×

ඇමෙරිකාවේ ට්‍රම්ප් විරෝධීන්ට තැපැල් බෝම්බ – සැකකරු හඳුනාගැනේ.

ඇමෙරිකා සමාජයේ ඉහළම ස්ථරයේ සිටින පුද්ගලයන් කිහිප පළකට පසුගිය දින කිහිපයේදී පුපුරණ ද්‍රව්‍ය පාර්සල තැපැල් මඟින් යවා ඇති බව ඇමෙරිකාවෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ.


ඔවුන්ට එම පාර්සල එවනු ලැබුවේ කවරකු ද යන්න තවමත් අනාවරණය වී නැත. පුපුරණ ද්‍රව්‍යය අඩංගු පාර්සල ලැබූ පිරිස අතර ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා, හිටපු උප ජනාධිපති ජෝ බීඩ්න්, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, රංගන ශිල්පී රොබර්ට් ඩී නීරෝ සහ තවත් පිරිසක් සිටිති.

එම පුද්ගලයන් ලද පුපුරණ ද්‍රව්‍යය පාර්සල කිසිවක් පුපුරා ගිය බවක් වාර්තා නොවේ. එසේ වුවත් හටගෙන ඇති ගැටලුව හේතුවෙන් ආරක්ෂාව පිළිබඳව දැඩි අර්බුධකාරී තත්ත්වයක් ඇමෙරිකා සමාජය තුළ මතුව තිබේ. තවත් කොපමණ පිරිසකට පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල ලැබෙනු ඇත්ද යන සැකයත් බොහෝදෙනෙකු තුළ ඇත.

පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල එව්වවේ කවරකු ද යන්න ගැන සොයා බැලීම සඳහා ඇමෙරිකාවේ එෆ්.බී.අයි. සංවධානය පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇත. නම සඳහන් නොකළ ඇමෙරිකා මාධ්‍යය ආයතන නිළධාරියකු සඳහන් කර තිබුණේ එවනු ලැබූ පුපුරන ද්‍රව්‍ය පාර්සලවලින් අඩු තරමින් එකක්වත් ෆ්ලොරීඩාහි සිට ඒවා ඇතැයි කියා ගවේෂකයන් විශ්වාස කරන බවකි.

එවන ලද පුපුරණ ද්‍රව්‍ය පාර්සල සියල්ලම වර්ජිනියාහි එෆ්.බී.අයි. සංවිධානයේ පරීක්ෂණාගාරය වෙත රැගෙනවිත් ඇති බව එෆ්.බී.අයි.හි සහකාර අධ්‍යක්ෂ විලියම් ස්විනී පවසයි. එහිදී ඒවා පරික්ෂා කර බැලීම්වලට භාජනය කෙරෙමින් තිබෙන බව සඳහන් වේ.

එම පාර්සල සෑම එකක්ම එවා තිබෙන්නේ සැබෑවටම පුපුරුවා හැරීමේ අරමුණ ඇතිව ද යන්න, නිව් යෝර්ක් පොලිස් කොමසාරිස් ජේම්ස් ඔ’නීල් තහවුරු නොකළේය. එසේ වුවත් පුපුරන ද්‍රව්‍ය එවමින් තර්ජනයන් සිදුකර ඇති බව ජේම්ස් ඔ’නීල් පවසයි.

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් උපරිම අවධානය යොමු කරන බවත් පොලිස් කොමසාරිස්වරයා කියා තිබිණ.

ආරක්ෂක අංශ මේ සම්බන්ධ පරීක්ෂණවලට ඇමෙරිකා තැපැල් සේවාවේ සහය ද ලබාගෙන ඇත. එවනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය පාර්සල සමඟ වෙනත් මෙවලම් කිසිවක් තිබුණා ද යන්න තහවුරු කරගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍යව තිබේ.

පුපුරණ ද්‍රව්‍යය ප්‍රකට පුද්ගලයන්ට ලැබෙන්නට පටන් ගත්තේ පසුගිය සඳුදා දිනයේ ය. ඒ අනුව පළමු පාර්සලය ලැබුණේ බිලියනපති ව්‍යාපාරික ජෝර්ජ් සෝරෝස්ට බව සඳහන් වේ. ජෝර්ජ් සෝරෝස් ඩිමොක්‍රටික් පක්ෂයට ධන පරිත්‍යාගයන් සිදුකරන දානපතියකු හැටියටත් ප්‍රකටය.

හිටපු උප ජනාධිපති ජෝ බීඩ්න්ට පුපුරණ ද්‍රව්‍ය පාර්සලය ලැබී තිබෙන්නේ ඊයේ දිනයේදී ය. හිටපු උප ජනාධිපතිවරයාට ලැබුණු ආකාරයේම පාර්සලයක් ඩී නීරෝට අයත් නිව් යෝර්ක් නුවර පිහිටි අවන්හලක් වෙත ලැබී තිබේ.

වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප්ව විවේචනය කරන පුද්ගලයන් වෙත පුපුරන ද්‍රව්‍යය ලැබී තිබීම විශේෂත්වයකි. දේශපාලනයෙහි නියැලී සිටිනවුන් තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන් වැරදියැයි සලකා සංග්‍රහ කිරීමෙන් වැළකිය යුතුය යනුවෙන් ද ට්‍රම්ප් ජනාධිපතිවරයා විස්කොන්සින්හි රැලියකදී පසුගිය දිනෙක පවසා තිබිණ.

මේ අතර අලුත්ම බීබීසී වාර්තාවකට අනුව මෙම තැපැල් බෝම්බ යැවීම සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයෙකු හඳුනාගෙන ඇත. Cesar Sayoc නමැති ෆ්ලොරිඩා ජනපදවාසියාට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට විරුද්ධව චෝදනා 5 ක් ගොනු කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සිය ප්‍රශංසාව නීති නිලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති අතර, ඔහු පවසා තිබෙන්නේ මෙම වගකිවයුත්තන් සෙවීම, ‘පිදුරු ගොඩක වැටුණු ඉඳිකටුවක් සෙවීම‘ට සමාන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි