×

බලු මස් නොකන්න! – වියට්නාම් බලධාරීන්ගෙන් ජනතාවට දැඩි අවවාද!

වියට්නාමයේ හැනොයි නගරයට බලු මස් වාරණයක්


සුනඛ මාංශ අනුභව නතර කරන්නැයි කියා වියට්නාමයේ හැනොයි අගනුවර බලධාරීහු, එම නගර වැසියන්ට තදින් අවවාද කරති. මේ පෙළඹවීම සිදුකර තිබෙන්නේ නගරයේ කීර්තිය ආරක්ෂා කිරීමත්, ජලභීතිකාව ආදී රෝග පැතිර යෑම වැළක්වීමත් අරමුණු කරගෙනය.

හැනොයි නගරය ශිෂ්ට සම්පන්න සහ අද්‍යතන අගනගරයක් යනුවෙන් ගොඩනැඟෙන ප්‍රතිරූපය පහළ වැටෙන්නට, නගර වැසියන්ගේ සුනඛ මාංශ අනුභවය හේතුවක් වන බව හැනොයි මහජන කමිටුව වැඩිදුරටත් පවසයි. සුනඛ මාංශ පමණක් නොව බළල් මාංශ අනුභවයත් නගර වැසියන් අත්හල යුතු බව එම කමිටුව සඳහන් කර තිබිණ. බළල් මාංශ අනුභවය, සුනඛ මාංශ අනුභවය තරම් වියට්නාමයෙහි ප්‍රචලිත නැති බව සඳහන් වේ. එසේ වුවත් බළල් මාංශ අලෙවි කිරීමත්, අනුභවයත් එරට පුරාම දක්නට ලැබේ. මෙම මාංශ දෙවර්ගයම අලෙවි කරන වෙළඳ ආයතන 1000කට වඩා වැඩි සංඛ්‍යාවක් හැනොයි නගරය තුළ ස්ථාපිත බව එම කමිටුව පෙන්වා දෙයි.

getty images

getty images

වියට්නාමයේ වත්මන් පරම්පරාවල සාමාජිකයෝ, සුනඛ සහ බළල් මාංශ අනුභවය දැඩි ලෙස හෙළා දකිති. එහෙත් ආහාර චර්යාවක් ලෙස මෙකී මාංශ අනුභවය වියට්නාම සමාජය තුළ මුල් බැසගෙන තිබෙන්නේ මුලිනුපුටා දැමිය නොහැකි තරමට ශක්තිමත් මූල පද්ධතියකින් සවි වෙමිනි. ජලභීතිකාවෙන් ආසාදිත තත්ත්වයට පත්වූවන් කිහිපදෙනෙකු ගැනත් ජලභීතිකාව වැළඳීමෙන් මියගිය අයවලුන් කිහිපදෙනෙකු ගැනත් පසුගිය කාලයේදී වාර්තා වී ඇත. එවැනි තත්ත්ව ඇතිවන්නේ සුනඛ ආදී සතුන්ගේ මාංශ අනුභවය හේතුවෙනි. 2021 වනවිට වියට්නාමයෙන් ජලභීතිකාව තුරන් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව හැනොයි නගරයේ වැසියන්ට සුනඛ මාංශ අනුභවය අත්හරින්නට බලපෑම් කෙරෙන බව ඇසෝෂියේටඩ් ප්‍රෙස් වාර්තා කර සිටී.

නව වැඩපිළිවෙලට සමාජ මාධ්‍ය හරහා සාමාන්‍ය ජනයාගෙන් ප්‍රශංසනාත්මක ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගෙන තිබේ. සමාජ මාධ්‍ය භාවිතයෙන් ප්‍රතිචාර දක්වන සමහරුන් නම් කියන්නේ සුනඛ මාංශ අනුභවය මුළුමනින්ම තහනම් කිරීමෙන් තමන්ගේ නිදහසට බාධා වන බවකි.

හැනොයි නගරය තුළ පමණක් සුනඛයන් සහ බළලුන් 490,000කට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ. මෙයින් සැලකිය යුතු තරමේ ප්‍රමාණයක් නිවෙස්වල සුරතලයට ඇති කරන සතුන් බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි