×

සිම්බාබ්වේ ත්‍රිත්ව මැතිවරණය අද – රොබට් මුගාබේ විපක්ෂය සමග ඩීල් එකක!

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ ත්‍රිත්වයම සඳහා අපේක්ෂකයන් තෝරාපත් කරගන්නේ අදයි.


සිම්බාබ්වේ  මැතිවරණය අද දිනයේ පැවැත්වීමට නියමිත අතර හිටපු ජනපති රොබට් මුගාබේ, ඔහුගේම පක්ෂයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කරයි.

හිටපු ජනාධිපති, ඒකාධිපති පාලක රොබට් මුගාබේ පසුගිය නොවැම්බරයේ බලයෙන් ඉවත් කළ පසු ප්‍රසිද්ධියේ දැකගත හැකි වූයේ කලාතුරකිනි. නමුත් ඊයේ (29) දිනයේ ඔහු හරාරේ අගනුවර the Blue Roof නමැති සුඛෝපභෝගී මන්දිරයේ සිට මාධ්‍ය හමුවක් පැවැත්වීය. පැය 2කට අධික කාලයක් කඩින් කඩ කළ ඒ කතාවේ තැවරී තිබුණේ වෛරය සහ බලකාමයයි. සිම්බාබ්වේ රජ පුටුව තමන්ට අහිමි කළවුන්ට සමාව නොදෙන බව ඔහු නොකියා කීවේය.

එසේම තමන්ගේ ඡන්දය, Zanu-PF පක්ෂයේ අනුප්‍රාප්තිකයා වූ එමර්සන් නාන්ගාවා (Emmerson Mnangagwa) හට සහ එම පක්ෂයට ලබා නොදෙන බව ද ඔහු කීවේය. ‘මා පිහිටවූ පක්ෂයෙන් මා බලෙන් එළවා දැමූ‘ පුද්ගලයාට සහයෝගය නොදෙන බව ඔහු එහිදී තරයේ කියා සිටියේය. කෙසේ නමුත් ජනපති මාන්ගාවා අතීතයේ ඔහුගේ සමීපතම හිතවතෙකි.

එසේම මෙවර කිසිදු අපේක්ෂකයෙකු හට සහයෝගය නොදෙන බවත් ඔහු පැවසුවේය.

නමුත් රොබට් මුගාබේ විපක්ෂ නායකයා බවට පත්වීමට බලාපොරොත්තු වෙයි.

[embedyt] https://www.youtube.com/watch?v=cipP8WELnuE[/embedyt]

වසර 37ක අති දූෂිත, ඒකාධිපති පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ හි රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් කෙරුණේ පසුගිය වසරේ ය.

ඔහු ව ඉවත් කිරීම සඳහා හමුදා පාලනයට මෙන්ම සිවිල් ජනතාවට ද මැදිහත් වීමට සිදු විය.

මුලින් මුගාබේ හට අවශ්‍ය වුණේ ජනාධිපති පදවිය සිය භාර්යාව වන ග්‍රේස් හට පවරන්නට ය. එය නොහැකි වූ තැන මුගාබේ කියා තිබුණේ ගෙදර යාමට නම් ඩොලර් මිලියන ගණනක වන්දියක් සහ විශ්‍රාම වැටුපක් අවශ්‍ය බව ය.

එම කොන්දේසි වලට එකඟ වී පසුගිය නොවැම්බර් මාසයේ මුගාබේ ව ගෙදර යැවූ පසුව ද ඔහු තුළ බලයට ඇති කෑදර කම අඩු වී නොමැති බව පෙනේ.

හරාරේ හි සුවපහසු මන්දිරයක ඔහු ජීවත් වෙයි. තමන් හමුදා කුමන්ත්‍රණයක ගොදුරක් වූ බව ඔහු තවම පවසයි.

එසේම දැන් ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ රට කරවන කිසිදු අයෙකුට සහයෝගයක් ලබා නොදී විපක්ෂ නායකයා වශයෙන් ආණ්ඩුකරණය අවුල් කරන්නට ය.

මුගාබේගේ ඩීල් එක

ඒ සඳහා ඔහු විසින්, මානගාවාගේ ප්‍රධාන තරගකරුවා වන ඩිමොක්‍රටික වෙනසක් සඳහා ව්‍යාපාරය හෙවත් MDC පක්ෂයේ නායක නෙල්සන් කාසිමා ගේ සහාය දිනාගෙන තිබේ. කාසිමා දැනටමත් සිම්බාබ්වේ හි ප්‍රධාන විපක්ෂ ව්‍යාපාරයේ නායකයා වශයෙන් සැලකෙයි.

‘‘මුගාබේ සමග කාසිමාගේ ‘ඩීල් එකක්‘ තිබෙන බව අපි දන්නවා. සිම්බාබ්වේ ප්‍රතිසංස්කරණ වෙත ගෙන ගොස් රට ගොඩ නගන්නට කාසිමාට අවශ්‍යයි කියා අපි සිතන්නේ නැහැ‘ යැයි සානු පීඑෆ් පක්ෂයේ නායක මාන්ගාවා පවසයි.

මුගාබේ ගේ වයස දැන් අවුරුදු 94 කි! නමුත් බලකාමය අතින් ඔහු තවම තරුණ ය.

ඡන්ද දායකයන්ගෙන් බහුතරය වයස 35ට අඩු අය

අද දිනයේ පැවැත්වෙන ත්‍රිත්ව මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 5කට අධික සිම්බාබ්වේ ජනතාවක් සූදානමින් සිටිති.

මෙවර මැතිවරණය සඳහා ප්‍රථම වතාවට ඡන්දය ප්‍රකාශ කරන තරුණ තරුණියන් විශේෂ උනන්දුවක් දක්වමින් සිටිති. ‘නව සිම්බාබ්වේ රාජ්‍යයක උපත‘ යනුවෙන් ඔවුහු අද දිනය සලකති. එනම් සිම්බාබ්වේ හි ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 50%ක් පමණම වයස අවුරුදු 35ට අඩු අය ය.

විදෙස් මාධ්‍ය වලට අනුව රොබට් මුගාබේ ගේ ජනප්‍රියත්වය මේ වනවිට තරුණ පරපුර අතර පවතින්නේ බෙහෙවින් අඩු මට්ටමක ය. ඔහුට රටේ වත්මන් ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නැති බවත්, දශක 4කට පෙර සිම්බාබ්වේ රාජ්‍යය අධිරාජ්‍යවාදී පාලනයෙන් මුදවා ගත්තද රට සූරාකෑම හැර වෙන දෙයක් නොකළ බවටත් සිම්බාබ්වේ ජනතාව අතර ප්‍රබල මතයක් තිබේ. මේ අනුව රොබට් මුගාබේ කෙරෙහි පවතින අප්‍රසාදය සානු පීඑෆ් පක්ෂයට අහිතකර ලෙස බලපෑ හැක්කේ එය මුගාබේ ගේ පක්ෂය වන නිසා ය. නමුත් මුගාබේ අදහස් කරන්නේ පක්ෂය සමග නොව විපක්ෂය සමග එක්වන්නට ය!

අද දිනයේ පැවැත්වෙන මැතිවරණ තුන අතරින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 23 දෙනෙක් ඉදිරිපත් වී සිටිති.

යුරෝපා සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ නිරීක්ෂකයන් හට වසර 16කට පසු සිම්බාබ්වේ රාජ්‍යය වෙත පැමිණීමට මෙවර හැකියාව ලැබී තිබේ.

90%කට වඩා වැඩි විරැකියා ප්‍රතිශතයකින් පීඩා විඳින සිම්බාබ්වේ රාජ්‍යය සිය නායකත්වය තෝරාගන්නේ කෙසේදැයි මේ වන විට මුළු ලෝකයම බලා සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි