×

සෞදිය ලෝක අමාරුවක වැටෙන හැඩ !

සෞදි අරාබියේදී පැවැත්වෙන්නට නියමිත "ඩාවොස් ඉන් ද ඩෙසර්ට්" (Davos in the Desert) සමුළුව වර්ජනය කරන්නට ලොව ප්‍රකට අයතනවල ප්‍රධානීහු පෙළ ගැසෙති.


“ඩාවොස් ඉන් ද ඩෙසර්ට් ” සමුළුව මේ මස අග භාගයේදී සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වෙන්නට නියමිතව ඇත. සමුළුව පැවැත් වෙන්නේ සෞදි පාලක මොහම්මද් බින් සල්මන් කුමරුගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීම සඳහායි.

සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී අබිරහස් ලෙස අතුරුදන් වීම පසුපස සෞදි රජය සිටිතැයි කියන සැකය මතුව තිබේ. මාධ්‍යවේදියාට කුමක් සිදුවීද යන්න සම්බන්ධයෙන් සෞදි රජය පැහැදිලි ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේත් නැත. පැවැත්වෙන්නට නියමිත “ඩාවොස් ඉන් ද ඩෙසර්ට්” සමුළුව වර්ජනය කරන්නට ලොව ප්‍රධාන පෙළේ ආයතන රැසක බලධාරීන් තීරණය කර තිබෙන්නේ මේ අර්බුධකාරී තත්ත්වය තුළයි.

ලෝක බැංකු සභාපතිවරයා, ඌබර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තැන, ලෝක ප්‍රකට ව්‍යාපාරික රිචර්ඩ් බ්‍රන්සන් ආදීන් සමුළුවට නොපැමිණෙන බව දැනටමත් දන්වා ඇත. වර්ජීනියා වෙළඳ සමූහයේ තවත් ව්‍යාපාරයක් සෞදි අරාබියේ ආරම්භ කිරීමට රිචර්ඩ් බ්‍රන්සන් එකඟ වී සිටියේය. ව්‍යාපාර වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයකට අධික මුදලක් සෞදියේ ආයෝජනය කිරීමට ඔහු සූදානම්ව සිටි බව සඳහන් වේ. එම ආයෝජනය සම්බන්ධයෙන් වන සියළු සාකච්ඡා නවතා දමන්නට රිචර්ඩ් බ්‍රන්සන් මේ වනවිට තීරණය කර තිබේ.

මේ අතර සමුළුවට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටි නිව් යෝර්ක් ටයිම්ස්, සී.එන්.එන්., ෆයිනෑන්ෂල් ටයිම්ස්, හෆින්ග්ටන් පෝස්ට් ආදී සමාගම්වල ප්‍රධානීහු ද සමුළුව වර්ජනය කරන පිරිස අතරට එක්ව සිටිති. ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්ටීව් ම්නුචින්, බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ලේකම් ලියම් ෆොක්ස් ද සමුළුවට සහභාගී වීමට නියමිත බව කලින් සඳහන් විණ. සමුළුව වර්ජනය කරන පිරිස අතර ඔවුන් දෙදෙනාත් සිටින බව තානාපති ආරංචි මාර්ගවලින් කියැවේ.

ජමාල්ගේ සහකාරිය

ජමාල්ගේ සහකාරිය

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගීව තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදීම මරා දමා ඇතැයි කියා තුර්කි බලධාරීහු පවසති. ඒ බව සනාත කළහැකි වීඩියෝ පටයක් සහ හඬ පට තමන් සතුව ඇති බව තුර්කි බලධාරීන් මාධ්‍යට පවසා තිබිණ. සෞදි අරාබියේ සිට හදිසියේම වාගේ පැමිණ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වුණු සෞදි බුද්ධි අංශ නිළධාරින් පහළොස්දෙනෙකු මෙයට සම්බන්ධ බවට සැකයක් මතුව තිබේ. ජමාල්, කොන්සල් කාර්යාලයට පැමිණි දිනයේම එම නිළධාරීන් පහළොස්දෙනා සෞදියේ සිට තුර්කියට පැමිණ තිබෙන්නේ විශේෂ ජෙට් යානා දෙකකිනි. එදිනම එම නිලධාරින් පිරිස තුර්කියෙන් නික්ම සෞදි අරාබියට ගිය බවට සාක්ෂිත් ඇත. මේ අතර තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ කෑකෝ ගැසීම්, උදව් ඉල්ලා කෑගැසීම් සහ දැඟලීම් සහිත ශබ්ද පැවැති බවත් ඒවා පැවතියේ ජමාල් ඛෂෝගී කොන්සල් කාර්යාලයට ඇතුළු වූ පසුව බවත් දැන් අනාවරණය වී තිබේ. එම ශබ්ද සියල්ලක්ම එකවරම නැවතී ගොස් කොන්සල් කාර්යාලය තුළ දැඩි නිශ්ශබ්දතාවයක් පළ වූ බවට සාක්ෂිත් ලැබී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි