×

සෙරීනාට දඩයක්

‘‘ඔබ බොරුකාරයෙක්! හොරෙක්!‘‘යැයි ඊයේ පැවති ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී විනිසුරුවරයාට බැණ වැදුණු සෙරීනා විලියම්ස් හට ක්‍රීඩාවේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් 17,000 ක දඩයක් ගෙවීමට නියම විය.


එම දඩ මුදල ඇමරිකානු ටෙනිස් සම්මේලනය (USTA) විසින් නියම කරනු ලැබුවක් වන අතර, ඊයේ පැවති තරගයේදී අනු ශූරිය ලෙසින් සෙරීනා විලියම්ස් හට හිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 1.85 ක මුදල් ත්‍යාගයෙන් එය අඩුකර දමනු ඇත. US Open 2018: Serena Williams

ඊයේ පැවති තරගාවලියේ අවසන් තරගයේදී මෙම උණුසුම් තත්වය හට ගැනුණේ කාලෝස් රාමෝස් නමැති විනිසුරුවරයාට සෙරීනා විලියම්ස් විසින් චෝදනා කරමින් බැණ වැදීමත් සමගිනි. ඇය සමග ක්‍රීඩා කළ ජපානයේ නයෝමි ඔසාකා ක්‍රීඩිකාවට වාසි සහගත වන ලෙස තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් වීමත් සමග කෝපයට පත් සෙරීනා විලියම්ස් මේ අන්දමින් හැසිරී තිබේ. පසුව ඇය කෝපයෙන් යුතුව සිය ටෙනිස් පිත්ත කඩා දමන ආකාරය ද දැකගත හැකි විය.

විනිසුරු රාමොන් කාලෝස් හට බැණ වදිමින් | BBC

විනිසුරු රාමොන් කාලෝස් හට බැණ වදිමින් | BBC

Getty Images

බැණ වැදීම අතරවාරයේදී සෙරීනා විලියම්ස් කෝපාවිෂ්ට ස්වරයෙන් පවසා තිබෙන්නේ ‘‘ඔබ පිරිමියෙකු මෙන් නොවන ගැහැණියක මෙන් හැසිරුණා. මින් මත්තට මා ක්‍රීඩා කරන පිටියක ඔබ නොසිටිය යුතුයි‘‘ ද කියමිනි.

සෙරීනා පසුව කීවේ මේ දඬුවම් නියම වීමත් “sexist” දෙයක් බවයි. පිරිමි ක්‍රීඩකයන් හට තමන් කැමති දෙයක් විනිසුරුවරුන්ට පැවසීමට හැකි බවත්, එය ගැහැණියක විසින් කළ විට විශාල ප්‍රශ්න ඇති වන බවත් ඇය පසුව කියා තිබිණි. නයෝමි ඔසාකා සමග තරගය පටන් ගැනීමට පෙර ද සෙරීනා විලියම්ස්, තරග තීරක බ්‍රයන් අර්ලි සමග වාද කරමින් සිටින ආකාරය මේ අන්දමින් කැමරාවට හසු වී තිබිණි. ටෙනිස් ක්‍රීඩාවේදී ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස්කම් සිදුවන බව සෙරීනා විලියම්ස් කියාසිටි පළමු අවස්ථාව මෙය නොවේ.

මෙම තරගයේදී ජයග්‍රහණය හිමි කර ගත්තේ ද ජපානයේ 20 හැවිරිදි නයෝමි ඔසාකා ක්‍රීඩිකාවයි.

Getty Images

Getty Images

යම් හෙයකින් සෙරීනා විලියම්ස් මෙම තරගයෙන් ජයග්‍රහණය කළේ නම් ඇය, ග්‍රෑන්ඩ් ස්ලැම් ඒකල ශූරතා 24 ක් දිනාගනිමින් මාග්‍රට් කෝට් විසින් තබා ඇති වාර්තාව සමකිරීමට නියමිත ව සිටියාය. සෙරීනා මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලැම් ඒකල ශූරතා 23 ක් දිනාගෙන සිටියි.

36 හැවිරිදි සෙරීනා විලියම්ස් සැලකෙන්නේ ලෝක ටෙනිස් පිටියේ රැජින වශයෙනි. තමන්ට වඩා මාස 15ක් වැඩිමල් සොයුරිය, වීනස් විලියම්ස් ද අබිබවා ඇය ජාත්‍යන්තර ටෙනිස් පිටියේ කිරුළ දරන්නට සමත්ව සිටියි. ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 150ටක අධික බව කියැවේ. මෙම ඇමරිකානු විවෘත ටෙනිස් තරගයේදී ඇයව පරාජය කළ ජපානයේ නයෝමි ඔසාකා ද නිතර පවසන්නේ ටෙනිස් ක්‍රීඩාවේදී තමන්ගේ පරමාදර්ශය සෙරීනා විලියම්ස් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි