×

වයස 20 කින් තිරිහන් වීමේ අයිතිය පතා සංක්‍රාන්ති ලිංගිකයෙක් පෙරට

නෙදර්ලන්තයේ 69 හැවිරිදි සංක්‍රාන්ති ලිංගිකයෙක්, තමන්ගේ වයස අවුරුදු 49 දක්වා අඩු කර ගැනීමට තමන්ට අයිතියක් ඇති බව කියමින් නඩු මගට බැසීමට සැරසෙයි.


එමිල් රැට්ල්බෑන්ඩ් (Emile Ratelband) නමැති මේ ඕලන්ද ජාතිකයාට අවශ්‍ය වී තිබෙන්නේ 1949 මාර්තු 11 වන සිය නියම උපන් දිනය, 1969 මාර්තු 11 යනුවෙන් වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

එයට හේතුව කුමක්ද?

මේ ඕලන්ද ජාතිකයා ධනාත්මක චින්තනය පිළිබඳ පුහුණුකරුවෙකි. එසේම මාධ්‍යකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද වේ. මේ වසර මුලදී එමිල් බුද්ධාගම වැළඳගත් බව ද විදෙස් වාර්තා සඳහන් කරයි. පික්සාර් සමාගම විසින් නිෂ්පාදනය කළ සුපිරි ඇනිමේෂන් චිත්‍රපටයක් වන Cars 2 සඳහා ද එමිල් සිය හඬ දායකත්වය ලබාදී තිබේ. පුද්ගල නිදහස, ඉතා පුළුල් මානයකට ගෙන යමින් එමිල් මෙසේ අසයි.

‘‘අප ජීවත් වන්නේ ඔබට ඔබේ නම සහ ඔබේ ලිංගිකත්වය වෙනස් කළ හැකි යුගයකයි. එහෙමනම් මට මගේ වයස වෙනස් කර ගන්නට අයිතියක් නැතිද?“

තමන්ගේ වයස අවුරුදු 69 ක් යැයි ඩේටින් ඇප්ස්වල සඳහන් කළ විට, තමන්ට සබඳතා පැවැත්වීම සඳහා අවශ්‍ය සහකරුවන් නොලැබී යන බවත්, එයින් තමන්ට පුද්ගල සබඳතා ඇති කර ගැනීමට තිබෙන අවස්ථාවන් අහිමි වන බවත් ඔහු සඳහන් කරයි.

එසේම තමන්ට මෙම වයස නිසා රැකියා අවස්ථා අහිමි වන බවටත් ඔහු තර්ක කර සිටියි.

වෛද්‍යවරුන් විසින් තමන්ගේ ශරීර සෞඛ්‍යය වයස 45 ක කෙනෙකුගේ යැයි සහතික කර ඇති බව ද එමිල් කියා සිටියි. බැලූ බැල්මට වයස 69 ක් යැයි කිව නොහැකි මේ තැනැත්තා තමන්ව හඳුන්වා දෙන්නේ තාරුණ්‍යයේ දෙවියෙකු (“young god”) ලෙස ය.

දිනක් කැඩපත ඉදිරියේ සිටගෙන සිටියදී තමන් මේ තීරණය ගත් බවත්, එසේ කරන්නේ වයස්ගත වීමට ඇති බියක් නිසා නොව, හැකිතාක් කල් සතුටින් ජීවත් වීමට ඇති අවශ්‍යතාවය නිසා බවත්
එමිල් තවදුරටත් පවසයි. මේ අනුව තවත් අවුරුදු 20 ක් වැඩිපුර වැඩ කිරීමට ඔහු කටයුතු කරන්නේ, තමන්ට ලැබීමට නියමිත විශ්‍රාම වැටුප ද අහිමි කර ගනිමිනි.

සති 4 ක් ඇතුළත එමිල්ගේ නඩුව ඇසීමට නෙදර්ලන්තයේ ආන්හෙම් අධිකරණය සූදානම් ය.

සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් දියුණු ලෝකය පිළිගන්නා තත්වයට අනුව, කෙනෙකුට තමන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු ලෙස නොව සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස හඳුන්වා ගැනීමට අවශ්‍ය නම් උප්පැන්න සහතිකය වෙනස් කිරීම මගින් එසේ කිරීමට පහසුකම් සලසා දී තිබේ. ලංකාවේ ද මෙය ක්‍රියාත්මක ය. එමිල් යෝජනා කරන්නේ එසේ සිය ලිංගිකත්වය වෙනස් කර ගන්නා විට සිය උපන් දිනයද වෙනස් කර ගැනීමට තමන්ට අයිතියක් තිබෙන බවට ය.

මේ වන විට නෙදර්ලන්ත අධිකරණය, කෙනෙකුගේ වයස මත පදනම්ව ඔහුට රැකියා අවස්ථා අහිමි කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම තහනම් කර තිබේ.

එමිල් රැට්ල්බෑන්ඩ්ගේ තර්කය තුළ විවිධ මානයක් දැකීමට පුළුවන. සැබෑ උපන් දිනය වෙනස් කර ගෙන වයස 20 ක් තරුණ අයෙකු ලෙස පෙනී සිටීම මගින්, එමිල් විසින් සමාජය රැවටීමකට ලක් කරනවා යනුවෙන් ද තර්කයක් ගෙන ඒමට පුළුවන. කෙසේ නමුත් මේ සමගම අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ දියුණු ලෝකය තුළ පුද්ගල නිදහස, සිය උපන් දිනය වෙනස් කර ගැනීමේ ඇති අයිතිය දක්වා අභියෝගයට ලක් කිරීමට තරම් මානසික නිදහසක්, මෙවැනි රටවල මිනිසුන් විසින් ග්‍රහණය කර ගනිමින් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි