×

ගෝලීය විපත් ඇමතීමට ග්‍රේටාගේ ගමන් මඟේ තරුණ ක්‍රියාකාරීන් පෙරට!

මෙම තරුණ ක්‍රියාකාරීන් ලන්ඩනයේ බ්‍රික්ස්ටන් නගරයේ The Advocacy Academy ආයතනයේ පුහුණුව ලැබීමට නියමිතය.


ගෝලීය අර්බුද හා විපත් ඇමතීමට තාරුණ්‍යය පෙළ ගැසීම දැන් සුලභ වෙමින් පවතී. දහසය හැවිරිදි පරිසර ක්‍රියාකාරනියක වූ ග්‍රේටා තන්බර්ග් දියණිය ලබා දුන්නේ ඊට කදිම ආදර්ශයකි.

පසුගිය කාලවකවානුවේ දේශගුණික විපත් පිළිබඳ එක්සත් ජාතීන් ආමන්ත්‍රණය කිරීම තුළින් පුංචි ග්‍රේටා තම සන්ධිස්ථානය ඉතිහාසයේ සනිටුහන් කළාය. ඒ ටයිම් සඟරාවේ ලාබාලතම වසරේ පුද්ගලයා ලෙසින් පිදුම් ලබමිනි.

ගොලීය අර්බුද ආමන්ත්‍රණය කිරීම තුළ තරුණ නියෝජනය පැවති එකම අවස්ථාවද මෙය නොවේ.

සත්මසකට ආසන්න කාලයක් මුළුල්ලේ හොංකොං නගරයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කැපී පෙනෙන තරුණ නියෝජනයක් වූයේ ජොෂුවා වොං ය.

මෙමඟින් හැඟවෙන්නේ කුමක්ද? වැඩිහිටියන් හට ළඟාවීමට නොහැකි දෙය තාරුණ්‍යය විසින් ළඟා කර ගන්නේය යන්නද?

BBC පුවත් සේවයේ වැඩසටහනකට සහභාගී වූ තවමත් පාසල් වියේ පසුවන ක්‍රියාකාරීන් පිරිසක් මේ පිළිබඳ සිය අදහස් දක්වා සිටියහ.

මෙම තරුණ ක්‍රියාකාරීන් නුදුරේදී ලන්ඩනයේ බ්‍රික්ස්ටන් හි අධිවාචන අධ්‍යාපන ආයතනයේ (The Advocacy Academy of London) පුහුණුව ලැබීමට නියමිතය.

මෙම වැඩසටහනට සහභාගී වූ 17 හැවිරිදි ඇන්ටානියා පවසා සිටියේ “තාරුණ්‍යයේ ආවේගය” අවතක්සේරුවට ලක් කිරීමට වැඩිහිටියන් කටයුතු කරන බවත්, මතුවන ගැටළුවක් ඉදිරියේ ප්‍රශ්න කිරීමෙන් මිදී යාමට වැඩිහිටියන් පුරුදුව ඇති බවත් ය.

තරුණ තරුණියන් සැම විටම ඕනෑම දෙයක් පිළිබඳ ප්‍රශ්න කරන බවත්, හේතූන් සෙවීමට උනන්දු බවත්, වැඩිහිටියන් ඇති දෙය ඇති සැටියෙන් පිළි ගැනීමට පුරුදුව ඇති බවත් ඈ පෙන්වා දෙයි.

වැඩසටහන තුළ අදහස් දැක්වූ 17 හැවිරිදි ගැබ්ස් අවධාරණය කරේ ප්‍රශ්න වලින් මිදී යාම පුද්ගලයින් ගේ පෞද්ගලික ජීවිත වලට පවා බලපා ඇති බවයි.

තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය පවා සඟවා ගෙන බියේ ජීවත් වීමට ඇතැම් රට වල සිදුව ඇති බව ඈ පෙන්වා දෙයි.

“සමාජය මනුෂ්‍යත්වය අමතක කිරීමට පුරුදුව තිබෙනවා. පනවා ගත් සීමා තුළ සරණාගතයින්, පිටස්තරයින් බිහිව තිබෙනවා. සමානාත්මතාවයේ විෂමතාවක් පැවතීමට එරෙහිව කටයුතු කිරීමට වැඩිහිටියන් මැලිව තිබෙනවා.” ඒ 19 හැවිරිදි ජිනෝ ය.

ලොවක් වෙනස් කිරීමට තාරුණ්‍යය පෙළ ගැසීම ඉතා වැදගත් බව මෙම තරුණ ක්‍රියාකාරීන් ගේ විශ්වාසයයි.

වැඩිහිටි පරපුර දැකීමට මැලි වන, හෝ පටු දේශපාලන අරමුණු මත සැඟවීමට වෙර දරන ගෝලීය අර්බුද වලට එරෙහිව නැඟී සිටීමට කාලය දැන් එළඹ ඇති බවට ඔවුහු අවධාරණය කර සිටියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි