×

මේ ලොව විශාලතම සංක්‍රමණයයි!

චන්යුන් කාලයේදී වසරකට බිලියන 03ක පමණ ජනතාවක් සිය මව්රට වන චීනය බලා පැමිණෙන බවට පැවසේ.


චීනයේ නව වසර (ලූනාර් නිව් ඉයර්) සැමරීමට සමගාමීව ලොව නන්දෙස චීන ජාතිකයින් අති විශාල සංඛ්‍යාවක් වාර්ශිකව සිය නිවෙස් කරා පැමිණීම සිදුවෙයි.

ලොව විශාලතම මානව සංක්‍රමණය ලෙස හැඳින්වෙන චීන නව වසරට සමගාමීව පුද්ගලයින් සිය මව්රට බලා පැමිණීම හඳුන්වනු ලබන්නේ චන්යුන් යනුවෙනි.

සම්ප්‍රදානුකූලව සිදුවන මෙම කටයුත්තේදී වසරකට බිලියන 03ක පමණ ජනතාවක් සිය මව්රට බලා පැමිණෙන බවට පැවසේ.

මෙම චන්යුන් කාලය දින 40ක් පුරා දිවෙන බව පැවසේ. එම කාලය ජනවාරි 10 දින සිට පෙබරවාරි 18 දක්වා දිවේ.

නව වසරට සමගාමීව වසන්තය උදාවන චීනයේ මෙම කාලය තුළ සිය නිවෙස් කරා පැමිණෙන ලොව නන් දෙස චීන ජනතාව උත්සවශ්‍රීයෙන් කාලය ගත කිරීමට ද අමතක නොකරයි.

චීන නව වසර මෙවර උදා වන්නේ ජනවාරි 25 වෙනි දිනයි.

ඒ අනුව, මෙම වසරේ වෙනත් රට වල සේවය කරන කම්කරුවන්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුන් ඇතුළු අති විශාල සංඛ්‍යාවක් චීනයට පැමිණීමට නියමිතය.

මෙම තත්ත්වය තුළ චීනයේ යටිතල පහසුකම් වල විවිධ හිඟතා ඇතිවීමේ අවදානමක් ද පවතී.

එහෙත් ඉතිහාසය පුරා මෙම සංකේතාත්මක තදබදය වසරේ මුල හට ගැනීම චීනය තුළ සාමාන්‍ය සිදුවීමකි.

මෙම වසරේ චන්යුන් කාලය තුළ බිලියන 2.99 ක ජනතාව චීනය කරා සංක්‍රමණය වීමට නියමිත අතර, ඉන් බිලියන 2.43 ක් මෝටර් රථ ඔස්සේද, මිලියන 440 ක් දුම්රිය ගමන් ඔස්සේද, මිලියන 79 ක් ගුවන් ගමන් ඔස්සේ ද පැමිණීමට නියමිතයි.

මෙම දත්ත වල පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳ චීනයේ රාජ්‍ය හා තොරතුරු කාර්යාලය විසින් ජාතික සංවර්ධන හා නිවාඩු නිකේතන කොමිෂන් සභාව හා ප්‍රවාහන අමාත්‍යංශය ඇතුළු දෙපාර්තමේන්තු හතක් සමඟ පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්තී සාකච්ඡාවකදී අදහස් පළවිය.

එහිදී සඳහන් වූයේ මෙවර චන්යුන් කාලයට සමගාමීව හටගැනීමට තිබෙන තදබදය කළමනාකරණය කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන ලද්දේ චන්යුන් කාලය නිල වශයෙන් ආරම්භ වීමට දිනකට (ජනවාරි 09) පෙරයි.

එන්නේ මෙහෙමයි..

චීනය පසුගිය වසර තුළදී කිලෝමීටර 8,489 ක් දුර නව දුම්රිය මාර්ග ඉදිකර තිබේ.

ඒ අතර කිලෝමීටර 5,474 ක දුරට අධිවේගී දුම්රිය මාර්ග ද ඉදිකර තිබේ.

පැයට කිලෝමීටර් 350 ක වේගයෙන් ධාවනය වන රියදුරු රහිත බුලට් දුම්රියන් මේ සඳහා නිදසුනකි.

චීනයේ උතුරු සහා බටහිර කලාප වල මාර්ග තදබදය අවම කිරීමට මෙම දුම්රිය සේවාව බෙහෙවින් උපකාරී වී ඇත.

මෙම දුම්රිය සේවාවන් චීන නව වසර එළඹීමට දිනකට පෙර දක්වා මෙන්ම නව වසර අවසානයේ පන්දහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.

මීට අමතරව අධිවේගී මාර්ග හා ගුවන් තොටුපළ වල තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කිරීම් රාශියක් සිදුකිරීමට චීන රජය පියවර ගෙන තිබේ.

ඊ-ටිකට් පද්ධතිය මින් වඩාත් ජනප්‍රියයි.

පසුගිය වසරේ ආසියාවේ විශාලතම ගුවන්තොටුපළ වන ඩැක්සින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කළ අන්දම අපි දුටුවෙමු.

චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය ඇස්තමේන්තු කර ඇති අන්දමට මෙම වසරේ ගුවන් ගමන් තුළ මගීන් මිලියන 190ක් පමණ දිවයින කරා පැමිණීමට නියමිත ය.

එය පෙරට වඩා 15% වර්ධනයක් බවද ඔවුහු පෙන්වා දෙති.

තවද, චීනයේ මේ වන විට බස්රථ සේවාවන් 790,000 ස්ථාපිත කර ඇති අතර, බෝට්ටු සේවාවන් 19,000 ස්ථාපිත කර පවතී.

ගමනාගමන තදබදය අවම කිරීමට අධිවේගී ගමන් මාර්ග කිලෝමීටර 330,000 දක්වා දුරකට ඉදිකිරීමට චීනය සමත් ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි