×

ඔබ නොදන්න ඉරානය

ඉරානය, ලෝකයෙන් සීමා වූ - කොන් වූ - තනි වූ හුදෙකලා රටක් ලෙස බොහෝ දෙනා සිතුවත් සැබෑව එය නොවේ.


එය එක්තරා ආකාරයකින් අසිරිමත් දේශයකි.

ඉරානය ඇත්තෙන්ම ලෝකයේ තිබෙන අසිරිමත්ම රටකි. බොහෝ සුන්දර දේවල්, බොහෝ උනන්දුජනක දේවල් එහි සැඟවී තිබේ. මේ සංස්කෘතික සහ ඓතිහාසික වශයෙන් ධනවත් දේශය, 1970 දශකයේ පටන්ම සිය අනන්‍යතාවය නිර්මාණය කර ගත් දේශයකි. බටහිර ලෝකයෙන් හුදෙකලා වී සිටින්නට උත්සාහ කරන අතරම, එහි ජනතාව දිනපතා ගත කරන ජීවිතය ද උනන්දු සහගත ය. පහත දැක්වෙන්නේ ඉරානය ගැන මෙතෙක් නොසිතූ කතා රැසකි.

සංස්කෘතීන්ගේ මිශ්‍රණයක්


ඉරාන වැසියන්ගෙන් 98%ක් පමණම ඉස්ලාම් ආගමිකයන් ය. එයින් ද 89%ක්ම ෂියා මුස්ලිම්වරුන් ය. සුන්නි මුස්ලිම් වැසියන් 9%ක් පමණ සිටින අතර, ඉතිරි 2% ක්‍රිස්තියානි, බහායි, යුදෙව් සහ සියොනිස්ට්වාදීන් ය. නමුත් ඔවුන් පැවතගෙන එන්නේ එකිනෙකට අතිශයින් වෙනස් වාර්ගික කණ්ඩායම්වලින් වීම පුදුම සහගත ය. ඒ අනුව ඉරාන ජාතිකයන් ඉරානයේ සිටින්නේ 61%ක් පමණයි. 16%ක් අසිරි ජාතිකයන් ය. කුර්දිවරුන් 10%කි. ලුර්වරුන් 6%කි. බලූක් ජාතිකයන් 2%කි. අරාබි ජාතිකයෝ ද, තුර්කිමෙනිස්ථානියෝ ද වෙනත් තුර්කි ගෝත්‍රවලින් පැවතගෙන එන්නෝ ද ඒ අතර වෙති.

එකිනෙකට වෙනස් විවාහ ක්‍රම රැසක්

ඉරාන සංස්කෘතියේ වඩාත්ම උනන්දු සහගත ලක්ෂණයක් වන්නේ කෙටි කාලීන විවාහවල පැවැත්මයි. ඒවා විටෙක පැයක් හෝ පැය කිහිපයක් හෝ මාස කිහිපයක් දක්වා සීමා විය හැකිය. එය රඳා පවතින්නේ විවාහ ගිවිසුම මත ය. මේ ආකාරයේ කෙටි කාලීන විවාහවලට ෂරියා නීතියෙන් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව ඉරාන සංස්කෘතිය මගින් තනිකඩ ගැහැණු සහ පිරිමින්ට, දික්කසාද වූ ගැහැණු සහ පිරිමින්ට මෙන්ම විවාහාපේක්ෂිත අයට ද දීර්ඝ කාලීන පවුල් ජීවිතයකට ඇතුල් වීමට පෙර එකට ජීවත් වීමට අවස්ථාව ලබා දී තිබේ.

තාරුණ්‍යය පිරි රටක්

ඉරාන ජනගහනය මිලියන 80 ක් පමණ වේ. එයින් 70%ක්ම අවුරුදු 30 හෝ ඊට වඩා අඩු අය යි.

මේ අනුව ඉරානය, ලෝකයේ වඩාත්ම තාරුණ්‍යය පිරුනු ජාතියකි. ඔවුහු මේ වන විට ඉරානය වඩාත් ප්‍රගතිගාමී තැනකට ගෙන යාම සඳහා කටයුතු කරමින් සිටිති.

මැජික් බුමුතුරුණු


පර්සියානු බුමුතුරුණු හෙවත් පර්සියානු කළාල ඉන්ද්‍රජාලික සුන්දරත්වයකින් හෙබි ය. මේ බුමුතුරුණු වසර 2500 ක ඉතිහාසයක් තුළ ඇති වූ පළපුරුද්දෙන් ලැබෙන උරුමයකි. ඒ අනුව ඛණිජ තෙල් ළඟට ඉරානයේ විශාලතම අපනයන ආදායම ලබාදෙන්නේ පර්සියානු බුමුතුරුණු වලිනි. මේ සෑම කළාලයක්ම එයටම ආවේණික වටිනාකමකින් යුක්ත ය. එයට හේතුව එක් කළාලයක ඩුප්ලිකේට් එකක් ලෝකයේ වෙනත් කිසිම තැනක නොවන හෙයිනි.

Nose Job අගනුවර


ඔබ විශ්වාස කළත් නැතත්, ඉරානය මේ වන විට “Nose job capital of the world” යන විරුදාවලිය ලබා තිබේ. එයට හේතුව, එය ලෝකයේ නාසයේ හැඩය සකස් කර ගන්නා ලෝකයේ හොඳම තැන බවට පත් ව තිබේ. ඒ අනුව එම ප්ලාස්ටික් ශල්‍යකර්ම අතින් ඉරානය සිටින්නේ දකුණු කොරියාවට ද වඩා ඉහළ තැනක ය.

ඉරානය තුළ නාසය හෝ මුහුණේ හැඩය අවශ්‍ය පරිදි සකස් කර ගැනීම සැලකෙන්නේ සමාජයීය තත්වය ඉහළ දමාගැනීමක් ලෙස ය.

පර්සියන් කැට්


මේ මහේශාක්‍ය, ලොම් පිරුණු සුන්දර සත්වයා පුරාණ පර්සියාවේ පමණක් නොව, නූතන ඉරානයේ ද ආඩම්බරයයි. රාජකීය විලාසයකින් යුතු දේහ විලාසය පර්සියන් පූසාට ආවේණික ලක්ෂණයකි. එසේම පර්සියන් බළළා ලෝකයේ වඩාත්ම මිල අධිකතම සහ වඩාත්ම ජනප්‍රිය සුරතල් සත්වයෙකු ද වේ. ඉරාන කඳුකරයේ අති දරුණු ශීතලෙන් පවා ආරක්ෂා වීමට මේ ලෝම ප්‍රමාණවත් ය. දිගැතිය. මේ අනර්ඝ සත්වයා ඉරානයෙන් බටහිර ලෝකයට ගෙන ආවේ 17 වන සියවසේදී ඉතාලි ජාතිකයන් විසිනි. අද දක්වා ද සැබෑ පර්සියන් බළලුන් ඉහළ සමාජයේ ලක්ෂණයකි.

ආර්ය දේශය

‘ආර්ය‘ යන වදනට නොයෙක් තේරුම් තිබේ. නමුත් ඔබ දැනගත යුතු කාරණයක් වන්නේ එය පර්සියානු අධිරාජ්‍යයෙන් උරුම වූ, එයින් සම්භවය වූ වදනක් වන බවයි.

‘ඉරාන‘ යන වචනයේ අර්ථය වන්නේ පර්සියානු භාෂාවෙන් “Land of the Aryans” – ආර්යන්ගේ දේශය යන්නයි.

මේ අතර, ඉරානයේ අගනුවර වන්නේ ටෙහරොන් ය. පර්සියානු බසෙන් ටෙහරොන් යන්නේ අර්ථය ‘උණුසුම් බෑවුම‘ යන්නයි. එය අර්ථයටම ගැළපෙන නමකි. ටෙහෙරාන් නුවර පිහිටා තිබෙන්නේ ඇල්බෝර්ස් කඳුකරයේ දකුණුදිග උණුසුම් බෑවුම තුළ ය. එය ගිම්හානයේදී ෆැරන්හයිට් අංශක 104 දක්වා උණුසුම් වෙයි.

ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු

ලෝකයේ වැඩිපුරම ප්‍රසිද්ධ නිවාඩු ගණනක් තිබෙන්නේ ඉරානයේ ය. වාර්ෂිකව ඉරානයේ ප්‍රසිද්ධ නිවාඩු 25 ක් පමණ අවම වශයෙන් තිබේ. ඒවායින් බොහෝ නිවාඩු සංඛ්‍යාවක් ෂියා ඉමාම්වරුන්ගේ උපත හෝ මරණය හා සබැඳි ඒවා ය. එපමණක් ද නොවේ. ඉරානයේ සෑම අවුරුද්දකදීම වැඩි වැඩියෙන් නිල නොවන නිවාඩු එකතු වන අතර, ඒවා ජාතික නිවාඩු දිනයන්වලට එකතු වෙයි.

රසවත්ම යෝගට්


පර්සියානු කිරිවලින් ඉරානයේදී තැනෙන්නේ ලෝක ප්‍රසිද්ධ පර්සියානු යෝගට් ය. මෙම යෝගට්, පානයක් වශයෙන් ඉරාන ජාතිකයන් විසින් තවත් නොයෙක් ආහාර වර්ග සඳහා ද යොදාගනු ලබයි. ඉරාන ජාතිකයන් දැඩි සේ විශ්වාස කරන්නේ මෙම යෝගට්වල ඔසුගුණයක් ඇති බවයි. කැස්ස සුව කිරීමට, උගුර පෑදීමට, නිදිබර ගතිය දුරු කිරීමට සහ ආයු කාලය වැඩි කිරීමට මෙම යෝගට්වලට හැකියාවක් ඇති බව පැවසේ. යෝගට්වලට ඉරානයේදී දෙවැනි ලොකුම ඉල්ලුම ලැබෙන්නේ රූප ලාවණ්‍ය කර්මාන්තයෙනි. ෆේස්මාස්ක් දැමීම සඳහා හැම විටකම පාහේ ඉරාන ජාතිකයන් යොදාගන්නේ පර්සියානු යෝගට් ය.

ලෝකයේ විශාලතම කළාලය


ඉරාන කාපට් සමාගම විසින් 2007 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ දේවස්ථානයක් සඳහා පාපන්දු පිටියක ප්‍රමාණයේ අති දැවැන්ත කළාලයක් නිර්මාණය කළේය. මෙය ලෝකයේ විශාලතම පර්සියානු කළාලය වේ. එය වර්ග සැතපුම් 5630 කින් සමන්විත ය. දේවස්ථානයේදී කොටස් 9 ක් පුරුද්දා සම්පූර්ණ කාපට් එක නිර්මාණය කරන ලදී.

පර්සියාව ඉරානය වූ හැටි


ඉරානය, ඉතිහාසයේ වැඩිම කාලයක් තුළ ලෝකයේ පැවතියේ පර්සියාව වශයෙනි. නමුත් 1925-1941 කාලයේ ඉරානයේ ෂා රජුගේ පෙළපතට අයත් රේසා ෂා පල්පවි රජු සිය රට පර්සියාව නොව ඉරානය වශයෙන් හඳුන්වන්නට පටන් ගත්තේය. 1935 නව වසරේ පටන් එය නිල වශයෙන් ඉරානය ලෙස හැඳින්වේ. 1979 වසරේ ෂා රජ පෙළපත, ඉරාන පූජකයන් විසින් අතුගා දැමීමෙන් පසුව ඉරානය, ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව බවට නිල වශයෙන් පත් විය.

“Rich Kids of Tehran” – ටෙහෙරානයේ ධනවත් දරුවෝ


“Rich Kids of Tehran” යන්න ඉරානයේ සමාජ ජාලවල දේශපාලන කළබල සහිත කාලවලදී sensation එකක් බවට පත් වූ යෙදුමකි. ඉරානයේ ධනවත් පන්තියේ දරුවන් විසින් පාවිච්චි කරන සුපිරි යාන වාහන, ආභරණ සහ ඇස් අදහා ගත නොහැකි තරම් සුපිරි ජීවන විලාසය එයට හේතු වී තිබේ.

අන්තර්ජාලය


Twitter, Facebook සහ Instagram යන බටහිර ලෝකයේ සමාජ ජාල ඉරානය තුළ නැත. නමුත් ඉරානයේදී ඔබට සමාජ ජාල ගිණුමක් අවශ්‍ය නම්, පුද්ගලික VPN එකක් හරහා එම ගිණුම් සාදා ගැනීමට බාධාවක් ද නැත. කෙසේ නමුත් ඉරානයේ අන්තර්ජාලය රජය විසින් පාලනය කරයි. නමුත් ඒ අන්තර්ජාල සැපයුම හැමවිටම අධිවේගී ය. එසේම ඉතාම අඩු මිලකින් යුක්තය. එය වසර 2012 දී නිල වශයෙන් දියත් කළ මෙහෙයුමකි.

UNESCO ලෝක උරුම


පර්සියානු ශිෂ්ටාචාරය ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරවලින් එකක් වන නිසාම, ඉරානය පුරා යුනෙස්කෝ ලෝක උරුම 23 ක් විසිරී තිබේ.  පර්සිපොලිස් – Persepolis (Takht-e-Jamshid) යනු එකල ආකෙමෙනිඩ් අධිරාජ්‍යයේ අගනුවරයි. Meidan Emam, Golestan Palace, Sheikh Safi al-din Khanegah, Historic Bazaar Complex, Shushtar Historical Hydraulic System වැනි බොහෝ ස්ථාන මෙයට අයත් වේ.

අද්විතීය ජල පද්ධතිය


ඉරානයේ පිහිටා තිබෙන එක් අද්වීතීය යුනෙස්කෝ ලෝක උරුමයක් වන්නේ ක්වාන්ට් Qanat යනුවෙන් හඳුන්වන, පර්සියාවේ නම රැන්දූ ජල ප්‍රවාහන පද්ධතියකි. එය ළිං ජලය පොළොව මතුපිටට ගෙන ඒම සඳහා භාවිතා කරන තාක්ෂණයකි. ක්‍රිස්තු පූර්ව 700 සිට 500 දක්වා කාලයේදී නිර්මාණය කළ මේ ක්‍රමය අද දක්වා ද භාවිතා වේ.

ඉරානයේ තෙල් නිෂ්පාදනය

ඉරානය දිනකට බොර තෙල් බැරල් මිලියන 4 ක් නිෂ්පාදනය කරයි. ලෝකයේ ඛණිජ තෙල් සංචිතවලින් 1/10 ක් පිහිටා තිබෙන්නේ ඉරානයේය. ඒ අනුව ඉරානය, ලෝකයේ 4 වැනි විශාලතම ඛණිජ තෙල් නිෂ්පාදකයා බවට ද පත්ව තිබේ. පර්සියානු ගල්ෆ් සාමාජිකයෙකු වන ඉරානය ඒ අනුව එම පර්සියානු ගල්ෆ් අරාබි රටවල් 7 හි එක් සාමාජිකයෙක්ද වේ. ලෝකයේ ඛණිජ තෙල් සංචිතවලින් 60%ක්ම පිහිටා තිබෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ ය. මේ රටවල් 7 වන්නේ ඉරාකය, ඉරානය, බහරේන්, ඕමානය, කටාර්, ක්වේට්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

භාෂාව

ඉරානයේ නිල භාෂාවන වන්නේ ෆාසි හෙවත් පර්සි භාෂාවයි. එම බස ඇෆ්ගනිස්ථානයේ සහ ටජිකිස්ථානයේ ද කතා කරනු ලබයි. ෆාසි බස හැරුණු විට තවත් කලාපීය භාෂා 7 ක් ඉරානය තුළ භාවිතා වෙයි. ඒවා වන්නේ Azerbaijani, Lori, Gilaki, Arabic, Kurdish, Mazandarani සහ Balochi වේ.

විසල් බිළාලයෝ

ආසියාතික චීටා හෙවත් ඉරාන චීටාවා ලෝකයේ වඩාත්ම බරපතළ ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්වයෙකි. මේ සත්වයා ඉරානයට ආවේණික ය. මේ වනවිට ලෝකයේ ජීවත්වන්නේ ඉරාන චීටාවන් 50 දෙනෙක් පමණි. උන් සියලුම දෙනා මධ්‍යම පෙරදිග ප්‍රදේශයේ සංරක්ෂිත භූමීන් හි ජීවත් වෙති. 2014 ෆිෆා ලෝක කුසලානයේදී ඉරාන පාපන්දු කණ්ඩායම සැරසී සිටයේ මෙම චීටාවා දැක්වෙන ජර්සිවලිනි.

රස මසවුළු


ඉරානය වඩාත්ම ප්‍රකට ආහාර නිෂ්පාදන 3 ක් වන්නේ කහ, කැවියර් (කළු පාට මාළු බිත්තර විශේෂයක්) සහ පිස්ටාෂියෝ නමැති අතිශය රසවත් රටකජු වර්ගයක් සඳහා ය. ඉරානය මේ සම්බන්ධයෙන් ලෝකයේ ලොකුම නිෂ්පාදකයා ද වේ. කැස්පියන් මුහුදේ කැපියර් මාළු බිත්තර වෙළඳපොළෙන් 50%කට හිමිකම් කියන්නේ ඉරානයයි. බෙලූගා බිත්තර යනුවෙන් ද කැවියර් විටෙක හැඳින්වේ. මේවා ඉතා මිල අධික ය. මාළු බිත්තර ග්‍රෑම් 28 ක් ඩොලර් 160 ක් පමණ වේ. මේ නිසා මෙය ඉතාම ලාභ අධික ව්‍යාපාරයකි. නමුත් මේ අතර, අධික ලෙස මසුන් ඇල්ලීම නිසා මේ වන විට එම කර්මාන්තය අවදානමට ද ලක්ව තිබේ.

විවාහ මංගලෝත්සව රජයේ වියදමෙන් – නොමිලේ


මෑතක් වන තෙක්ම, මංගල උත්සවවල අධික වියදම නිසා බොහෝ අය විවාපත් වී මංගල උත්සව පැවැත්වීම තෝරාගත්තේ නැත. එහි ප්‍රතිඵලක් ලෙස ඉරාන රජය තීරණය කළේ විවාහ උත්සව පැවැත්වීම සඳහා රජයේ වියදමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 720 ක අරමුදලක් ඇති කිරීමට ය. මේ නිසා අනාගතයේදී විවාහ දිරිගැන්වීමක් වන බව විශ්වාස කෙරෙයි.

අනවශ්‍ය ගැබ් ගැනීම ගැන දේශනවලට නොගියොත් විවාහ බලපත්‍රය නෑ!


දෙදෙනෙක් විවාහ වූ විට ඒ දෙදෙනා විවාහය පිළිබඳ විශේෂ දේශනවලට සහභාගි විය යුතු අතර, ඒ දක්වා ඔවුන්ට  විවාහ බලපත්‍රය ලබාදීඹ සිදු නොකෙරයි. මේ පංතිවලදී ඔවුන්ට උගන්වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද යන්නයි. මෙවැනි එක් දේශනයක් පැයක් පමණ පැවැත්වේ.

සාක්ෂරතාවය


1970 දශකයේදී ඉරානයේ සාක්ෂරතාවය 37%ක් තරම් අඩු අගයක් විය. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වනවිට ඉරානයේ වැඩිහිටියන්ගෙන් 93%කට අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව ලැබිණි. මේ වන විට ඉරානයේ සාක්ෂරතාවය 97%කි.

ඉරාන රසමසවුළු


අඩු කුළුබඩු ප්‍රමාණයක් සහ මස්-මාළු වැඩි ප්‍රමාණයකින් යුක්ත ඉරාන රසමසවුළු ග්‍රීක, මැදපෙරදිග සහ ඉන්දියානු කෑමවල මිශ්‍රණයකි. ඉරානයේදී ඔබ ගන්නා සෑම රසවත් ආහාර වේලක් අවසානයේදීම කළු තේ කෝප්පයක් (බ්ලැක් ටී) පිළිගන්වනු ලබයි.

ටයි පටි නොපළඳින තරුණයෝ


ටයි පටිය බටහිර සංකේතයක් ලෙස සලකන නිසා බොහෝ ඉරාන ජාතකියෝ ටයිපටි පැළඳීමෙන් වැළකී සිටිති. නමුත් 1979 වසරේ සිදුවූ දේශපාලනික වෙනස්කම් සමග මේ සංස්කෘතිය ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබේ. කිසිදු වාර්ගික හෝ පන්ති විෂමතාවයකින් තොරව සෑම අයෙකුම සමාන ලෙස දිස්වීම සඳහා ටයිපටිය ඉවහල් වන බව ඉරානයේ නූතන පිළිගැනීමයි. මේ අතර ඉරානයේදී කාන්තාවන් වයස අවරුුදු 9 පටන් හිජාබය පැළඳිය යුතු අතර විදේශිකයන්ට ද මෙම නීතිය යෙදේ.

දමාවන්ද් ගිනිකන්ද (Damavand)


ඉරානයේ ටෙහෙරාන් අගනුවර දමාවන්ද් ගිනිකන්ද පිහිටා ඇත. මෙය, අවසන් වරට මෙයට වසර 7300කට පමණ පෙර පුපුරාගිය සක්‍රිය යෝධ ගිනිකන්දකි. එසේම එය ආසියාවේ උසම යමහල ද වේ. ඉරානයේ උසම ස්ථානය ද මෙම ගිනිකදු මුදුනින් නියෝජනය වෙරොන ජනකතා සහ දේවකතාවල මෙම ගිනිකන්ද දැක්වෙන්නේ ප්‍රතිරෝධයේ සංකේතය ලෙසයි

පාකූර් 

පාකූර් කියූ සැණින් අපට මතක් වන්නේ බාධක උඩින් පිනුම් ගසන තරුණයන් වුණත් ඉරානයේදී පාකූර් සෙල්ලම් කරන තරුණියන් නොමදව දැකගත හැක. ප්‍රංශයේ උපන් පාකූර් සෙල්ලම ඉරානයේ අතිශයින්ම ජනප්‍රිය වුයේ 90 දශකයේ පටන් ය. පාකූර් සෙල්ලම් කළ හැකි ක්ලබ්ස් සහ උද්‍යාන ගණනාවක් ඉරානයේ පිහිටා තිබේ.

දේශගුණය


ඉරානයේ දේශගුණය අතිශයින්ම කටුක ය. ශීත සෘතුවේදී කඳුකරබද ප්‍රදේශ හිමෙන් වැසී ගොස් ගල් වේ. ගිම්හානයන් අතිශයින්ම වියළි සහ උණුසුම් ය. ඉරානයට වැසි ලැබෙන්නේ ඉතා අඩුවෙනි. සාමාන්‍ය දළ වාර්ෂික වර්ෂාපතනය අඟල් 4 ක් පමණි.

නව සොයාගැනීම්


පුරාණ පර්සියාව, ලෝකයේ නව නිපැයුම් හා නව සොයාගැනීම්වලට තෝතැන්නක් බවට පත්වූ විශාලතම අධිරාජ්‍යයකි. මේවා අතර සුළං මෝල් විශේෂිත ය. එසේම ක්‍රි.පූ. 550 සියවසේදී ලෝකයේ පළමු තැැපල් සේවාව ආරම්භ වූයේ පර්සියාවෙන් බව ද ඉතිහාසඥයෝ විශ්වාස කරති.

වායු දූෂණය


ඉරානය ගතවූ වර්ෂවලදී දැඩි වායු දූෂණ අවදානමකට මුහුණ දී සිටියි. ටෙහෙරානයේ නිල දත්තවලට අනුව දිනකට ඉරාන ජාතිකයන් 27 දෙනෙක් වායු දූෂණය ඇසුරෙන් හටගත් සංකූලතා නිසා මිය යමින් සිටිති. ටෙහෙරානයෙන් පිටත ප්‍රදේශ වාසය සඳහා තෝරාගැනීම දිරිමත් කිරීම සඳහා මේ වන විට ඉරාන රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන ද සැපයේ.

සැටලයිට් ටීවී තහනම්

Satellite TV ඉරානය තුළ තහනම් ්අතර, බහුතරයක් ඉරාන ජාතිකයන් මේ නිසා බටහිර ලෝකයේ ජනප්‍රිය රූපවාහිනී නාටක යනාදිය කිසිදා නරඹා නැත. නමුත් අන්තර්ජාල පහසුකම මෙන්ම, පුද්ගලික වීපීඑන් පහසුකම සමග සැටලයිට් ටීවී නැරඹීමට ද ඉරාන ජාතිකයන්ට තහනමක් නැත.

පුරාණ පෝලෝ ක්‍රීඩාව


පෝලෝ ක්‍රීඩාව සොයාගත්තේ කවුරුන් විසින්දැයි අප දන්නේ නැත. නමුත් ලෝකයේ මුලින්ම පෝලෝ ක්‍රීඩාවේ යෙදී තිබෙන්නේ පර්සියානුවන් විසිනි. ඒ, ක්‍රි.පූ. 6 වන සියවසේදී ය.

කාන්තා ටැක්සි රියැදුරෝ


ලෝකය නොදනිතත්, ඉරානය තුළ කාන්තාවන්ට රිය පැදවීමේ අවසරය තිබේ. එපමණක් නොව, කාන්තාවන් සඳහාම වෙන් වූ ටැක්සි රථ සේවාවක් ද ඉරානයේ තිබේ. ඒවායේ රියැදුරන් ලෙස කටයුතු කරන්නේ ද ඉරාන කාන්තාවන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි