වාණිජ සනීපාරක්ෂක තුවා, එහෙමත් තැනිනම් වෙළඳපොළේ විකිණීමට තිබෙන සනීපාරක්ෂක තුවා ඇත්තටම ‘සනීපාරක්ෂිතද?“ නමැති ප්‍රශ්නය ලොව පුරාම දැන් ඇසෙමින් තිබේ. ලංකාවේ ද මේ පිළිබඳ පසුගිය කාල වකවානුව තුළ විශේෂයෙන් ප්‍රශ්න කෙරුණේ, ආනයනයික සනීපාරක්ෂක තුවාවලට අදාළ සෙස් බද්ද ඉවත් කිරීම නිසා ය. එමගින්, වාණිජ සනීපාරක්ෂක තුවා භාවිතය තවදුරටත් දිරිගැන්වීම සුදුසුද? එසේත් නැතිනම් කළ යුතුව තිබෙන්නේ පරිසර හිතකාමී විකල්පයක් වෙත යාමද යන ප්‍රශ්න ශ්‍රී ලංකාවේ දී ද විශාල වශයෙන් නැගිණි. නෙළුම්යාය පදනමේ අපි, ගැහැණු දරුවාගේ සහ කාන්තාවගේ සනීපාරක්ෂක හා පරිසර හිතකාමී ආර්තවයක් වෙනුවෙන් නිබඳව පෙනී සිටින්නෙමු.
ඉන්දුනීසියාවෙන් සැළ වෙන මේ අලුත්ම ප්‍රවෘත්තිය, ලාභය මුල්කරගත්, පරිසරය ගැන නොසිතන, සනීපාරක්ෂක තුවා විකිණීමත් දත් බෙහෙත් හෝ සබන් විකිණීමකට එහා ගිය දෙයක් සේ නොදකින ගෝලීය වෙළඳපොළ නැඹුරුව ගැන අපිට නැවතත් අනතුරු ඇඟවීමකි.
එම පුවත මෙසේය.
ඉන්දුනීසියාවෙන් හෙළිදරව් වන තොරතුරුවලට අනුව, භාවිතා කර ඉවත් කර දමන සනීපාරක්ෂක තුවා උතුරන ජලයේ තැම්බීම සිදුකරන අතර, එවිට ලැබෙන මිශ්‍රණය, එය පාවිච්චි කරන්නන්ව මත් කරන සුලු බව සොයාගෙන තිබේ. වෙනත් ආකාරයකට කියන්නේ නම්, එහිදී කරන්නේ අපිරිසිදු පෑඩ්ස් තම්බා, එය නිවුණු පසු පානය කරන බවත්, එවිට මත්වීම ඇති වන බවත් ය.
මේ වන විට මෙමගින් ඉන්දුනීසියාවේ බාල පරම්පරාව අලුත් මත්ද්‍රව්‍ය උවදුරක් වෙත ගමන් කර තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය පළාත්වල පිරිමි දරුවන් මත්වීම සඳහා මේ ක්‍රමය යොදාගනු ලබයි.
‘‘ඔවුන්ට මත්ද්‍රව්‍ය මිලදී ගන්න මුදල් නැහැ. ඒ නිසා ඔවුන් සොයාගෙන තිබෙන අලුත්ම විකල්පය මෙයයි“.
අප්‍රසන්නතාවයෙන් ඇඟ කිළිපොළා යන මේ පුවත සනාථ කරමින් ගත වූ දිනවලදී බෙකාසි, කුඩුස් හා ජකර්තා යන නගරවලින් මේ ක්‍රමයට මත් වූ ගැටවරයන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ද ගෙන තිබේ. මෙවැනි ප්‍රවණතාවක් ඉන්දුනීසියාව තුළ ඇතිවෙමින් යන බවට මුලින්ම බලධාරීන්ට සැකයක් පහළ වී තිබෙන්නේ මෙයට අවුරුදු 2කට පමණ පෙර සිට බව ද වාර්තා වේ.
ඉන්දුනීසියානු දැරියන්ට වෙළඳපොළෙන් මිලදී ගැනීමට තිබෙන සනීපාරක්ෂක තුවාවල අධික විෂ සහිත සංයෝග වේ. මධ්‍යම ජාවා හි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ඒෂියා ටයිම්ස් පුවත්පත සමග මෙසේ කියා ඇත. ‘‘සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමේදී ක්ලෝරීන් යොදා ගන්නවා. මෙම ක්ලෝරීන් අර විදිහට තම්බන ලද ද්‍රාවණයක් බවට පත් කළ විට විෂ අධික මත්ද්‍රව්‍යයක් ගත්විට ඇතිවන සංවේදනයම ඇතිකරනවා. එනම් පියාඹනවා වැනි හැඟීම, විවිධ මායාවන් පෙනීම වැනි දේ සිදුවෙනවා.“
වාණිජ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයේදී ක්ලෝරීන් යොදා ගන්නේ විරංජනකාරයක් ලෙස ය. මේවා ලංකාවේ වෙළඳපොළවල ඇති සනීපාරක්ෂක තුවාවල ද දැකිය හැක. වාණිජ සනීපාරක්ෂක තුවාවල දැකිය හැකි ‘සුදු පාට‘ ඇතිවන්නේ ක්ලෝරීන් යොදාගෙන ඒවා විරංජනය කිරීම නිසා ය.
ඉන්දුනීසියානු ගැටවරයන් දිළිඳු කම නිසා පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවා මෙසේ තම්බාගැනීමට යොමු වී සිටියත්, භාවිතා නොකළ අලුත් සනීපාරක්ෂක තුවාවල ද ක්ලෝරීන් එම ප්‍රතිශතයෙන්ම අඩංගු වේ. එ් අනුව මෙසේ නිර්මාණය වෙමින් තිබෙන්නේ නවතම මත්ද්‍රව්‍ය උවදුරකි.
මත් උවදුර සමාජය විසින් කොතරම් පිටුදකිනු ලැබුවද මේ දක්වාම සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි සමාජ ව්‍යවසනයක් ලෙස ඉතිරිව පවතියි. විශේෂයෙන්ම ජීවිතයේ වගකීම් ගැන හසරක් නොදත් ගැටවරයෝ නොයෙක් දෙයින් මත් වෙති. කැස්ස සුවවීමට පානය කරන සිරප් වර්ගවලින් මත්වන ගැටවරයන් හා ළමා පරපුර ගැන ඉන්දුනීසියාවෙන් මෙන්ම ලංකාවෙන් ද නිබඳව අසන්නට ලැබේ. මදුරු කොයිල් කුඩු ද මේ සඳහා යොදාගන්නා බවට වාර්තා ඇත.
භාවිතා කළ සනීපාරක්ෂක තුවා නිසි ලෙස බැහැර කිරීමට හැකියාවක් නොමැති වීමද සංවර්ධනය වෙමින් පවතින රටවලට තිබෙන බරපතළ ප්‍රශ්නයකි. ඉන්දියාවේ සරසවි ආශ්‍රිතව ඒවා විනාශ කිරීමට දාහක සවි කර තිබෙතත්, එහිදී සිදු කෙරෙන්නේ වායු දූෂණයයි. එනිසා අවසානයේ ඒවා කොතැනක හෝ මේ පොළොව මත කසළ කඳු ලෙස ගොඩගැසීමත්, ඉන් ඉක්බිති සාගර සම්පත විනාශ කරමින් මුහුදට එක් වීමත් කවදා හෝ සිදු වේ. පර්යේෂණවලින් හෙළිකරන ආකාරයට පාවිච්චි කර හෝ පාවිච්චි නොකර කොතැනකට හෝ විසි කරදමන සනීපාරක්ෂක තුවායක් සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතියෙන් ඉවත්වීමට නම්, අවම වශයෙන් අවුරුදු 400 ක් ගත වේ. එය අප කිසිවෙක් නොසිතන දුක්බර කටුක සත්‍යයකි.
ඉන්දුනීසියාවේ ග්‍රාමීය පළාත්වලට පවා වාණිජ සනීපාරක්ෂක තුවා භාවිතය බෙහෙවින් පැතිරී ඇති බව ද සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙයට සාපේක්ෂව රෙදිවලින් නිර්මිත සනීපාරක්ෂක තුවාවලින් සමාජය ඈත් වෙමින් තිබේ. මෙය ලංකාවට ද පොදු තත්වයකි. ඒ අනුව නෙළුම්යාය පදනම විසින් යෝජනා කරන – නැවත නැවතත් භාවිතා කළ හැකි, පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවා වෙත යාමේ අවශ්‍යතාවය අපි නැවතත් අවධාරණය කරන්නෙමු.
මේ අනුව ඉන්දුනීසියාවෙන් ලැබෙන මෙම පුවත අපට අනතුරු අඟවා සිටින්නේ, වාණිජ සනීපාරක්ෂක තුවා නිසා සිදුවිය හැකි තවත් සමාජ ව්‍යවසනයක් ගැනය.
මූලාශ්‍රය – kompas.com
විශේෂ ස්තූතිය – නෙළුම්යාය පදනම | Nelumyaya Foundation