×

මහත්මා ගාන්ධි, ස්ත්‍රීවාදියෙකු වීද?

එය 1935 දෙසැම්බර් මාසයේ දිනයක් විණ. ඇමෙරිකා ජාතික මර්ගරට් සැන්ගර් ඉන්දියාවේ මහත්මා ගන්ධිතුමන්ව හමුවීමට එතුමන්ගේ ආශ්‍රමය වෙත පැමිණ සිටියාය.


මාර්ගරට් සැන්ගර්, උපත් පාලනය සම්බන්ධයෙන් එවක කටයුතු කළ ක්‍රියාකාරිනියකි. එමෙන්ම ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කිරීමෙහි කර්යයයෙහි ද ඈ නියලී සිටියාය. මාර්ගරට් සැන්ගර්, ගාන්ධිතුමන් මුණගැසීමට පැමිණ සිටියේ ඉන්දියාවේ නගර 18ක සංචාරයක් ආරම්භ කරමිනි. මේ සංචාරය අතරතුරදී ඇයට වෛද්‍යවරුන් ද , උපත් පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයන් ද, කාන්තා විමුක්තිය සම්බන්ධයෙන් අරගල කරන්නන් ද මුණ ගැසෙන්නට හැකි විණ. එසේ වුවත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගාන්ධිතුමන්ගේ ආශ්‍රමය වෙත පැමිණ ගාන්ධිතුමන් හමුවීමෙන් මාර්ගරට් සැන්ගර් අත්වින්දේ අන් කවර ආකාරයේ පුද්ගලයකු හමුවීමෙන් ලත් අත්දැකීම්වලටත් වඩා වෙනස් අත්දැකීම් ගොන්නකි.

Margaret Sanger was an American birth control activist  | Getty Images

Margaret Sanger was an American birth control activist | Getty Images

ගාන්ධිතුමන් සහ මර්ගරට් සැන්ගර් හමුව සම්බන්ධයෙන් අදහස් දක්වන ඉතිහාසඥ රාමචන්ද්‍රන් ගුහා පවසන්නේ දෙදෙනා අතර ඉතා චිත්තාකාර්ෂණීය සංවාදයක් ආශ්‍රමයේදී ඇතිවුණු බවයි. රාමචන්ද්‍රන් ගුහා මේ බව දක්වන්නේ ඔහු රචනා කළ “ෆාදර් ඔෆ් ද නේෂන්” නමින් නම් කර ඇති ගාන්ධි චරිතාපදානයෙහි ය. ගන්ධිතුමන්, 1915 දී දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට පැමිණි තැන සිට 1948 දී ඝාතනයට ලක්වීම දක්වා වූ සිද්ධීන් ඉතාමත් රසවත් ලෙස කෘතිය තුළ විස්තර කෙරේ. එය පිටු 1129කින් සමන්විත කෘතියකි. කාන්තාවන්ගේ අයිතීන්, ලිංගිකත්වය සහ බ්‍රහ්මචර්යාව සම්බන්ධයෙන් ගන්ධිතුමන් දැරූ ඇදහස් ද මේ චරිතාපදාන කෘතියට ඇතුළත්ය.

කාන්තාවන්ගේ නිදහස සම්බන්ධයෙන් ගාන්ධිතුමන් සහ මාර්ගරට් සැන්ගර් යම් පමණකට එක මතයක සිටි බවට කරුණු සඳහන් වේ. එසේ වුවත් ඔවුන් දෙදෙනාගේ එකිනෙකට පරස්පර අදහස්, මේ හමුව තුළදී ඉතා වේගයෙන් මතුව ආ බව සඳහන් වේ.

Many women took part in Gandhi's movement of non-violent resistance| Getty Images

Many women took part in Gandhi’s movement of non-violent resistance| Getty Images

ඇමෙරිකාවේ ස්ථාපිත පළමු පවුල් සැලසුම් මධ්‍යස්ථානය නිව් යෝර්ක් නුවරදී 1916දී ආරම්භ කෙරුණේ මර්ගරට් සැන්ගර්ගේ ප්‍රධානත්වයෙනි. මේ වැඩපිළිවෙල හරහා මර්ගරට් සැන්ගර් ව්‍යාප්ත කළේ ගැබ්ගැනීම වැළක්වීම, කාන්තාවන්ගේ නිදහස සම්බන්ධයෙන් ඇති ආරක්ෂිත ම මාර්ගය බවයි. එසේ වුවත් ගන්ධිතුමන් දැරුවේ මෙයට ඉඳුරාම වෙනස් මතයකි. එතුමන් කියා සිටියේ කාන්තාවන්, තම ස්වාමිපුරුෂයාට ප්‍රතිරෝධය පා කටයුතු කළයුතු යැයි කියාය. එමෙන්ම පිරිමින්, සතුන් මෙන් කාමාශාවෙන් කටයුතු කිරීම දමනය කරගත යුතු බවත් ගාන්ධිතුමන්ගේ අදහස විණ. ලිංගිකත්වය ගැන කතා කළ කාට වුව ගන්ධිතුමන් පැවසුවේ එය ප්‍රජනනය උදෙසා පැවැතිය යුතු බවකි. ගාන්ධිතුමන්ගේ මේ අදහස මාර්ගරට් සැන්ගර් තුළ ගොඩනැඟුවේ තරමක් සැර තර්කයකි.

“… කාන්තාවන්ගේ හැඟීම් සහ ශෘංගාරය පිරිමින්ගේ හැඟීම් සහ ශෘංගාරය තරමටම ගැඹුරුයි. ” කියා ඈ කියා සිටියාය.

“… දෙදෙනෙක් ආදරයෙන් ජීවත් වනවිට, ඔවුන් දෙදෙනා සතුටින් සිටින විට, ඔවුන් ලිංගිකව හැසිරිය යුත්තේ වසර දෙකකට වරක් කියලා නියාමනය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා ද?. ඔවුන්ගේ සම්බන්ධය දරුවකු අවශ්‍ය වන විට පමණක් සිදුවිය යුතුයි කියලා ඔබ හිතනවාද?. …” කියා ඈ වැඩිදුරටත් ප්‍රශ්න කර තිබිණ.

Some of Gandhi's closest aides - such as his associate Sushila Ben (L) and his doctor, Sheila Nayar (R) - were women | Fox Photos, Getty Images

Some of Gandhi’s closest aides – such as his associate Sushila Ben (L) and his doctor, Sheila Nayar (R) – were women | Fox Photos, Getty Images

මර්ගරට් සැන්ගර් කියන විධියට උපත්පාලනය අවශ්‍ය වන්නේ මෙහිදීය. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් මුදාගෙන කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට උපත් පාලනය අවශ්‍යම වන බව මර්ගරට් සැන්ගර් එකල පෙන්වා දුන්නීය. එය, කාන්තාවන්ගේ දේහවල යහපැවැත්ම වෙනුවෙන් කරන්නක් බව ඈ කියා තිබිණ. එහෙත් ගාන්ධිතුමන් එයට එරෙහි මතයක එල්බගෙන කටයුතු කළ බව ගාන්ධි චරිතාපදානයෙහි දැක්වේ. තමන් සලකන්නේ සියලුම ආකාරයේ ලිංගික ක්‍රියාවන් කාම තෘෂ්ණාවක් හැටියට යැයි කියා එතුමන් මර්ගරට් සැන්ගර්ට පවසා ඇත. තමන්ගේ විවාහය පිළිබඳ තතුත් තම බිරිය – කස්තුර්බා සමඟ පැවැත් වූ සබඳතාවයන් ගැනත් කතා කරන්නට ගාන්ධිතුමන් එහිදී අමතක නොකර තිබිණ. මෛථුනයෙන් ලබන සන්තෝෂයට සමුදෙන ලෙස තමන් තම බිරියගෙන් ඉල්ලා සිටීමෙන් පසු කස්තුර්බා අධ්‍යාත්මික ජීවිතයකට හුරු වූ බව ගාන්ධිතුමන් පවසා තිබුණේ ය.

ගාන්ධිතුමන් විවාහ වූයේ එතුමන් දහතුන් හැවිරිදි වියෙහි පසුවන විටයි. විවාහ දිවිය තුළදී දරුවන් හතරදෙනෙකු ලද එතුමන් වයස අවරුදු 38 වනවිට බ්‍රහ්මචාර්යා තත්ත්වයට පත්විණ. මේ තත්ත්වයට පත්වන්නට එතුමා තුළ බලපෑමක් ඇති කළේ රයිචන්ද්භායි ජෛන ඍෂිවරයාත්, රුසියා ජාතික ලියෝ තෝස්ල්ස්තෝයි නැමැති ලේඛකයාත් බැව් සඳහන් වේ. (ලියෝ තෝල්ස්තෝයි පසු කලෙක බ්‍රහ්මචර්යා ජීවිතයක් ගත කළ බව සඳහන් වේ.) ගාන්ධිතුමන් විවාහ වූ අලුතම වාගේ එතුමන්ගේ පියා මරණ මංචකයට ළඟා වී ඇති බව එතුමන්ගේ ස්වයං චරිතාපදානයෙහි දැක්වේ. තමන් තම බිරිය සමඟ ලිංගිකව එකතුවීමේ ආශාවෙන් පසුවුණු අවස්ථාවකදී ගාන්ධිතුමන්ට පියා අභාවප්‍රාප්ත වන පුවත දැනගන්නට ලැබී ඇත. ගාන්ධිතුමන්ට තම පියාගේ මරණ මංචකය දැකගන්නට මේ නිසා බැරි වී තිබේ. තමන් වරදක් කළැයි කියන හැඟීමක් තමන් තුළ පවතින බව ගාන්ධිතුමන් එහි දක්වා තිබේ.

මර්ගරට් සැන්ගර් සමඟ පැවැති සංවාදය අවසානයේදී ගාන්ධිතුමන් තරමක් නම්‍යශීලි තත්ත්වයකට පත් වූ බව සඳහන් වේ.

මිනිසා ස්වේච්ඡාවෙන් වන්ධ්‍යකරණයට ලක්වීම සම්බන්ධයෙන් තමන් තුළ එතරම් නොකැමැත්තක් නැති බව ගාන්ධිතුමන් අවසානයේදී පවසා ඇත. ගැබ්ගැනීම් වළක්වා ගැනීමට වඩා කාන්තාවන් තම ආර්තව චක්‍රයේ ආරක්ෂක අවධියේදී ලිංගික හැසිරීම් සඳහා යොමු වන්නේ නම්, මැනවැයි කියන අදහස ගාන්ධිතුමන් විටෙක දරා තිබේ.

මර්ගරට් සැන්ගර්, ගාන්ධිතුමන්ගේ ආශ්‍රමයෙන් නික්ම ගොස් තිබෙන්නේ අනවබෝධයකිනි. තමන්ගේ ව්‍යාපාරයට ගාන්ධිතුමන්ගේ අනුමැතිය නොලැබීම සම්බන්ධයෙන් මාර්ගරට් සැන්ගර්ට නොසෑහෙන කලකිරීමක් පැවැති බව සඳහන් වේ.

කෘත්‍රිම උපත් පාලනය සම්බන්ධයෙන් ගන්ධිතුමන් විවෘතව කතා කළ පළමු අවස්ථාව මෙය නොවිණ. ස්වයං පාලනයට තිබෙන ඊළඟ හොඳම දෙය ගැබ් ගැනීම් වළක්වාගැනීමදැයි කියා කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයන් පිරිසක් ගාන්ධිතුමන්ගෙන් 1934දී අසා ඇත.

“… ගැබ්ගැනීම් වැළක් වූ විට ශාරිරික නිදහස ලැබෙනවා කියලා ඔබ හිතනවා ද?. කාන්තාවන් දැනගතයුතුයි, තමන්ගේ ස්වාමියාට ප්‍රතිරෝධය දක්වන්න. ගැබ් ගැනීම් වැළක්වීමට, බටහිර පන්නයේ උපාය යොදා ගතතොත් භයානක ප්‍රතිඵල අත්වෙනවා. ස්ත්‍රීන් සහ පුරුෂයන් ලිංගිකත්වයට පමණක් සීමාවෙයි. ඔවුන් ඉතා අඩු බුද්ධියක් ඇති, මනස සහ සදාචාරය විනාශ කරගත්තවුන් වෙයි. …” කියා ගාන්ධිතුමන් පිළිතුරු දී තිබේ.

මතභේදයට තුඩුදෙන අන්දමේ අත්හදා බැලීමක් කරන්නටත් ගාන්ධිතුමන් වරක් උත්සාහ කර ඇත. ගන්ධිතුමන්ට ඥාතීත්වයෙන් ලේලියක වූ කාන්තාවක – මනු ගාන්ධිව, ගාන්ධිතුමන් තම යහනට කැඳවා ගෙන ඇත.

ඉතිහාසඥ ගුහා එය විතර කරන්නේ මෙපරිද්දෙනි.
“… ලිංගිකත්වයට ඇති කැමැත්ත පරික්ෂා කර බලන්නටත්, එය තවදුරටත් පරික්ෂා කර බලන්නටත් ඔහු උත්සාහ කර තිබෙනවා . …” යනුවෙනි.

ගන්ධිතුමන් කාන්තාවන් සම්බන්ධයෙන් දැරූ අදහස් ඉතා සංකීර්ණ සහ මතභේදයට තුඩු දුන් ඒවා බව අමුතුවෙන් කිවයුතු නැත. කාන්තාවන්, පිරිමින්ට ආකර්ෂණීයව හිඳීම ගන්ධිතුමන් පිළිකුල් කර ඇති බව ගුහා සිය කෘතියෙන් පෙන්වා දෙයි. නූතන ගැහැණුන්ගේ කොණ්ඩා විලාසිතා සහ ඇඳුම් පවා ගාන්ධිතුමන් නොරිස්සූවේයැයි කියා ගුහා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

“… මොන කණගාටුවක්ද?. නූතන ගැහැණු ළමයින් විලාසිතාවලට වැදගත් තැනක් දෙන්නේ, තමන්ගේ සෞඛ්‍යය සහ ශක්තිය ගැනවත් නොහිතමින්. ” කියා ගාන්ධිතුමන්, මනු ගාන්ධිට වරක් ලියා යවා තිබිණ.

ඉස්ලාමික කතුන් හිස් ආවරණය කරගෙන ජීවත්වීම සම්බන්ධයෙන් ගාන්ධිතුමන් මෙසේ පවසා ඇත .

“… ඒක, ඒ ගැහැණුන්ගේ සෞඛ්‍යට හානි කරනවා. ඔවුන්ට තමන්ට අවශ්‍ය වාතය ආලෝකය ලබාගන්න බැරිවෙලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ට රෝගවලින් පෙළෙමින් ඉන්නේ. …”.


ගැහැනුන්ට සහ පිරිමින්ට මුළුමනින්ම එක හා සමාන අයිතීන් ඇති බව ගාන්ධිතුමන් පිළිගෙන තිබේ. ගාන්ධිතුමන්ගේ දේශපාලන සහ සමාජ ව්‍යාපාරවලට දකුණු අප්‍රිකාවේදීත් කාන්තාවෝ සහභාගී වූහ. කොන්ග්‍රස් පක්ෂයට නායකත්වය ලබාදීමට එතුමන් සරිජිනි නාඉඳු වරක් තෝරා ගත්තේය. එකල බටහිර දේශපාලනයේ පවා කාන්තාවන් සිටියේ අතළොස්සකි. තැබෑරුම් ආසන්නයේ උද්ඝෝෂණ පවත්වන මෙන් ගාන්ධිතුමන් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේය. බ්‍රිතාන්‍යයන් ගෙනගිය ලුණු එකාධිකාරියට සහ ලුණු බදු පැනවුමට එරෙහිව මහා උද්ඝෝෂණ කිරීමට ගාන්ධිතුමන් හා කාන්තාවෝ එක් වූහ.

Gandhi appointed Sarojini Naidu (right) to lead the Congress party | KEYSTONE/GETTY IMAGES

Gandhi appointed Sarojini Naidu (right) to lead the Congress party | KEYSTONE/GETTY IMAGES

ආණ්ඩුකාරවරියක පත් කිරීමට, කැබිනට් අමාත්‍යවරියක පත් කිරීමට පමණක් නොව මිලියන ගණනක් සරණාගතයන්ට නායකත්වය දෙන්නට බලවත් කාන්තාවන් පත්කිරීම ඉන්දීය ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවන් හැටියට හඳුන්වන්නට පුළුවන. ඉන්දීය විශ්වවිද්‍යාලයකට උපකුලපතිනියක් පත් කරගත්තේ ඇමෙරිකා විශ්වවිද්‍යාලයක් එවැන්නක් කරන්නට දශක කිහිපයකට පළමුවයි. මේ අනුව එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී සහ පනස් ගණන්වලදී ඉන්දීය කාන්තාවන් කටයුතු කළේ ඇමෙරිකාවේ කාන්තාවන් කටයුතු කළ ආකාරයටම යැයි කියා කියන්නට පුළුවන. එය ගාන්ධිතුමන් ගෙනගිය ව්‍යාපාරයට සමගාමීව සිදු වූවකි.

එසේ වුවත්, කාන්තා අධ්‍යාපනයට ආධාර කිරීමෙන්, කාන්තාවන්ට කාර්යාලවල සහ කර්මාන්තශාලාවල රැකියා කිරීමට ඉඩ සැලසීමෙන් කාන්තාවන්ට පැවරී ඇති දරුවන් හැදීම සහ ගේ දොර වැඩ කිරීම යන කටයුතුවලට බාධාවක් සිදුවන බව ගන්ධිතුමන් විශ්වාස කළේය.

ගන්ධිතුමන් ජීවත් වූ කාලය අනුව බලනවිට එතුමන් ප්‍රගතිශීලි අදහස් දැරූ නායකයකු ලෙස හඳුන්වන්නට පුළුවන. එසේ වුවත් අද කාලය අනුව බලන විට නම් එතුමන් ගතානුගතික අදහස් දරූ නායකයකු බව ද පෙනී යයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි