×

ඩුටර්ටිගේ කැත හාද්ද

පිලිපීන ජනපති, කාන්තාවක් ප්‍රසිද්ධියේ සිප ගනියි.


පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි, ලෝකය කැළඹෙන හාද්දක් දුන්නේය. එනම්, දකුණු කොරියාවේදී සභාවේ සිටි පිලිපීන කාන්තාවක් වේදිකාව මතට කැඳවා ඇගේ තොල් සිප ගත්තේය.

එම රැස්වීමේ සිටි බොහෝ දෙනා දකුණු කොරියාවේ ජීවත් වෙමින් රැකියා කරන පිලිපීන කාන්තාවන් ය.

මුලින් කාන්තාවන් දෙදෙනෙක් වේදිකාවට කැඳවන ඩුටර්ටි, තමන් අත ඇති පොත එකියකට දී ඔවුන් සමග වචන කිහිපයක් හුවමාරු කර ගත්තේය. ඩුටර්ටි තමන්ට ‘පුද්ගලිකව‘ කතාකිරීම ගැන ගැහැනු දෙදෙනාම ප්‍රමෝදයට පත් ව සිටියහ. එයින් එකියක් උද්වේගජනක ලෙස උඩ පනිනු ද පෙනිණි. ඇයව කැඳවන ඩුටර්ටි සිය දෙතොල් දක්වමින්, තමන්ගේ තොල් සිප ගැනීමට කැමතිදැයි ඇගෙන් අසයි. එසේම ඇය විවාහක යැයි ද ඔහු එම අවස්ථාවේදී අසා තිබේ. (Duterte kisses OFW based in South Korea)

මේ අනුව සිය තොල් සිප ගත යුතු යැයි ඔහු අවධාරණය කරන විට ඇගේ කිසිම අකමැත්තක් නොමැති බව පෙනී යාමත්, ඇය පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් උඩපැනීමත් නිසා, ස්ත්‍රී විරෝධියෙකු හෙවත් නාරි ද්වේශයෙන් පෙළෙන්නෙකු (misogynst) වශයෙන් ප්‍රකට ඩුටර්ටි, ස්ත්‍රීන් දෙස සම සිතින් බලන සාධාරණ මනුෂ්‍යෙයකු බවට හදිසියේ පත්වීද?

විචාරකයන් නම් පවසන්නේ ඩුටර්ටි, ‘‘ගෑනුන්ට නම් මෙහෙම තමයි කරන්න ඕනෙ..“ යනුවෙන් දරන අදහසට තවත් සාක්ෂියක් සිය ක්‍රියාවෙන් එක් කළ බවයි. එම හැසිරීම ‘අප්‍රසන්න බව‘ ද ඔවුහු අවධාරණය කරති.

රටේ ජනපති සාමාන්‍ය කාන්තාවක වේදිකාවට කැඳවා ‘අපි තොල් සිප ගනිමුද“ යි ඇසූ විට එයට විරුද්ධ වීමට තරම් කොන්දක් නැති වීම සහ අනුමැතිය පළ කරමින් උද්දාමයට පත්වීම යනු ස්ත්‍රීවාදයට අනුව, බල පරතරය විසින් ඇති කර තිබෙන සහ, ශිෂ්ටාචාරය පුරාම පුරුෂෝත්තමවාදය විසින් ස්ත්‍රීන් ‘ඇතිදැඩි කර තිබෙන අන්දම‘ නිසා හටගන්නා තවත් සංසිද්ධියක් පමණි.

ඩුටර්ටිගේ macho විලාසය හෙවත් ප්‍රදර්ශනාත්මක පිරිමි කම විසින් ඇති කර තිබෙන ප්‍රතිරූපය මෙයට පොහොර දමන්නට ඇත.

ඩුටර්ටි ස්ත්‍රීන් සම්බන්ධයෙන් කෙසේ හැසිරිය යුතුදැයි මීට පෙර ද අනන්තවත් උදාහරණ සපයා තිබේ. ඩුටර්ටි මීට පෙර ‘රේජ් ජෝක්‘ දෙකක් කර තිබේ. පිලිපීනයේදී ඔස්ට්‍රේලියානු ජාතික මිෂනාරි සේවිකාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2016 වසරේදී ඔහු කීවේ, තමන් පුරපති කළ නගරයේදී එය සිදුවූවා නම් දූෂකයන්ගේ පෝලිමේ මුලින්ම සිටින්නේ තමන් (“first in line”) බවයි! 2017 මැයි මාසයේදී හටගත් දෙවැනි සිදුවීමේදී දකුණු දිග පිලිපීනයට හමුදා නීතිය පනවා, ඉන්පසු සොල්දාදුවන් පිරිසක් අමතමින් ඔහු කීවේ, එක සොල්දාදුවෙකුට ගැහැනු 3 දෙනෙකු බැගින් දූෂණය කළ හැකි බවය! ‘

ස්ත්‍රී දූෂණය විහිළුවක් නොවේ යනාදී වශයෙන් හිලරි ක්ලන්ටන්ගේ දියණිය චෙල්සියා ක්ලින්ටන් වැනි බොහෝ අය විසින් මේ ආන්දෝලනාත්මක, අමන ප්‍රකාශය සම්බන්ධයෙන් ට්ටීට් දහස් ගණනක් ලියැවෙන්නට ඇත. මෙයට මාස කිහිපයකට පෙර ඔහු සොල්දාදුවන් පිරිසක් අමතා කියා තිබුණේ අල්ලා ගන්නා සතුරු පාර්ශවයේ ගැහැනු සොල්දාදුවන්ට දඬුවම් කළ යුත්තේ ඔවුන්ගේ රහස් ප්‍රදේශයට වෙඩි තැබීමෙන් බව ය. එවිට එම ගැහැනුන්ට දරුවන් වදන්නට නොහැකි වන බවත්, ඔවුන්ට දිය හැකි ලොකුම දඬුවම එය බවත් ඔහු හිරිකිතයක් නැතිව කීවේය.

රට ප්‍රජාතන්ත්‍රවාදයේ අගාධයටම දක්කන මේ ‘මාකෝස්‘ අවතාරය වෙත ජාත්‍යන්තරයේ හතරවටින්ම කොතරම් විවේචන එල්ල වුවත්, ඩුටර්ටි ඩුටර්ටිම ය. සිය රටවැසියන් බහුතරයකට පවා ඔහුගේ මෙවැනි අකටයුතුකම් ‘අයියා වැඩ‘ ලෙස පෙනේ. ඔවුන්ට අනුව නම් ඒ අයියා, ඊයේ දිනයේ ද සිදුකර තිබෙන්නේ ‘වැඩ පෙන්වීමකි‘!

සිය ජීවිතයට සමීප කාන්තාවක් ඩුටර්ටි විසින් අපහරණය කරන තෙක්, ‘අයියා‘ගේ ඒ වැඩ පෙන්වීම කෙබඳු ද යන්න, තවමත් ඔහුට ‘අයියා‘ හෝ ‘පොර‘ පට්ටම පිරිනමන අයට නොදැනෙනු ඇතිද..?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි