×

යේමනයේ හුතී සටන්කාමීන්, හිටපු ජනපති අලි අබ්දුල්ලා සාහ්ලේ ව මැරුවේ ඇයි?

යේමනයේ රජුන් තනන්නන් විසින්ම රජුන් නැසීමේ කතාන්දරය අලි අබ්දුල්ලා සාලේ ගේ ඝාතනයයි.


යේමනයේ හිටපු ජනාධිපති වූ අලි අබ්දුල්ලා සාලේ 2017 දෙසැම්බර් 06 වැනිදා මරා දැමිණි. මෙම ඝාතනය සිදු වී තිබෙන්නනේ හුතී ව්‍යාපාරයේ සටන්කරුවන් සහ ඔහුගේ වත්මන් ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකදී ය. හුතී සටන්කාමීන් ඔහුට බලයට පැමිණීමට ආධාර කළ ඔහුගේ අතීත සගයන් ය.

යේමනයේ අගනුවර සානා නගරයයි. අලි අබ්දුල්ලා සාලේ ඝාතනය කරනු ලබන්නේ ද සානා අගනුවර ආගමික ස්ථානයක් තුළදී ය.

මේ බව ඔහුගේ පක්ෂය වන ජනරල් පීපල්ස් කොංග්‍රස් හෙවත් පොදු ජනතාවගේ කොංග්‍රසය පක්ෂය විසින් සනාථ කර තිබිණි.

මේ අතර හුතී සටන්කාමී සංවිධානයේ නායකයා මෙය “ශ්‍රේෂ්ඨ සහ සුවිශේෂී අවස්ථාවක්”යනුවෙන් ප්‍රශංසාවට ලක් කළේය.

යේමනයේ මේ වන විට දැකගන්නට ලැබෙන්‍නේ සටන් බහුල අරාජික තත්වයකි. පුද්ගලයන් 150කට ආසන්න සංඛ්‍යාවක් මෙම නවතම ගැටුම් මාලාව හේතුවෙන් මරණයට පත් ව තිබේ.

  • කවුද මේ ‘හුතී සටන්කාමීන්‘?

මේ සිද්ධියත් සමගම හුතී සටන්කාමී ව්‍යාපාරයේ අතීතය සහ ඔවුන් විසින් යේමන දේශපාලනය වෙත සිදුකර ඇති බලපෑම වෙත විශේෂඥයන්ගේ අවධානය යොමු වෙමින් තිබේ.

හුතී ගරිල්ලන් සටන්කාමී සංවිධානයක් වශයෙන් කළ එළි බසින්නෙ 1992 වසරේදී ය. සංවිධානයේ නිල නාමය අන්සාර් අල්ලාහ් ය. මෙහි අර්ථය ‘අල්ලාගේ ආධාරකරුවන්“ යන්නයි. මෙය සන්නද්ධ ඉස්ලාම් දේශපාලන ව්‍යාපාරයකි. උතුරු දිග සාදාහ් නගරයෙන් පැන නැගුණු මෙම සටන් ව්‍යාපාරය ෂියා මුස්ලිම් ජාතිකයන්ට මුල් තැන දෙයි. නමුත් සුන්නි සටන්කාමීහු ද ස්වල්ප දෙනෙක් මෙහි සන්නද්ධ භටයන් සේ කටයුතු කරති.

හුතී සටන් ව්‍යාපාරයට ආකර්ෂණය වන්නේ ෂියා මුස්ලිම්වරුන් ය. මෙය ඉරානයේ සහාය ලබන හිස්බොල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ ද පොදු ලක්ෂණයකි. රටේ හුතී බහුතරයක් වෙසෙන පළාත්වලට වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ එක් ඉලක්කයකි.

හුතී“ සටන්කාමීන් වශයෙන් ඔවුන්ට නම පටබැඳෙන්‍නේ මෙම සටන්කාමී ව්‍යාපාරයේ පළමු නායකයාගේ නම හුසේන් බරෙදීන් අල්-හුතී වූ නිසා ය.

2004 වසරේදී අල් හුතීගේ නායකත්වයෙන් යුත් හුතී සටන්කාමීහු යේමන මධ්‍යම රජයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළහ. ඒ කාලයේ ද යේමනයේ ජනාධිපතිවරයා ව සිටියේ මෙසේ ඝාතනයට ලක් වූ අලි අබ්දුල්ලා සාලේ ය. 2011 යේමන විප්ලවයට ද ඔවුහු එක් වූහ. 2014 වසර අග භාගය වන තෙක්ම අලි අබ්දුල්ලා සාලේ සමග සතුරු කමෙන් පෙළුණු මෙම සන්නද්ධ කණ්ඩායම නැවත සාලේ සමග මිතුරු වෙයි. ඔවුන් යේමනයේ සානා අගනුවර සහ රටේ උතුරුකරයේ බලය අල්ලාගන්නේ ද සාලේගේ පිහිටෙනි. එනම් 2011-2015 අතර කාලයෙ යේමනයේ පැවතියේ හුතී පාලනයකි. අද ද යේමනයෙන් 3/1 ක් පමණ පාලනය කරන්‍නේ හුතී ගරිල්ලන් විසිනි.

සාලේ යේමනයේ ප්‍රථම ජනාධිපතිවරයා වශයෙන් 1990 වසරේ බලයට පත්වූයේ ද ෂියා මුස්ලිම්වරුන් ප්‍රමුඛ මෙම කණ්ඩායමේ ආධාරය සමග ය. 2012 වසර දක්වා ඔහු අඛණ්ඩව ජනාධිපති පදවිය හෙබවීය. මේ දශක දෙකක කාලය තුළ ඔහු ඒකාධිපතියෙකු සේ හැසිරුනු බවට ප්‍රබල විවේචනයක් තිබේ. තවද දුප්පත් යේමනයේ ජනතා මුදල් ඩොලර් බිලියන ගණනින් ගසාකෑ පාලකයෙකු වශයෙන් ද ඔහු සැලකේ.

අලි අබ්දුල්ලා සාලේ ට බලය අහිමි වන්නේ 2011 වසරේ ලොව පුරා පැතිර ගිය අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් ලෙස ය. අරාබි වසන්තය නමැති මහා ජනතා නැගී සිටීම ටියුනීසියාවෙන් ආරම්භ වූයේ දීර්ඝ කාලයක් බලයේ සිටින ඒකාධිපති පාලකයන් බලයෙන් පහකරන ජනතා බලවේගයක් වශයෙනි. අවසානයේ 2012 වසරේ අලි අබ්දුල්ලා සාලේ ජනමතයට හිස නමා, අබ්දුල්ලා මන්සුර් හදී හට ජනපති අසුන බාර දී පිටව යයි. යේමනයේ වත්මන් ජනපති වන්නේ ද සාලේගෙන් පසු ජනපති පදවියට එසේ පත් වූ අබ්රදුල්ලා මන්සූර් හදී වේ. ඔහු ජගත් සංවිධානයෙන් මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවගෙන් ද නීත්‍යානුකූල නායකයා වශයෙන් සැලකුම් ලබන්නෙකි.

සාලේ ඔවුන් සමග ඔහු ඇතිකරගත් අවසාන අර්බුදයට සෞදි අරාබියේ නම ද ඈඳෙයි. එනම් සාලේ අවසන් සතිවල කටයුතු කරමින් සිටියේ යේමනයට සෞදි අරාබියෙන් එල්ල වන ප්‍රහාර නතර කිරීම සඳහා සාම සාකච්ඡාවලට යා යුතුය යන මතය දරමිනි. යේමනයට පහර දීම නතර කර රටට පනවා තිබෙන බාධක ඉවත් කරන්නේ නම් ‘නව පිටුවක් පෙරළන්නට’ තමන් සූදානම් බව සාලේ පසුගිය සතියේ පවසා තිබිණි. මෙවිට හුතීවරුන් ඔහුට එරෙහිව නැගී සිටියේ මෙය ‘කුමන්ත්‍රණයක්’ බව කියමිනි. සාලේ පෙර කිසිදාක සෞදිය ප්‍රමුඛ සන්ධානය විශ්වාස නොකළ බවත්, සාලේ දැන් භයානක ලෙස වෙනස් වී ඇති බවත් හුතීවරු පවසන්නට වූහ.

යේමන ආණ්ඩුව සහ සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන්ට එරෙහිව යේමනයේ හුතී ගරිල්ලන් සටන් වැද සිටින්නේ 2015 මාර්තු මාසයේ සිටයි. මේ වන විට හුතී ගරිල්ලන් සෞදි අරාබියට විවෘත ලෙස අභියෝග කරමින් සිටින අතර දෙවතාවක් මිසයිල ප්‍රහාර එල්ල කළහ. කෙසේ නමුත් ඒවා මිසයිල නාශක මගින් විනාශකිරීමට රියාද් පාලනය සමත් විය. හුතී ගරිල්ලන් විසින් අවස්ථා දෙකේදීම එල්ල කර තිබුණේ බුර්කාන් -2 වර්ගයේ මිසයිලයන් ය.

මෙම ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් යේමනය වෙත පනවා තිබෙන තහනම් තවත් දැඩි කිරීමේ සැලසුමක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත තිබිණි. ඔවුන් දැඩි ලෙසම පවසා සිටියේ ඉරානයේ ආයුධ ජාවාරම නතර කිරීමට තමන්ට අවශ්‍ය බවයි. නමුත් තවදුරටත් සම්බාධක දැඩි කළහොත් ‘යේමනය දශක ගණනාවකින් මුහුණ දෙන දරුණුතම ආහාර හිඟයට ලක්වනු ඇතැ’යි එක්සත් ජාතීන්ගේ සංවිධාන අනතුරු අඟවා තිබිණි.

හුතී ගරිල්ලන් විසින් මේ වන විට යේමනයේ ගුවන් හා නාවික තොටුපොළ ගණනාවක් පාලනය කිරීම ද සිදුකරයි. සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව ඔවුන්ට එරෙහිව සටන් වදිමින් සිටින්නේ 2015 වසරේ පටන් ය. එදා පටන් මේ දක්වා සිවිල් වැසියන් 8670 ක් මෙම සටන්වලදී මියගොස් තිබෙන අතර 49,960 දෙනෙක් තුවාළ ලබා තිබේ. මිලියන 21 ක යේමන ජනතාවක් මේ නිසා අවතැන් වී මානුෂීය ආධාර අවශ්‍ය තත්වයට පත් විය. මේ අතර යේමනයේ මේ වසරේ අප්‍රේල් මාසයේ පටන් තවත් 2219 දෙනෙක් මිය ගොස් තිබෙන්නේ රටේ සීඝ්‍රයෙන් පැතිර ගිය කොළරා වසංගතය නිසා ය.

හුතී ගරිල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් ලැයිස්තුගත කර තිබෙන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඔස්ටේ්‍රලියාව විසින් පමණක් වීම ද මෙහිදී කැපී පෙනෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමය විසින් තවමත් එය ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් ලැයිස්තුගත කර නැත.

අලි අබ්දුල්ලා සාලේ හුතී සටන් ව්‍යාපාරයට විවෘත ලෙසම සහාය පළ කළ අයෙකි. විචාරකයන් ට අනුව ඔහු හුදෙක්ම මෙසේ කළේ කෙසේ හෝ නැවත යේමනයේ පාලකයා බවට පත්වීමේ අරමුණිනි. හුතීවරුන් විසින් 2014 වසරේ යේමනයේ සානා අගනුවර බලය අල්ලාගැනීමට මුල් වූ සිවිල් යුද්ධයට ද සාලේ විශාල දායකත්වයක් ලබාදුන්‍නේය.

මේ අනුව යේමනය තුළ හුතී ගරිල්ලන් හුදෙක් සටන්කාමීන්ට වඩා රජුන් තනන බලවේගයක ස්වභාවය ඉසිළීය. අවසානයේ රජුන් තනන්නා විසින්ම රජු නසා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි