×

ලෝකයේ ප්‍රකට ආයෝජන සමාගමක මුල් පුටුවට ශ්‍රී ලාංකික දියණියක්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශිමාරා වික්‍රමනායක, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ආයෝජන සමාගමක් වන මැකියුවාරී ගෘෘප් (Macquarie Group) හි ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත් කෙරිණි.


මෙම කීර්තිමත් සමාගමේ මුල් පුටුවට කාන්තාවක පත් වූ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාසගත වේ.

මෙම සමාගම වත්කම් කළමනාකරණය, මූල්‍ය, බැංකුකරණ, උපදේශන සේවා, අවදානම් හා ප්‍රාග්ධන විසඳුම් යනාදී වශයෙන් විවිධාංගීකරණය වූ සේවාවන් රැසක් සපයන, ඔස්ට්‍රේලියාවේ අංක එකේ, පවුම් බිලියන 25 ක වත්කමක් සහිත විවිධාංගීකරණය වූ සමාගමකි. පුරා වසර 49 ක් මුළුල්ලේ එක දිගට ලාභ ලබන, රටේ සාර්ථකම සමාගම් සමූහයක් ලෙස මෙය ප්‍රකට ය. එම සමාගමේ වත්කම් කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි ශිමාරා, ඉදිරි වසර 5 ක කාලයක් සඳහා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඇයව පත්කිරීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රෙය් සියල්ලන්ගේම ප්‍රසාදය මේ වන විට එම සමාගම් සමූහය වෙත ලැබී තිබේ. එම සමාගම් සමූහය තුළ ඇගේ සේවා කාලය වසර 31 කි.

තෝමස් මුවර් සමග

තෝමස් මුවර් සමග

මේ අතර, නොවැම්බර් 30 වැනිදා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ තෝමස් මුවර්, වසර 10 ක සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම ගැනීමට නියමිත අතර, ශිමාරා එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තෝමස් මුවර් ප්‍රකාශ කර ඇත්තේ මෙයයි.

‘‘අපට නියම – විශිෂ්ට අනුප්‍රාප්තිකයෙකු සිටිනවා..“
“With Shemara, we have a really outstanding successor.”

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ පොදු සමාගම් 200 අතරින් ප්‍රධාන විධායක නිලධාරී තනතුර කාන්තාවක විසින් හොබවනු ලබන්නේ සමාගම් 16 ක පමණි.

56 හැවිරිදි ශිමාරා වික්‍රමනායක ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපත ලබා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ, මූල්‍ය ක්ෂේත්‍රයේ 30 වසරකට අධික පළපුරුද්දක් ඇති කාන්තාවකි. ඇගේ මව කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් කලක් කටයුතු කළ අමාරා වික්‍රමනායක වන අතර පියා ලන්ඩන් නුවර සේවය කළ වෛද්‍යවරයෙකි. ඇය උපත ලබා තිබෙන්නේ ද ලන්ඩනයේ ය.

ලන්ඩන් නගරයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා ගිය ශිමාරා නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වාණිජ්‍යය සහ නීතිය පිළිබඳ ප්‍රථම උපාධිය ලබාඇති අතර, හාවඩ් බිස්නස් ස්කූල් හි උසස් කළමනාකරණ පාඨමාලාවක් ද හදාරා ඇත. මෙම සමාගම් සමූහයේ සේවයට බැඳීමට පෙර ඇය කටයුතු කර තිබෙන්නේ වාණිජ්‍ය නීතිය පිළිබඳ නීතීඥවරියක ලෙස ය. දරු දෙදෙනෙකුගේ මවක් වන ශිමාරා, මෙම සමාගම් සමූහයට බැඳීමෙන් පසු නවසීලන්තය, හොංකො, මැලේසියාව වැනි රටවලට ද එය ව්‍යාප්ත කර සාර්ථක ප්‍රතිඵල පෙන්වූ කාන්තාවකි.

සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් තමන් සේවය කරන සමාගම වෙත උපරිම වශයෙන් කැප කළ මේ ශ්‍රී ලාංකීය දියණිය, අවසානයේ එහිම ප්‍රධානියා බවට පත්වීම, රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ද මහත් ආඩම්බරයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි