දහනව වැනි සියවසේ ලොව විසූ සුප්‍රසිද්ධම චිත්‍ර ශිල්පියෙකු වන ක්ලෝඩ් මෝනෙට් (1840–1926), Impressionism චිත්‍ර කලාවේ ප්‍රමුඛයෙකි. ඔහු කුඩා, සියුම් පින්සල් පහර මගින් තමන්ගේ දිය මානෙල් පිරුණු පොකුණ, තෙල් සායම් චිත්‍ර 250කට ආසන්න සංඛ්‍යාවක් බවට පත් කළේය. Water Lilies (Monet series) යනුවෙන් මේවා ලොව පුරා කලාගාර ගණනාවක ප්‍රදර්ශනය කෙරේ.
මේ සිටින්නේ ක්ලෝඩ් මෝනෙට් Claude Monet ය. දිය මානෙල් පොකුණේ පසුබිමින් ඇති කුඩා පාලම පවා මෙම ඡායාරූපයේ දිස් වේ. මේ පාලම, පොකුණ මත සවි කිරීම සඳහාම ජපානයෙන් ගෙන්වා ගත්තකි.
චිත්‍ර 250කට ආසන්න සංඛ්‍යාවකට වස්තු විෂය වූ මෙම දිය මානලේ පොකුණට ඔහු මෙතරම් ඇළුම් කළේ ඇයි?
ජීවිතයේ වසර 25ක්ම ඔහු ගත කළේ මේ පොකුණ සිතුවම් කරමිනි.
ප්‍රංශයේ Giverny හි පිහිටා තිබූ නිවසේ මල්වත්ත වශයෙන් ඔහු සැලකූයේ මෙම පොකුණයි. පොකුණ සහ වැළපෙන විලෝ තුරු, නිල් පාට දිය මානෙල් යනාදී වශයෙන් ඔහු තේමා ගණනාවක් වශයෙන් එය සිතුවමට නැගුවේය.
1840 වසරේ පැරිසියේ උපන් ක්ලෝඩ් මෝනෙට්, කුඩා කලදීම තම ගුරුවරියන් සහ ආයම්මාවරුන් කටු සටහන්වලට නැගීමට ප්‍රිය කළේය. ඇල්ජීරියාවේ සොල්දාදුවකෙු වශයෙන් වසර 7 ක් හමුදා සේවය කිරීමට සිදු වූ විට ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ හමුදාවෙන් පළා යන්නට ය. පසුව ඔහුගේ නැන්දණිය මුදල් ගෙවා ඔහුව හමුදා සේවයෙන් මුදාගත්තේය.
මෝනෙට් තරුණ වියේදීම දැඩි අපේක්ෂා භංගත්වයෙන් පෙළුණු අයෙකි. වයස අවුරුදු විසි ගණන්වලදී ඔහු ෂේන් නදියට පැන දිවි නසා ගන්නට උත්සාහ කළේය. එයට හේතුව වී තිබුණේ චිත්‍ර කලාව විෂයක් වශයෙන් හැදෑරීමට ප්‍රිය කළත්, විෂය නිර්දේශයෙන් නියම කළ පරිදි බලාගෙන ඇඳීම අප්‍රිය කිරීමයි. එකල ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ චිත්‍ර, පුරාණ ග්‍රීක හා රෝම දේවකතාවල චිත්‍ර යනාදිය ඇඳීමට ඔහුට සිදුවූ අතර, එය ඔහු විශාල හිරිහැරයක් වශයෙන් සැලකුවේය. තවද ඇකඩමික් චිත්‍ර ප්‍රදර්ශවලට ඉදිරිපත් කළ හැමවිටම පාහේ ඔහුගේ චිත්‍ර ප්‍රතික්ෂේප විය. දිවි නසා ගැනීම අසාර්ථක වීමෙන් පසු මෝනෙට් හට තමන් වැනිම, චිත්‍ර කලාව විෂයක් වශයෙන් හැදෑරීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වූ තවත් සිත්තරුන් මුණ ගැසිණි. ඔහු ඔවුන් සමග ‘කල්ලියක්‘ හදාගත්තේය. ඒ ඇසුර ප්‍රිය කරන්නට පටන් ගත්තේය.
ක්ලෝඩ් මෝනෙට් පැහැදිලිවම, ඇකඩමික් චිත්‍ර කලාව අප්‍රිය කළ අයෙකි.
මෝනෙට්ගේ පළමු බිරිඳ හැඩකාර විලාසිතා ශිල්පිනියකි. ඇය අකාලයේ මිය ගියේය. මෝනෙට්, මරණ මංචකයේ සිටි ඇය ද සිතුවමට නැගුවේය. ඉන්පසු ඔහු දරුවන් සිව් දෙනෙකු සිටින, සැමියාගෙන් වෙන් වී සිටි වෙනත් කාන්තාවක් සමග දෙවන වරට විවාහ විය. සැබවින්ම ඔහු දෙවන බිරිඳ සමග ප්‍රේම සම්බන්ධතාවක් අරඹා තිබුණේ පළමු බිරිඳ ජීවතුන් අතර සිටියදීම ය. නමුත් විවාහ වීමෙන් අනතුරුව මෝනෙට් සොයාගත්තේ දෙවන බිරිඳ, මියගිය පළමු බිරිඳ සම්බන්ධයෙන් අසාමාන්‍ය ඉරිසියාවකින් පෙළෙන බවයි. ඇය විසින් පළමු බිරිඳගේ ඡායාරූප පවා පුළුස්සා දැමූ බව සඳහන් ය.
මේ දියමානෙල් පොකුණක් සහිත ගිවෙර්නි ගම්මානය ඔහු තෝරාගෙන තිබුණේ සිය ජීවිතයේ අවසාන භාගය ගත කිරීම සඳහා ය. ඔහු කුලී කරුවන් යොදවාගෙන පොපි මල්වල සිට ඇපල් ගස් දක්වා හැම දෙයක්ම එහි වගා කළේය. ඒ වන විට ලෝ ප්‍රකට සිත්තරෙකු බවට ඔහු පත්වී සිටියේය. එයින් ලැබෙන ආදායම ද ඔහු නිරතුරුවම වියදම් කළේ සිය උද්‍යානය සඳහා ය.
පොකුණේ වගා කිරීම සඳහා ඔහු ඊජිප්තුවෙන් හා දකුණු ඇමරිකාවෙන් දිය මානෙල් වර්ග ගෙන්වා ගත්තේය. වරක් ගිවේර්නි නගර සභාව, විදේශීය මල් වර්ග පොකුණේ පැළ නොකරන ලෙසත්, ඒවා නිසා ජලයට විස එකතු විය හැකි බවත් පවසා එම මල් වර්ග ඉවත් කරන ලෙස නියම කළේය. නමුත් ඒවා කනකටවත් ගත්තේ මෝනෙට් නොවේ.
පොකුණේ සේවය සඳහා මෝනෙට් සේවකයන් හය දෙනෙක් යෙදවීය. එයින් එක් අයෙකුගේ රාජකාරිය වූයේ දිනකට වරක් බෝට්ටුවකින් පොකුණ පුරා ගොස් වෝටර් ලිලී හෙවත් දිය මානෙල් මල් සහ කොළවල තැවරී තිබෙන දුහුවිලි ඉවත් කිරීමයි. එම සේවකයාට ඔහු ඉහළ වැටුපක් ගෙව්වේ ඒ සඳහා ය.
ලිලීමල් පිරිසිදු කළ පසු මෝනෙට් ඒවා තෙල් සායම්වලින් සිතුවමට නගන්නට පටන් ගනියි. ඒවා මත ආලෝකය පරාවර්තනය වූ විට පෙනෙන ආකාරය එම අයුරින්ම ඇඳීමට මෝනෙට් බෙහෙවින් ප්‍රිය කළේය.