×

බීර ඉතිහාසය අලුත් වේ

ලොව පැරණිතම බීර ගැන හෝඩුවාවක් සොයාගන්නට පුරා විද්‍යාඥයෝ පිරිසක් සමත් වෙති.


මෙසේ හමු වී තිබෙන්නේ වසර 13,000ක් පමණ පැරණි බීර මණ්ඩි බව සඳහන් වේ. ඒවා සොයා ගැනුණේ ඊශ්‍රායලයේ හයිෆා නගරයේ ප්‍රාග් ඓතිහාසික ගල් ලෙනක කැණීම් කටයුතුවලදී ය. මෙයට පෙර කරන ලද පර්යේෂණවලින් තහවුරුව ඇති අන්දමට බීර පළමුවෙන් නිෂ්පාදනය කර තිබෙන්නේ අදින් වසර 5,000කට පමණ ඉහතදී ය. පසුගිය දා සොයාගැනුන බීර මණ්ඩි වසර 13,000කට පළමුව නිෂ්පාදනය කර ඇති බව සනාථ වන නිසා බීර ඉතිහාසය අලුතෙන් ලියන්නට විද්‍යාඥයන්ට සිදුව ඇත.

DANI NADEL/AFP

DANI NADEL/AFP

DANI NADEL/AFP

DANI NADEL/AFP

වන ඵල එකතු කර ආහාරයට ගනිමින් සංචාරක ජීවිතයක් ගත කළ නටුෆියන් ජනයා පිළිබඳ තතු අනාවරණය කර ගැනීමට ගත් උත්සාහයකදී මෙම බීර මණ්ඩි හමු වී තිබේ. පර්යේෂණයට නායකත්වය දුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලි ලිව් පවසන්නේ නටුෆියන් ජනයා පැලියෝලිතික සහ නියෝලිතික යුග අතර කාලයේදී ජීවත් වී ඇති බවකි. ඔවුන් තිරිඟු සහ බාර්ලි භාවිතයෙන් මෙම මධ්‍යසාර නිපදවා ගත් බවට විද්‍යාඥයන්ට සාක්ෂි ලැබී ඇත.

සෙන්ටිමීටර 40 ක් පමණ ගැඹුරැති ගල් වංගෙඩි තුනක් සොයා ගැනීමටත් විද්‍යාඥයෝ සමත්ව සිටිති. මේ ගල් වංගෙඩි ලෙනෙහි බිමටම සවිකරන ලද ඒවා ය. ඒවා භාවිත කර තිබෙන්නේ ධන්‍යය ගබඩා කිරීම, කෙටීම සහ විවිධ ශාක වර්ග පිස ගැනීම යන කාර්යයන්ට ය. එදා සකසාගෙන තිබෙන්නේ තලප හා සමාන බීර විශේෂයකි. මේ නිසා එය අද අප දකින බීරවලට වඩා බෙහෙවින්ම වෙනස් බීර වර්ගයක් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

බීර තිබී සොයාගත් ගල් ලෙන නටුෆියන් ජනයා භාවිතයට ගෙන තිබෙන්නේ මළවුන් භූමදානය කිරීම සඳහා ය. මල් සහ ශාක සහිත වේදිකාවක් මත මෘත දේහ තැන්පත් කර ඇත. මළවුන් භූමදාන කිරීම සඳහා බීර හෙවත් මධ්‍යසාරත් යොදාගෙන ඇති බව හෙළි වේ.

නටුෆියන් ජනයා තනා ඇති බීර වත්මන් බීරවලට වඩා සැර ගතියෙන් දුර්වල බව සඳහන් වේ. කෙසේ වෙතත් වසර 13,000කට පළමුව බීර නිෂ්පාදනය කර තිබෙන්ණේත් පැසීමේ ක්‍රියාවලියකට භාජනය කර බැව් සනාතව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි