×

ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන එක්ලක්ෂ අසූහාර දහස දක්වා ඉහළට!

මෙයට සතියකට පෙර ඇමරිකාවේ දෛනික කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයකට අඩු මට්ටමේ රැඳී තිබිණි.


නමුත් අද දිනය වන විට එම සංඛ්‍යාව 184,000 දක්වා ඉහළට වර්ධනය වී තිබේ. රෝහල් ගත වීම් ද පිට පිට සිව්වැනි දිනයටත් බරපතළ ලෙස ඉහළ ගොස් තිබේ. සිකුරාදා දිනයේ එම රෝහල්ගත වීම් ප්‍රමාණය 68,500 ක් විය.

ඉදිරියේදී දරුණු ශීත සෘතුවක් එළඹේ යැයි බලාපොරොත්තුවන නිසා, මේ අනුව බොහෝ ජනපදවල කෝවිඩ්-19 සඳහා නව පියවර හඳුන්වා දීමට ආණ්ඩුකාරවරුන් පෙළඹී සිටියි.

නිව් මෙක්සිකෝ – ගෙදරින් එළියට බහින්න එපා!

නිව් මෙක්සිකෝ ජනපදයේ ආණ්ඩුකාර මයිකල් ලුජාන් ග්‍රිෂාම් නිවේදනය කරන්නේ ‘‘සියලු අත්‍යාවශ්‍ය නොවන සේවාවන් වෙත පුද්ගලයන් ප්‍රවේශ වීම තහනම් කරන බව‘ යි. ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම හෝ සුව සේවාවන් සඳහා මිස අන් කිසිවකට නිවසින් පිටතට නොයන ලෙස අවවාද කෙරේ.

ඔරිගන් – සති දෙකක් ‘මිදෙන්න‘

ඔරිගන් ජනපදයේ ආණ්ඩුකාර කේට් බ්‍රවුන් පවසන්නේ ‘සති දෙකක් සඳහා ජනපදය ‘‘freeze‘‘ විය යුතු බවයි. මේ අනුව ශරීර සුවතාගාර වසා දැමේ. නිවෙස්වලට ආහාර පාන පමණක් ගෙන්වාගත හැක. නිවෙස් තුළ සිදුකරන විනෝද කටයුතු ද නතර කරන ලෙස අවධාරණය කරන්නේ නිවෙස් දෙකක නිවැසියන් 6 දෙනෙකුට වඩා එකවර එකතු නොවිය යුතු බව පවසමිනි. සියලු රැකි රක්ෂා කටයුතු සිදුකළ යුතු වන්නේ නිවසේ සිට ය.

ඉඩාහෝ – ආරක්ෂක භටයන් කැඳවයි

ඉඩාහෝ ජනපදයේ ආණ්ඩුකාරවරයා වසංගත ප්‍රතිචාරයක් ලෙස ජාතික ආරක්ෂක භටයන් කැඳවා තිබේ. ජනපදය නැත විවෘත කිරීමේ සැලසුම ද හකුළා ගෙන ඇත.

ආර්කැන්සාස් – කාර්ය සාධක බලකාය

ආර්කැන්සාස් ආණ්ඩුකාර අසා හචින්සන් නිවේදනය කරන්නේ ශීත සෘතු කෝවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා කාර්ය සාධක බලකාය සූදානම් විය යුතු බවයි.

නිව්යෝක් – හදිසි සාකච්ඡා

වසංගතයේ වැඩිම මරණ ගණන වාර්තා කරමින් සිටින නිව්යෝක් ජනපදයේ ආණ්ඩුකාර ඇන්ඩෘ කුස්මෝ ඊයේ ප්‍රකාශ කළේ මේ සති අන්තයේදී තවත් ජනපද 6 ක ආණ්ඩුකාරවරුන් සමග එක්ව කළයුතු දේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

ICU ඇඳන් හිඟය දරුණුයි

උතුරු ඩැකෝටාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලට අනුව රෝහල් කාර්ය මණ්ඩලය සහිත රෝහල් ඇඳන් පවතින්නේ 8.5%ක ප්‍රමාණයක් පමණි. මේ වන විට උතුරු ඩැකෝටාවේ 421 දෙනෙක් කෝවිඩ්-19 පොසිටිව් වී රෝහල් ගත වී සිටින අතර, එයින් 50 දෙනෙක් පසුවන්නේ දැඩි සත්කාර ඒකකවල ය.

ඔක්ලහෝමා හි සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට එම ජනපදයේ ICU bed capacity හෙවත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාවය 7%කි. ඒ, නව ඇඳන් 64 ක් එක් කිරීමෙන් පසුව ය.

මැසචුසෙට්ස් ජනපදයේ කම්කරු දිනයේ සිට මේ වන විට, ආසාදනවල ප්‍රතිශතය 7 ගුණයකින් වැඩි වී ඇති අතර, රෝහල්ගතවීම් 2 ගුණයකින් වැඩි වී තිබේ. එහි ICU bed capacity 50%ක් පවතියි.

වැක්සිනය මාස දෙකක්වත් ප්‍රමාද වේවි

අවම වශයෙන් තව මාස දෙකක් පමණ, වැක්සිනය ලබාගැනීමට කල් ගත වනු ඇති බව ද මේ අතර කියැවේ. ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොනතන් රෙයිනර් මෙසේ පවසයි.

‘‘ඔබට හෘදයාබාධයක් වැළඳිලා.. නමුත් 911 ඇමතූ විට කියන්නේ ගිලන් රථය එන්නේ මාස දෙකකින් කියලයි. අපි ඉන්නේ එවැනි තත්වයක..‘‘

වැක්සිනය ලබාදීම ජනපද මට්ටමෙන් ජනගහනය අනුව

කෙසේ නමුත් Pfizer සමාගම විසින් නිපදවූ වැක්සීනයමේ මස අග වන විට ජනපද මට්ටමෙන් ලබාදීමේ සැලසුමක් ද තිබේ. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ 43,000 ක් යොදාගෙන 90%ක සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති මෙම වැක්සිනයේ මාත්‍රාවන් මිලියන ගණනක් බෙදාහැරීමට සූදානම් කරන බව සමාගම කියයි. වැක්සින් කොපමණ සංඛ්‍යාවක් එක් ජනපදයකට ලබා දෙන්නේදැයි තීරණය කරනු ඇත්තේ එම ජනපදයේ ජනගහනය මත පදනම්ව ය.

තවද Pfizer සමාගම පවසා තිබෙන්නේ මෙම වැක්සිනය බෙදා හරින ක්‍රමය පිළිබඳව ෆෙඩරල් ආණ්ඩුවෙන් තමන් සමග කිසිදු සන්නිවේදනයක් මෙතෙක් කර නොමැති බවයි.

ජෝ බයිඩන්ගේ කෝවිඩ්-19 සටන ජනවාරි 20 න් පසුව

මේ අතර, නව ජනපතිවරයා ලෙස තේරී සිටින ජෝ බයිඩන්, කෝවිඩ්-19 පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය විප්ලවයකට ලක් කළ යුතු බව පවසයි. පරීක්ෂණ සිදුකරන ස්ථාන ගණන වැඩි කිරීම, නිවසේදී පරීක්ෂාව සිදුකර ගැනීමට අවශ්‍ය හෝම්-ටෙස්ටිං කිට්ස් ලබාදීම යනාදිය ද එයට ඇතුළත් ය. “pool testing” සහ wastewater surveillance වැනි වෙනත් ක්‍රමෝපායයන් ද මෙයට ඇතුළත් ය.

ඔහු විසින් මේ සඳහා වෙනම කාර්ය සාධක බලකායක් ද පත් කරන බව කියා තිබේ. කෙසේ නමුත්, ජෝ බයිඩන්ගේ මෙම සැලසුම නිල වශයෙන් ක්‍රියාවට නැංවෙනු ඇත්තේ ජනවාරි 20 වැනිදා ඔහු දිවුරුම් දුන් පසුව ය.

Main Photo: A medical staff member treats a patient in the Covid-19 intensive care unit at the United Memorial Medical Center on Oct. 31, 2020 in Houston.Go Nakamura / Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි