×

‘‘අපි නුඹව ගෙදර යවනවා!‘‘ – ට්‍රම්ප්ගේ ජනපතිකම අවසන් කිරීමට කාන්තාවෝ වීදි බසිති

‘‘ඔහුගේ ජනාධිපතිකම පටන් ගත්තේ කාන්තාවන් පෙළපාළි යාම මගින්. ඔහුගේ ජනාධිපතිකම ඉවර වෙන්නේ කාන්තාවන් ඔහුට විරුද්ධව ඡන්දය දීමෙන්..‘‘


මේ බව සඳහන් වුණේ ඊයේ පැවති දැවැන්ත කාන්තා රැළියකදී ය.

ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. සහ සෙසු නගර ගණනාවක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය අවසන් කළ යුතු බව කියමින් විරෝධතා පැවැත්විණි.

නොවැම්බර් 3 වැනිදාට යෙදී තිබෙන ඇමරිකානු ජනාධිපතිවරණය මූලික කරගෙන ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට එරෙහි විරෝධතාවක් ලෙස මෙය සංවිධානය කර තිබුණේ, තරුණ කාන්තාවන් විසින් වීමත් විශේෂත්වයකි.

විරෝධතා, ගින්ස්බර්ග් විනිසුරුවරිය මූලික කරගෙන

සැප්තැම්බර් 18 වැනිදා ගින්ස්බර්ග් විනිසුරුවරිය මිය ගියේ ඇමරිකාවේ ඉහළම අධිකරණයේ ලිබරල් ආසනයක් හිස් කරමිනි. ඇගෙන් හිස් වූ අසුනට ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් වාදීන් විසින් ඒමි කෝනි බැරෙට් නමැති කොන්සවේටිව් මතධාරී විනිසුරුවරියක පත් කිරීමට යෝජිත වී තිබේ. මෙම පත් කිරීම ගින්ස්බර්ග් විනිසුරුවරියගේ හර පද්ධතිය සමග ගැටීමක් ලෙස හඳුනා ගැනෙයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘‘මම මේ අසුනට කාන්තාවක් පත් කරනවා‘‘ යනුවෙන් කියා තිබූ නමුත් ඔහු ඒ වෙනුවෙන් තෝරාගෙන තිබෙන්නේ ගින්ස්බර්ග් විනිසුරුවරියට හාත්පසින්ම වෙනස් අයෙකු බව විරෝධතාකාරියන්ගේ මතයයි.

කෝර්න්වෝල් හි රූත් බැඩර් ගින්ස්බර්ග් විද්‍යාලය අසල පැවති විරෝධතාවලදී ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස සැලකෙන අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය වූ රූත් බැඩර් ගින්ස්බර්ග් ගේ පුවරු ද දැකගත හැකි විය.

Ruth Novak holds a sign at Federal Plaza in Chicago. Pat Nabong-AP

එක් පෙළපාලියක් සම්පූර්ණයෙන්ම පැවැත්වුණේ නිව්යෝක් හි කෝන්වෙල් සරසවිය ආශ්‍රිතව ය. රූත් බැඩර් ගින්ස්බර්ග් විනිසුරුවරිය උපාධි අපේක්ෂිකාවක වශයෙන් සිටියදී ජීවත් වූ නේවාසිකාගාරය අසල එය පැවැත්විණි.

ගින්ස්බර්ග්ගෙන් හිස් වූ අසුනට ඇය වැනිම කාන්තාවක් පත් කරන ලෙස බල කරමින් තවත් විරෝධතා පෙළපාළි ගණනාවක් නිව්යෝක් නුවර සිට සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර බලා ඇදී ගියේය.

දියණියන්ගේ අනාගතය වෙනුවෙන්

‘‘ඔබේ දියණියගේ අනාගතය වෙනුවෙන් ඡන්දය දෙන්න‘‘
“Vote for your daughter’s future”

යනුවෙන්, විශාල පිරිසක් අත්සන් කළ පුවරුවක් ද එහිදී දැකගත හැකි විය.

ඩවුන්ටවුන් වොෂින්ටන් හරහා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගමන් කළ තවත් පිරිසක් අත වූයේ ‘ගැහැණු ළමයෙකු මෙන් සටන් කරන්න‘ “Fight like a girl,” යන්නයි.

ඇමරිකානු නීතිය විසින් සමාජ දුරස්ථබව තබාගෙන, මුහුණු වැසුම් පැළඳගෙන මේ අන්දමේ විරෝධතාවල නියැළීමට අවසර ලබා දී ඇත.

Women’s March සංවිධානය විසින් මෙය ආරම්භ කිරීමේදීම නිවේදනය කෙරුණේ සමාජ දුරස්ථ බව පවත්වාගන්නා ලෙසයි. කෝවිඩ්-19 හි එකම ‘superspreader event‘ එනම්, සුපිරි වේගයෙන් කෝවිඩ් පැතිරවු අවස්ථාව ලෙස ධවල මන්දිරයේ ට්‍රම්ප්ගේ හැසිරීම් දිගටම පවතින බවත්, මෙම කාන්තා රැළිය එයට දායක නොවිය යුතු බවත් එහිදී ප්‍රකාශ විණි.

People march in Nashville, Tennessee -Mark Humphrey-AP

ප්‍රජනන අයිතිය පිළිබඳ සංවිධානත් පෙරට

Ultraviolet නමැති ප්‍රජනන අයිතිය පිළිබඳ ප්‍රචාරණයන් සිදුකරන සංවිධානයක් ද මෙම විරෝධතා සඳහා එක්ව සිටියේය. එහි අධ්‍යක්ෂිකා සොන්ජා ස්පූ අවධාරණය කළේ නොවැම්බර් 3 වැනිදා ජෝ බයිඩන් බලයට පත් වුවහොත් ට්‍රම්ප්, සාමකාමී ලෙස ඔහුට තනතුර භාරදිය යුතු බවයි.

තමන් කිසි ලෙසකින් සාමකාමී බල සංක්‍රමණයට උර නොදෙන බවට ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබේ.

‘‘අපි ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉවත් කරන්න නොවැම්බර් 3 වැනිදා ඡන්දය දෙනවා. ‘‘ සොන්ජා ගාඩියන් සමග පැවසුවාය.

‘‘එතැන ඉඳන්, බලයේ ඉන්නවාද නැත්ද යන්න තීරණය කරන්නේ ඔහු (ඩොනල්ඩ් ට්‍රම්ප්) නෙවෙයි. ඒ ඔහුගෙ බලය නෙවෙයි, ඒක අපේ බලය!‘‘

ඉදිරියේදී ද මෙවැනි රැළි ගණනාවක් පැවැත්වීමට මෙම කාන්තාවෝ තීරණය කරගෙන සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි