×

කඩාවැටුණු තායි ගුවන් සමාගමට සරණක් ලැබේද? 

කඩා වැටුණු තායි ගුවන් සමාගමට අධිකරණ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත්, එහි කලමනාකාරීත්වය තුළ සංශෝධන ඇති කරමින් පුනරුත්ථාපන වැඩපිළිවෙලක් වෙත යොමුකිරීමට කටයුතු කරන බවත් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.


තායිලන්තයේ ජාතික ගුවන් සේවාව වන තායි ගුවන් සමාගම පත් ව ඇති බංකොලොත්භාවයෙන් ආරක්ෂා කොට පුනරුත්ථාපන වැඩපිළිවෙලක් වෙත යොමුකිරීමට තායිලන්ත රජය සූදානම් ව සිටියි.

බංකොලොත්භාවයට පත්ව තිබෙන තායි ගුවන් සමාගම එළඹෙන දින අධිකරණය වෙත ඉදිරිපත් වීමට නියමිත අතර, වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ එහි කඩාවැටීම පිළිබඳව පසුගිය දින වල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පුනරුත්ථාපන වැඩපිළිවෙල සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රෙයුට් චෑන්-ඕචා මහතා ගේ කැබිනට් මණ්ඩලය අද දින (19) ඉදිරිපත් වූ යෝජනා සම්මත කර ගන්නා ලදී.

ඒ අනුව, කඩා වැටුණු තායි ගුවන් සමාගමට අධිකරණ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත්, එහි කලමනාකාරීත්වය තුළ සංශෝධන ඇති කරමින් පුනරුත්ථාපන වැඩපිළිවෙලක් වෙත යොමුකිරීමට කටයුතු කරන බවත් හෙතෙම මාධ්‍ය වෙත පවසා තිබේ.

මීට අමතරව, මේ පිළිබඳ අදහස් දක්වමින් තායිලන්තයේ හිටපු හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ තායි ගුවන් සමාගමේ සේවයේ නියුතු 22,000 කට අධික නිලධාරීන් ගේ රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා එම සමාගම බංකොලොත් වීමට රජය ඉඩ නොතබන බවයි.

තායි ගුවන් සමාගමේ 51% ක අයිතිය තායිලන්තයේ මුදල් අමාත්‍යංශය සතුය.

මීට සති කිහිපයකට මත්තෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හඟවා සිටියේ මුදල් අමාත්‍යංශය විසින් තායි ගුවන් සමාගම ආරක්ෂා කර ගැනීම සඳහා බාත් බිලියන 54 (ඇමරිකානු ඩොලර් බිලියන 1.7) ක ණයක් වෙන් කර ගැනීමට කටයුතු කරනා බවයි.

2017 – 2019 අතර කාල සීමාව තුළ තායි ගුවන් සමාගම අඛණ්ඩ පාඩු ලබා ඇති අතර, 2020 වර්ෂයේ පළමු භාගය තුළ පමණක් බාත් බිලියන 18 (ඇමරිකානු ඩොලර් මිලියන 564) ක අලාභයක් අත් කර ගැනීමට එම සමාගමට සිදුව තිබේ. ඒ එළඹුනු කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ය.

මෙමඟින් තායි ගුවන් සමාගමේ සියළු ගුවන්ගමන් නතර කර දැමීමට තීරණය කෙරිණි.

එය අවම වශයෙන් එළඹෙන ජූනි 30 දක්වා වත් ක්‍රියාත්මක වනු ඇති බවට පුරෝකථනය කොට තිබේ.

කාර්යසාධනය සලකා බැලූ විට – විවිධ දූෂණ, අක්‍රමිකතා, වෘත්තීය සමිති ගැටළු හා සූරාකෑම් පිළිබඳ චෝදනා ලැබූ තායි ගුවන් සමාගම බොහෝ දේශපාලන විචාරකයින්, ව්‍යාපාරිකයින් හා මහජනතාව අතර විවේචනය ට තුඩු දී තිබේ.

මීට අමතරව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි 2019 දූෂණ අක්‍රමිකතා දර්ශකයේ 101 ස්ථානයට තායිලන්තය පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි