×

වියට්නාමයට යතුරුපැදි තහනම්!

වියට්නාමයේ නහොයි නගරය තුළ යතුරු පැදි ධාවනය 2030 වනවිට මුළුමනින්ම අත්හිටුවන බව එරට බලධාරීහු පවසති.


වියට්නාම රජය මේ තීරණයට එළඹ තිබෙන්නේ නගරයේ දැනට පවත්නා වායු දූෂණ තත්ත්වය සලකිල්ලට ගනිමිනි.

වියට්නාමයේ හැනොයි නගරය වායු දූෂණය අතින් ලොව දෙවැනි තැනට පත් නගරය බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 නිකුත් කරන ලද වර්තාවක දැක්වේ. වායු දූෂණයෙන් අංක එක ස්ථානයට ළඟා වී තිබෙන්නේ තායිලන්තයේ සුරාබුරි නගරයයි. හනොයි නගරය මේ තරමට වායු දූෂණයට පත්ව ඇත්තේ එහි වෙසෙන මිලියන 7.7කට අධික ජනතාවගේ අවශ්‍යතා නිසයි. මේ පිරිස තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නේ පෞද්ගලික වාහන වලිනි. නගරයේ පොදු ප්‍රවාහන පහසුකම් දුර්වල මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය සේවා පෙන්වා දෙයි. මේ නිසා යතුරු පැදිය සාමාන්‍යය ජනයා අතර ජනප්‍රියම වාහනය බවට පත් වී ඇත. නගරය තුළ භාවිතයට ගැනෙන යතුරු පැදි සංඛ්‍යාව කෙතරම් ඉහළ මට්ටමක පවතීද යත් එක කිලෝමීටරයක් තුළ යතුරු පැදි 2500කට වඩා වැඩි සංඛ්‍යාවක් ධාවනය වනු දක්නට පුළුවන. ග්‍රීන් අයිඩී නමැති රාජ්‍යය නොවන සංවිධානය වරක් පෙන්වා දුන්නේ හනොයි නගරයේ පරිසර දූෂණය මනුෂ්‍ය ශරීරවලට හානිකර මට්ටමක පවතින බවකි. වායු කොටස් මිලියනයකට අපද්‍රව්‍ය අංශු කොටස් 2.5ක් තරම් ඉහළ මට්ටමක, දූෂ්‍යය අංශු සාන්ද්‍රණයක් හැනොයි නගරයේ පවතින බව සංවිධානයේ නියෝජිතයෝ පවසති. මේ තත්ත්වය වසරේ දින 365න් 282ක් පුරාම පවතින්නේ යැයි කියාත් ඔවුහු අවධාරණය කරන්නෝය.


හැනොයි නගරය තුළ දූෂණය ඉහළ යන්නට කාරණා කිහිපයක් බලපා තිබේ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ හනොයි නගරය කාර්මීකරණය කිරීමට එරට රජය ආරම්භ කර ඇති අවිධිමත් වැඩ පිළිවෙලයි. මේ නිසා ගල් අඟුරු බලාගාර සහ විශාල කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන ආකාරයත් කෘෂිකාර්මික අපද්‍රව්‍ය මහා පරිමාණ වශයෙන් ගිනිබත් කිරීමත් හැනොයි එහි දක්නට පුළුවන.

හනොයි නගරයේ මාර්ග පද්ධතියත් ජන ජීවිතයට පහසු අන්දමට ගොඩනැඟී නැත. මේ නිසා පොදු ප්‍රවාහන පහසුකම් භුක්ති විඳින්නට කෙනෙකු යතුරු පැදියක් භාවිත කර සෑහෙන දුරක් ගමන් කළ යුතුව ඇත. නගරයේ මෝටර් රථයක් භාවිතයට ගන්නා කෙනෙකු, තම මෝටර් රථය ගාල් කළ යුතුව තිබෙන්නේ සැතපුමක් දෙකක් එහා ඇති රථ ගාලක ය. මෝටර් රථයට ගොඩ වදින්නට අයිතිකරුවන්ට සිදුව තිබෙන්නේ ද යතුරු පැදියකින් රථ ගාල වෙත ගමන් කිරීමෙන් පසුවයි.

හනොයි නගරය ආශ්‍රිත වායු ගෝලය සම්බන්ධයෙන් විමසිලිමත් වන බුද්ධිමතුන් නම් කියන්නේ දෙසම්බර් සිට පෙබරවාරි දක්වා වූ කාලයේදී නගරයේ තත්ත්වය බරපතල අතට හැරෙන බවකි. හනොයි නගරයට වියළි කාලගුණයක් බලපාන්නේ එකී කාල පරාසයේදී ය. දකුණු දිග චීනය ආශ්‍රිත ප්‍රදේශවලින් හමා එන සුළඟ සමඟ ගසාගෙන අපද්‍රව්‍යය අංශු හනොයි නගරයට ඇතුළු වන්නේ වියළි කාලගුණයක් සහිත මේ කාලයේදීම යි.

හනොයි නගරයේ වායුගෝලයේ ගුණාත්මකභාවය වැඩි කරන්නට නම් යතුරු පැදි භාවිතය තහනම් කළ යුතු බවටත් පොදු ප්‍රවාහන සේවා පහසුකම් පුළුල් කළයුතු බවටත් බලධාරීන් අතර මතයක් ඇති වී තිබේ. යතුරු පැදි ධාවනය නැවැත් වූ පසු සාමාන්‍ය ජනයා රථ ගාල්වලට හෝ පොදු ප්‍රවාහන පහසුකම් භුක්ති විඳීමට හෝ සමීප වන්නේ කෙසේ ද? යන්න ගැන බලධාරීහු පැහැදිලි සඳහනක් නොකරති. හනොයි නගරය ආශ්‍රිත පරිසරයේ ගුණාත්මක බව වැඩි කිරීමේ අරමුණෙන් රුක් රෝපණ වැඩ පිළිවෙල හඳුන්වාදීමටත්, ගල් අඟුරු උදුන් භාවිතය වෙනුවට ජෛව ඉන්ධන බලයෙන් ක්‍රියා කරන උදුන් හඳුන්වාදීමටත් පසුගිය දා පියවර ගැනින. කොහොම වුණත් මේ වැඩපිළිවෙල කෙතරම් තිරසාර මට්ටමක පවතින්නේ ද යන්න ගැන කිසිවකු අධීක්ෂණය කරන්නේ නැත. බොහෝ සංවර්ධනය වෙමින් පවත්නා රටවල අනෙක් කුමන දෙයක් සිදු කෙරන්නේත් “කරන්නන් වාලේ ය”. හනොයිහි වායු දූෂණය සම්බන්ධ මේ වැඩසටහනුත් ක්‍රියාත්මක වන්නේ ඒ න්‍යායෙන්ම බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි