×

රුසියානු ප්‍රහාරවලින් පසු යුක්රේනයට හමුදා නීතිය

යුක්රේන ජනපති පොරොෂෙන්කෝ රට තුළ හමුදා නීතිය බලාත්මක කිරීමේ නියෝගයට අත්සන් තැබුවේය.


ඒ, ක්‍රිමියානු අර්ධද්වීපය සහ කළු මුහුද ආශ්‍රිතව ඊයේ සිදුවූ යුක්රේන නෞකා 3කට රුසියාව විසින් පහර දීම හා ආක්‍රමණය කිරීමේ සිදුවීමට ප්‍රතිචාර දක්වමිනි.

මෙම හමුදා නීතිය රට තුළ මාස 2 ක කාලයක් සඳහා බලපැවැත්වීමට නියමිත ය.

ඒ අනුව නොවැම්බර් 26 වැනිදා, එනම් අද පටන් ජනවාරි 26 වැනිදා දක්වා හමුදා නීතිය පැනවෙනු ඇති.

කෙසේ නමුත් මෙය ක්‍රියාත්මක භාවයට පත්වීම සඳහා යුක්රේන පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය අතර, විචාරකයන් පවසන්නේ ඒ සඳහා කිසිදු විරෝධයක් එල්ල නොවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

යුක්රේන පාර්ලිමේන්තුව හඳුන්වන්නේ වෙර්කොව්නා රාඩා (Verkhovna Rada) යනුවෙනි.

යුක්රේන වාර්තාවලට අනුව, මෙම හමුදා නීතිය පිළිබඳ ආඥාව අත්සන් කිරීමට පෙර පටන්ම යුක්රේන හමුදාව නගර දිගේ වීදි සංචාරය කරන ආකාරය දැකගත හැකි වී තිබේ.

ඊයේ ඇති වූ සිද්ධියෙන් පසු රුසියාවට එරෙහිව යුක්රේනය තුළ තදබල විරෝධයක් හටගෙන ඇති අතර, කිව් අගනුවර පිහිටා තිබෙන රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වූ සිය ගණන් පිරිස් ‘රුසියාවට මරණය‘ යනුවෙන් හඬ ගාමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූහ. රුසියානු තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයක් ද ඔවුන් විසින් ගිනිබත් කර තිබේ.

Asia Times

Asia Times

කෙසේ නමුත් හමුදා නීතිය පැනවීම, මේ වන විට රට තුළ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති ජනපති පොරොෂෙන්කෝ හට වාසිදායක වනු ඇතැයි පැවසේ. බොහෝ යුක්රේන ජාතිකයන් මේ පියවර සලකන්නේ ජනපතිවරයාගේ දේශාභිමානය සහ ජාති ආලය ප්‍රකට කරන පියවරක් ලෙසිනි.

සිදුවීම කෙටියෙන්

යුක්රේන නාවික හමුදාවට අයත් නෞකා ගමන් ගනිමින් තිබී ඇත්තේ දෙරටේ වරායන් අතර ය. එනම් කළු මුහුදේ ඔඩෙස්සා වරායේ සිට ඇවොස් මුහුදේ මයියුපොල් වරාය දක්වා ය. මේ වරාය ද්විත්වය සම්බන්ධ කරන එකම මුහුදු තීරය ක්‍රිමියාව සහ රුසියාව අතර පිහිටා ඇති ක්‍රෙච් සමුද්‍ර සන්ධිය (Kerch Strait)යි.

2003 වසරේ දෙරට විසින් එළඹුණු නාවික ගිවිසුමක් අනුව මෙම සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට දෙරටේම නෞකාවලට හැකියාව තිබේ. එම ගිවිසුමේ අදාළ තාක්ෂණික රීති මෙන්ම එම පටු මුහුදු තීරය ඔස්සේ යාමේදී නෞකා විසින් අනුගමනය කළ යුතු නීති රීති ද පැහැදිලිව දක්වා තිබේ. මේ හරහා යන ඕනෑම නෞකාවක් ප්‍රදේශයේ නාවික තදබදය පාලනය කරන ක්‍රෙච් වරාය සමග සම්බන්ධතා පවත්වා ගත යුතුය. ක්‍රෙච් වරාය පාලනය කරන්නේ ක්‍රිමියාව විසිනි.

තමන් කල් තබාම සිය නෞකා ගමන ගැන ක්‍රෙච් වරායට දැනුම් දී තිබූ බව යුක්රේනය කියයි. මේ අතර රුසියාව පවසන්නේ එවැනි සන්නිවේදනයක් සිදු නොවූ බව ය. එසේම යුක්රේනය විසින් සැලසුම් සහගත ලෙස තමන්ව කෝප ගැන්වූ බව ද රුසියාව කියයි. එසේම අසල්වැසි දෙරට අතර ගැටුමක් ඇති කර, හමුදා නීතිය පැනවීම සාධාරණීකරණය කිරීමටත්, එමගින් මීළඟ මැතිවරණය ජය ගැනීමටත් යුක්රේන ජනපති පොරොෂෙන්කෝ සැලසුම් කරන බව රුසියාවේ මතයයි.

පෙර ලිපිය –

රුසියාව නිසා යුක්රේනයට හමුදා නීතිය පැනවෙන්නට ළඟයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි