පුරා සති දෙකක් අන්ධකාරයේ ජීවත් වූ ඔවුන්ව තවදුරටත් ලෝකය හඳුන්වන්නේ ‘ගුහා දරුවන්‘ යනුවෙනි. ඊයේ (18) ප්‍රථම වතාවට ඔවුහු ලෝකය හමුවේ ඒ වික්‍රමය විස්තර කළහ.
මේ වන විට යහපත් ශරීර සෞඛ්‍යෙයන් පසුවන ඔවුන් මාධ්‍ය හමුවේ සිය අත්දැකීම් විස්තර කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ‘වයිල්ඩ් බෝස්‘ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වූ ඔවුන් මාධ්‍ය හමුවට පැමිණ සිටියේ පාපන්දු සහ වයිල්ඩ් බෝස් හෙවත් වල් ඌරන්ගේ රුවෙන් සැරසුණු කණ්ඩායම් ටී ෂර්ට් ඇඟලාගෙන ය.
ඔවුන්ගේ කතා ඇසූ ලෝකයට හැඟී යන්නේ මෙතෙක් ලෝකය දැනගත් පුවත්වලටත් වඩා විශාල කතාන්දර රැසක් ඔවුන් වෙත තිබෙන බවයි.
පසුගිය ජූනි 23 වැනිදා පාපන්දු පුහුණු සැසියකින් පසුව කණ්ඩායමේ පුහුණුකරු වන 25 හැවිරිදි එක්කපෝල් හෙවත් ‘අකේ‘, තාම් ලුන්ග් ගුහාව නැරඹීමට දරුවන් කැටුව යන්නේ එහි ගොස් ‘සිරි නැරඹීමට“ (“sightseeing”) තමන් මීට පෙර කතා කරගෙන සිටි බව සිහි කැඳවමිනි.
‘‘අපිට උවමනා වුණේ පැයකට ගිහින් එන්න..‘‘ යැයි ඔහු පවසයි. එසේ ඉක්මනින් ආපසු ඒමට අවශ්‍ය වුණේ තවත් හේතුවක් ද නිසා ය. කණ්ඩායම් සාමාජිකයෙකු වන, ‘නයිට්‘ යන සුරතල් නමින් හැඳින්වූ ප්‍රීපත් සොමපියැන්ජායි ගේ 17 වැනි උපන් දිනය යෙදී තිබුණේ එදිනට ය. ඔහුගේ උපන් දින සාදය වෙනුවෙන් ‘හවස 5 වන විට ගෙදර එන්න‘ යැයි දෙමාපියන් ඔහුට කියා තිබිණි.
‘‘අපි සාමාන්‍ය විදිහට ගුහාව ඇතුළට ගියා.. නමුත් උමං දිගේ ආපහු එද්දි අපි දැක්කෙ හැම තැනම දිය කඩිති හැදෙමින් තිබෙන ආකාරයයි. සමහරු ඇහුවා අපි අතරමං වෙලාද කියලා. මම ඔවුන්ට කිව්වා, අපි වැරදි දිශාවකට ගියෙ නෑ කියලා..“
එය ඔවුන් තාම් ලුග්න් ගුහා පද්ධතිය වෙත ගිය ප්‍රථම වතාව විය.
නමුත් ඒ වන විටත් ඔවුන් අතරමං වී තිබිණි. අවසානයේ කණ්ඩායමට වියළි සහ වැලි බහුල, මදක් ඉහළින් තිබූ ස්ථානයක් සොයාගැනීමට හැකි විය.
‘‘අපි දිය කඩිත්තක් ළඟ නතර වුණා. අපි ඒ දියකඩිත්ත ළඟ තිබුණු වැලි ඉවුරෙ නිදා ගත්තා. අපි නිදාගන්න කලින් බුදුන් වැන්දා. අපි හිතුවෙ පහුවදා උදේ වෙද්දි වතුර මට්ටම අඩු වෙලා තියේවි කියලා. අපිට ඒ වෙලාවෙ බයක් හිතුණෙ නෑ..“ අකේ පවසයි.
ඉන්පසුව ඔවුන් ගුහා පද්ධතියෙන් පිටතට ඒමට විවිධ උත්සාහයන් දරා තිබිණි. පිටවන මාර්ගයක් සොයාගැනීමට ඔවුන් වෑයම් කර තිබෙන්නේ අධි දීප්තිමත් විදුලි පන්දමක ආධාරයෙනි.
කාලය ගත වත්ම දරුවන්ගේ ශක්තිය පිරිහෙන්නට පටන් ගති.
බීමට ජලය තිබුණත් කෑමට දෙයක් නැති බව ද ඔවුහු වටහා ගත්හ.
‘‘මට කලන්තෙ හැදුණා. මට කිසිම ශක්තියක් තිබුණෙ නෑ. මම හිටියෙ හොඳටම බඩගින්නේ. මම කෑම ගැන හිතන්නෙ නැතිව ඉන්න හැදුවා, මොකද එතකොට හොඳටම බඩගිනි වැඩි වෙනවා..“ චානින් විබුරුග්රුවැන්ග් දරුවා පවසයි.
‘‘අපි ගුහා බිත්ති හාරන්න පටන් ගත්තා. අපි එක එක පැතිවලට ගිහින් ගුහා බිත්ති අත්වලින් පහුරු ගාන්නයි හාරන්නයි උත්සාහ කළා. අපිව බේරගන්න එන්න කලින් අපිට ඕනෙ වුණේ එළියට යන්න..“
මේ අතර පාපන්දු පුහුණුකරු අකේ පැවසුවේ සමහර දරුවන් ‘හොඳ පිහිනුම්කරුවන්‘ නොවුණත් හැම කෙනෙකුටම පිහිනීමේ හැකියාව තිබූ බවයි. මෙය, මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා ඔස්සේ පළ වූ පුවත්වලට පටහැණි ප්‍රවෘත්තියක් ද වේ.
කාලය ගත කර ගැනීම පහසු වීම සඳහා දරුවන් කණ්ඩායම ‘චෙකර්ස්‘ ක්‍රීඩා කරන්නට පටන් ගත්හ.
‘‘ඒක සිද්ධ වුණේ එදා හවස.‘‘ යැයි ඔවුන්ව බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනාට හමු වූ මොහොත විස්තර කරමින් 14 හැවිරිදි අදුල්-සාම් පවසයි. කණ්ඩායමේ ඉංග්‍රීසි බස කතා කළ හැකි එකම දරුවා වූ අදුල්, කිමිදුම්කරුවන් සමග සන්නිවේදනය කළ ප්‍රථමයා ද වේ.
‘‘අපි ගලක් උඩ වාඩි වෙලා හිටියා. අපිට ඇහුණා, මිනිස්සුන්ගෙ කටහඬ. සද්දද නැතිව ඇහුම්කන් දෙන්න කියලා කෝච් අපිට කිව්වා..“ යැයි අදුල් පවසයි. අදුල් පුහුණුකරුගේ බසට ද කන් නොදී විදුලි පන්දම ගෙන කටහඬ ඇසුණු ස්ථානය වෙත මදක් දිව ගියේය. එයට සුළු වේලාවකට පසු කිමිදුම්කරුවෝ දෙදෙන ජලයෙන් මතු වූහ.
‘‘ඒ අය ඉංග්‍රීසියෙන් කතා කළ නිසා මම මොහොතකට නතර වුණා. ‘‘හායි ‘‘ කියල මම කෑ ගැහුවා. මම ඇහුවා එයාලට මොකක් හරි උදව්වක් ඕනෙද කියලා. ඔවුන් කිව්වා, එපා, ආපසු හිටපු තැනටම ගිහින් ඉන්න කියලා..“
තායි නේවි සීල් කිමිදුම්කරුවෙකු වූ සමන් ගුනාන් හට මේ මෙහෙයුමේදී ජූලි 6 වැනිදා සිය ජීවිතය අහිමි වූයේ ජලයෙන් යට වුණු ගුහා පද්ධතිය තුළ ඔක්සිජන් ටැංකි සවි කරමින් සිටියදී ය. ඒ පුවත අසා කණ්ඩායම මහත් සේ කම්පනයට හා දුකට පත් වූ බව පුහුණුකරු අකේ පවසයි. ‘‘දරුවන්ට මේ සිද්ධිය දැනුණෙ ඔවුන් නිසා සිද්ධ වුණු දෙයක් විදිහටයි. සමන් ජීවිතය කැප කළේ අපේ ජීවිත බේරගන්නයි!“
රෝහල්ගතව සිටින අතරවාරයේම මෙම දරුවන් සහ පාපන්දු පුහුණුකරු, ගුහා මෙහෙයුමේදී දිවි පිදූ තායි කිමිදුම්කරුට සිය උත්තමාචාරය පුද කරන්නට අමතක කළේ නැත. එම අවස්ථාවේදී දරුවන් සියලුම දෙනා වැළපෙමින් සිටින ආකාරය ද දැකගත හැකි විය.
තායි නේවි සීල් භටයන්, ඔවුන්ගේ ගළවා ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව කණ්ඩායම සමග සාකච්ඡා කළ බව ද පුහුණුකරු අකේ පැවසුවේය.
ගුහා පද්ධතිය ජලයෙන් පිරී යාමේ විශාල අවදානමක් තිබූ හෙයින් තායි ගළවාගැනීමේ කණ්ඩායම් ඔවුන්ව නොපමාව ගළවා ගැනීමට තීරණය කරයි. එයට පෙර පැවසී තිබුණේ මෙම දරුවන්ට මාස 4 ක පමණ කාලයක් ගුහාව තුළ කල් ගත කර පිහිනාම එයින් ගොඩ ඒමේ මෙහෙයුමක් දියත් කරන බව ය. ඒ අනුව දරුවන් ගොඩට ගෙන ඒමේ මෙහෙයුම, දරුවන්ගේ කැමැත්තට පටහැණිව සිදුවූවක් ද යන්න ද ඔවුන්ගෙන් අසනු ලැබීය.
එවිට පුහුණුකරු මෙසේ පිළිතුරු දුන්නේය. ‘‘නැහැ.. ඒක දරුවන් විසින් කැමැත්තෙන්ම කළ තෝරාගැනීමක්. මුලින් දුර්වල කෙනා ද ශක්තිමත් කෙනාද කියල භේදයක් තිබුණෙ නෑ. හැමෝම ස්වෙච්ඡාවෙන් එළියට යන පිළිවෙළ තෝරාගත්තා“
ගුහාව තුළ දරුවන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් රඳවා සිටි වෛද්‍ය පාක් ලොහාන්ෂූන් ද ඊයේ මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියේය. දරුවන් සියලු දෙනාම ඒ වනවිට සාපේක්ෂව හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි බවත්, ‘‘ඕනෑම කෙනෙකුට මුලින් එළියට යන්න පුළුවන්‘ යැයි ඔහු පැවසූ බවත් එහිදී සඳහන් විය.
‘‘මුලින්ම යන්න ඕනෙ කෙනා අත උස්සන්න කියල අපි දරුවන්ට කිව්වා.. සමහරු අත ඉස්සුවෙ නෑ. මොකද සමහරුන්ට උවමනා වුණේ සීල් භටයන් එක්ක ගුහාව තුළ තව ටිකක් ඉන්නයි..‘‘ යැයි පුහුණුකරු අකේ පවසයි.
රෝහල්ගත ව සිටි දරුවන්ට ඊයේ රාත්‍රියේ රෝහලෙන් මුදා හැරි අතර ඒ අනුව ඔවුහු සිය නිවෙස් බලා ගියහ.
අවම වශයෙන් මාසයක් පමණ ගත වන තෙක් මේ දරුවන් සිය අත්දැකීම් පිළිබඳ පුද්ගලිකව මාධ්‍යය වෙත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි මනෝ චිකිත්සකයන් විසින් දරුවන්ගේ පවුල්වලට උපදෙස් දී තිබේ.