන ගැහැනුන් සමඟ ඔවුන් සතුටු වෙනවා. ඒ වුණත් ඔවුන් නිවෙස් කරා පැමිණි විට ඔවුන්ගේ බිරියන් එච්.අයි.වී. ආසාදනයට ලක්වීමෙන් ආරක්ෂා කරගත යුතු වෙනවා. …” කියා උගන්ඩා සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරිණියක වන වස්තා කිබ්රිගේ පැවසුවාය.

එච්.අයි.වී. ආසාදිතයන් මිලියන 1.3කට ආසන්න සංඛ්‍යාවක් උගන්ඩාවෙහි මේ වනවිට වෙසෙති. එසේ වුවත් ජීවිතයක්ෂයට පත්වන ආසාදිතයන් සංඛ්‍යාව සාපේක්ෂව අඩුකරගන්නට උගන්ඩා රජය සමත්ව ඇත. ඒ, එරට රජය ජාත්‍යන්තර සංවිධානවල සහය ද ඇතිව ගෙන යන වැඩපිළිවෙල නිසයි. 1999දී 74,000කට අධික සංඛ්‍යාවක් එච්.අයි.වී. නිසා ජීවිතක්ෂයට පත්වුවත් 2017දී එම සංඛ්‍යාව 50,000 දක්වා පහළ වැටුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ ප්‍රවණතාවයට සමගාමීව එච්.අයි.වී. ආසාදනයට ලක්වන සංඛ්‍යාවත් පහත හෙළා ගැනීමට උගන්ඩා රජයේ බලධාරීහු ක්‍රියාකරමින් සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි