×

ළමා හිංසනයට නීතියෙන් අවසර ලබාදෙමින්ම සමරන ලෝක ළමා දිනය නොහොත් ‘එක් දින රැවටිල්ල‘

ජාත්‍යන්තර ළමා දිනය සෑම වර්ෂයකම ජුනි මස පළමු වැනිදා සමරනු ලබන අතර, විශ්ව ළමා දිනය ලෙස සැලකෙන්නේ නොවැම්බර් 20 වෙනිදායි.


ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය සමරනු ලබන්නේ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මස පළමුවැනිදා වන අතර මේ වසරේදී ද ජාතික මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් විවිධ වැඩසටහන් පවත්වමින් ළමයින්ගේ නිදහස හා අභිමානය සමරනු ලබයි. ළමයින්ගේ නිදහස හා අභිමානය සැමරීමට හා ප්‍රවර්ධනය කිරීමට විශේෂ දිනයක් අවශ්‍ය නො වූව ද, අඩුම තරමේ එක් දිනක් හෝ ළමයින් ගැන විශේෂයෙන් සිතීම හා ඔවුන් වෙනුවෙන්ම සකස් කරන ලද ක්‍රියාකාරකම් හා වැඩසටහන් පැවැත්වීම ද වැදගත් ලෙස සැලකිය යුතුය. වර්තමානයේ ළමයින් යනු විශ්වයේ අනාගතය බව සිහි තබාගනිමින් ඔවුන්ගේ ළමා කාලයවත් නිදහසේ ගත කිරීමට අවස්ථාව ලබාදෙනවා නම්, නීරෝගී හා නිදහස් මනසකින් යුතු අනාගත පරපුරක් බිහිකර ගැනීමට අපට හැකිවනු ඇත. එහෙත්, දරුවන්ට එවැනි නිදහසක් පවතිනවාද යන්න නැවත නැවත වතාවක් සිතිය යුතු කාලය එළැඹ තිබේ.

දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රඥප්ති, නීති රීති හා රෙගුලාසි පැවතිය ද, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණ පාන සැබෑ ප්‍රශ්න එම ප්‍රඥප්තිවලට හසුවන්නේ නැති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම ලෝක ළමා දිනයේදී පමණක් දරුවන් උඩ දමා හුරතල් කර, වසරේ ඉතිරි දින 364 ම ඔවුන් උඩ දමා අතහරින ආකාරයේ සමාජ ක්‍රියාකාරකම්වලට වැට බැඳීමට උත්සාහ දැරීමක් පෙනෙන්නට ද නැත. දරුවන් ඇස කඳුලින් ළය උණු නොවන මිනිසුන් විසින් සිදුකරන ළමා හිංසන කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීම මෙම ලිපිය මගින් සිදු වේ.

මුස්ලිම් විවාහ නීතිය

ශ්‍රී ලංකාවේ නීතියට අනුව පුරුෂයෙකුට හා ස්ත්‍රීයකට විවාහ වීම සඳහා නීත්‍යනුකූලව වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුවේ. ජාත්‍යන්තර ප්‍රඥප්ති හා රෙගුලාසි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව විසින් පුද්ගලයින්ට විවාහ වීමට සුදුසු වයසක් තීරණය කර ඇත්තේ ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන හා සිවිල් අයිතිවාසිකම් පදනම් කරගෙනය. වර්තමානයේදී මෙම වයස වඩාත් පුළුල් අර්ථයකින් සලකා බැලෙන්නේ සියලුම දරුවන්ට ද්විතීයික අධ්‍යාපනය ලබාදීමේ අයිතිය ද පදනම්ව ඇති නිසාය. ඒ අනුව, නිසි ආකාරයෙන් අධ්‍යාපනය ලබා පවුලක් නඩත්තු කිරීමට හා පවුලක් තුළ සිදුවන මූලික කාර්යයන් සිදුකිරීමට නිසි සෞඛ්‍ය මට්ටමක් ඇති අය විවාහය සඳහා සුදුසුකම් ලබයි.

එහෙත් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ මුස්ලිම් ගැහැණු දරුවෙකු විවාහ කර දීමේ අවම වයස වන්නේ අවුරුදු 12 සම්පූර්ණ වී තිබීමයි. වර්තමානයේදී අවුරුදු 12 දී මුස්ලිම් ගැහැණු දරුවන් විවාහ කර දෙන්නේ නැතැයි යමෙකු තර්ක කළ හැකි වුවද, නීතිය හා භාවිතයන් විසින් අවශ්‍ය කරන ලිහිල් කරණයන් ලබා දී තිබියදී, එලෙස නොකර සිටී යැයි පැවසිය නොහැක. කාත්තන්කුඩි, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රීක්කයේ සමහර ප්‍රදේශවල චාරිත්‍රයක් වශයෙන් අඩු වයස් මුස්ලිම් විවාහ සිදුකිරීම සම්බන්ධයෙන් උදාහරණ විශාල ප්‍රමාණයක් පවතී.

වඩාත් වැදගත් වන්නේ එවැනි විවාහ සිදුකිරීම මගින්, අඩු වයස් ගැහැණු දරුවෙකුගේ අධ්‍යාපන හා සෞඛ්‍යමය අයිතිවාසිකම්වලට සිදුවන තර්ජනය පමණක්ම නොවේ. ළමයින් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්ති සියල්ලම අත්සන් කර ඇති, ළමයින් සම්බන්ධව සුබ අනාගත තැනීමට දායක වනවා යැයි පැවසෙන, ළමා කටයුතු සම්බන්ධ අමාත්‍යාංශ හැට හුටහමාරක් පවතින රටක් වශයෙන් අඩු වයස් විවාහ නීති වෙනස් කිරීමට කිසිදු උත්සාහයක් නොදැරීමයි. පසුගිය කාලයේදී සිවිල් සමාජ සංවිධාන හා ළමයින් සම්බන්ධව ක්‍රියාකාරී සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යම් යම් අදහස්වලදී රජය පාර්ශවයෙන් කියැවුනේ මෙම නීතිය මගින් කිසියම් ජාතියක හා ආගමක සංස්කෘතික කාරණාවන් සම්බන්ධව කතා කෙරෙන නිසා එවැනි සංවේදී සංස්කෘතික, ආගමික කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමට ඔවුන්ගේ අදහස් විමසිය යුතු බවයි. පිටරැටියන් පැමිණ පිදුරංගල ගල මුදුනේ මොන ජවුසම දැම්මත් නිහඞව සිටි නීතියට, පීටර් කුරුවිට විසින් පිදුරංගල කඳු මුදුනේ වලි කුකුල් මස් උයද්දී, නිහඩව සිටි නීතියට සංස්කෘතිය හා සදාචාරය මතක් වන්නේ තරුණයින් කිහිප දෙනෙකු පිදුරංගල දී පශ්චාත්භාගය එළියට දැම්මාට පසුව වැනි කාරණාවලදී පමණි. සංස්කෘතිය හා ආගම යනාදීය මගින් දරුවන්ගේ අනාගතය තීරණය කරන්නේ නම්, රජයක් හා නීතියක් අවශ්‍ය වන්නේ කුමකටද? එම සංස්කෘතික හා ආගම්වලටම රට කරන්නට දී රජය හා නීතිය ස්වයං තීරණ ගෙන වළපල්ලට යා යුතුය.

මුස්ලිම් දියණියන්ගේ චර්ම ඡේදනය

දෙවැනි කරුණ මුස්ලිම් දියණියන්ගේ චර්ම ඡේදනය සිදුකිරීමයි.පසුගිය කාලයේදී විවිධ දේශපාලනික හා සමාජ සන්දර්භවලදී මේ පිළිබඳ තර්ක විතර්ක ගොඩනැගුනු අතර, මුස්ලිම් ආගමේ නායකයින් විසින්ද මේ සම්බන්ධයෙන් මතවාද දෙකක සිටිනු දැකිය හැකිය විය.

බහුතර මුස්ලිම් ආගමිකයින්ගේ අදහස වූයේ, ගැහැණු දරුවෙකු ආගමේ නාමයෙන් නියම මුසල්මානුවෙකු වන්නේ දියණියක ඉපදී දින 48 ක් ඇතුළත දී ( එක් එක් ප්‍රදේශවලට අනුව මෙම දින වකවානු වෙනස් වේ) ඇයගේ යෝනි මාර්ගයේ පහළ කොටසේ සුළු තුවාලයක් සිදුකර රුධිරය බින්දුවක් පමණ පිටවීමට සැලැස්වීමෙන් බවයි. මෙය අප්‍රිකානු කලාපය තුළ සිදුකරන ආකාරයේ කාන්තාවගේ භගමණියේ කොටසක් කපා ඉවත් කිරීම මෙන් නොව, යෝනි තොල් පෙතිවල පහළ ස්ථානයේ සිදුකරන කුඩා සිදුරු කිරීමක් පමණක් බවට ඔවුහු තර්ක කරති.

එහෙත්, මුස්ලිම් කාන්තාවන්ගේ චර්ම ඡේදනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය හා අප විසින් ලබාගෙන ඇති සම්මුඛ සාකච්ඡා හා සිද්ධි අධ්‍යයනවලින් පෙනී යන්නේ එය කුඩා කැපුමකට එහා ගිය තත්ත්වයක් බවයි. විවිධ ආසාත්මික තාවයන්, මානසික කම්පන යනාදිය හා පශ්චාත් ලිංගික ප්‍රශ්න ද මේ හා සම්බන්ධව ඇති බවයි. ආගමේ නාමයෙන් හෝ සංස්කෘතියේ නාමයෙන් හෝ සිදුකරන්නේ ඉතා බරපතල ළමා හිංසනයක් නම්, එය නතර කිරීමට රජය හා නීතිය පෙරමුණ ගත යුතුය. දරුවෙකුගේ තබා ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ ඉතාම සංවේදී ස්ථානයක් වන ලිංගික අවයවයේ කොටසක් ළමා කාලයේදී කපා ඉවත්කිරීම දරුවෙකු සම්බන්ධයෙන් සිදුකරන බරපතල අපරාධයක් බව දැන්වත් අප විසින් තේරුම් ගත යුතුය.

ළමා ලිංගික හිරිහැර හා කුට්ටනය

තෙවැනි කරුණ ඉතා බරපතල වශයෙන් සිදුවන ළමා ලිංගික හිරිහැර හා කුට්ටනයයි. කාන්තා හා ළමයින් සම්බන්ධ පොලිස් කාර්යාංශය විසින් දක්වන ආකාරයට සෑම දිනකම අඩුම තරමේ අඩු වයස් දියණියන් තුන්දෙනකු වත් බරපතල ලෙස ලිංගික දූෂණයට ලක්වේ. මෙය වාර්තා වෙන හා පැමිණිලි කෙරෙන ප්‍රමාණය වුවද, සැබෑ සංඛ්‍යා ලේඛන මීට වඩා ඉහළ අගයක් ගනී. නීති ක්ෂේත්‍රය හා ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දරුවන් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ නම්, වඩාත් අවධානයට ලක් කළ යුතු කාරණයක් වන්නේ ගැහැණු දරුවෙකු දූෂණය කිරීමකට අදාළව දඞුවම් ලබාදීමට නීති ප්‍රතිපාදන පැවතිය ද, ශ්‍රී ලංකාව තුළ ඉතා බහුල වශයෙන් සිදුවන හා යම් යම් සංස්කෘතික හා ආගමික ස්ථානවල ඉතා බහුල වශයෙන් දිනපතා සිදුකරන පිරිමි ළමුන් දූෂණයට හා අපචාරයට ලක් කිරීමට අදාළ නීති නොමැති වීම සම්බන්ධයෙන්ය .ලිංගික දූෂණය යැයි ඇසුනු සැනින්, මතක් වුන සැනින් ගැහැණු දරුවෙකු හෝ, ගැහැණියක සිහියට නැඟුන ද, අඩු වයස් පිරිමි දරුවන් දූෂණයට ලක් කිරීම හා විවිධ අපචාර ක්‍රියාකාරකම්වලට පොළඹවාගැනීම ඉතා විශාල මට්ටමින් සිදුවේ. සමහරවිට අප විසින් පිළිගැනීමට අකමැති වුවද, දිවයිනේ සෑම උසාවියකම පාහේ මෙවැනි චෝදනා සම්බන්ධව නඩු පවතින අතර, එවැනි නඩුවල චූදිතයන් බවට පත්ව ඇත්තේ ද ආගමික නායකයින් හා ගුරුවරුන් වීම ජාතියේ අවාසනාවකි. සංස්කරණයට ලක්විය යුතු යම් යම් නීතිරීති රෙගුලාසි සම්බන්ධයෙන් සමාජයේ සියලු පාර්ශ්ව ප්‍රසාදය පළ කළද, අවසානයේ අප්‍රසාදය පළ කරන යම් පාර්ශ්වයක් වේ නම් ඒ, ආගමික කණ්ඩායම් නියෝජනය කරන පාර්ශ්වයි. එහෙත් එවැනි අප්‍රසාද පළ කරන, ආගම් හා සංස්කෘතීන් ප්‍රවර්ධනය කරන අයවළුන් අතින්ම දරුවන්ගේ ජීවිත විනාශ වන්නේ නම්, ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතුය.

ළමා මාතෘභාවය

සිවුවැනි කාරණාව ශ්‍රී ලංකාව තුළ දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු මාතෘකාවක් බවට පත්වී තිබෙන ළමා මාතෘභාවයයි. ඉගෙන ගන්නා වයසේ පසුවෙන, මූලික හා ද්විතීයික සමාජානුයෝජනය ලබමින් සිටින දියණිවරුන් මව්වරුන් බවට පත්වීම විශාල ඛේදවාචකයක් බවට පත්වී තිබේ. පසුගිය කාලයේදී මේ සම්බන්ධ චෝදනාව මුස්ලිම් ආගම වෙත පැවරුණේ ඔවුන් අඩු වයස් විවාහ සිදුකරන නිසා, ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය වැඩිවන බව ප්‍රකාශ කරමිනි. එහෙත් මෑතකාලීන සංඛ්‍යා ලේඛන වලට අනුව 5.5% ක් වන ළමා මාතෘ ප්‍රතිශතයෙන් වැඩි අගයක් ගන්නේ සිංහල බෞද්ධ දියණිවරුන්ය. ඔවුන් ළමා මාතෘ වින්දිතයින් බවට පත්කරවන, ඔවුන් ගොදුරු බවට පත්කරවන ප්‍රධානතම සාධකය බවට පත්වන්නේ ව්‍යභිචාරයයි. එනම්, පියවරුන්, සහෝදරයින් ඇතුළු ලේ ඥාතීන් විසින් සිදුකරනු ලැබූ දූෂණයක් හේතුවෙන් හෝ වසර ගණනාවක් තිස්සේ දිනපතා තම දියණිය, සහෝදරිය, ඥාතී දියණිය අපයෝජනයට ලක් කිරීම මගින් සිදුවනු ලබන ගැබ් ගැනීම්ය. දියණියක් දූෂණය වන්නේ හා මාතෘභාවයට පත්වන්නේ ඇයගේම පියා අතින් නම්, එවැනි දියණිවරුන් සිටින රටක, ලෝක ළමා දිනය සමරන්නේ කෙසේද? අනාරක්ෂිත ගබ්සාවන් සිදුකිරීමට යාමේදී හෝ සිදුකරගැනීම නිසා ජීවිතය විනාශයට පත්වන දියණිවරුන්ගේ ජීවිත තව තවත් අනාරක්ෂිත භාවයට පත් කරමින් සිදුකරන ළමා දින සැමරීම් කුමකට ද?

වෙනස් ලිංගික අනත්‍යතාවන් පැවතීම නිසා පාසල් තුළ, සමාජය තුළ විවිධ හිංසනවලට හා අපචාරයන්ට ලක්වන දරුවන් හූල්ලමින් සිටියදී, තමන්ට හිමිවිය යුතු කායික, මානසික නිදහස ඉල්ලමින් සිටියදී, ඒ සියල්ල උත්සවශ්‍රීයෙන් වසා දමමින් සමරන ළමා දිනයක් කුමකට ද? විභාග මානසිකත්වයෙන් හෙම්බත් කරමින්,අනවශ්‍ය ආකාරයෙන් පීඩනයට පත්කරවමින් දරුවන්ගේ ළමා කාලය උදුරාගන්නා අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක් තුළ වසරේ දින 364 ම උපකාරක පන්තිවල නොමරා මරන දරුවන්ගේ ජීවිත වලට එක් දිනයකදී පමණක් ලබාදෙන නිදහස හා අභිමානය කුමකට ද?

ඡායාරූපය – www.readphotos.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි