×

අම්මෙ මම දන්නවා…

අපේ හදවත හැම විටම අපේ මොළයට වඩා දක්ෂ බව මම ඇය ට කීවෙමි. පුතු සම්බන්ධයන් කළ යුතු හොඳ ම දේ ගැන හදවතෙන් අසන්නැයි මම ඇය ට කීවෙමි.


කාර්යලයේ දුරකථනය නාද වන විට මා සිටියේ එදින සන්ධ්‍යාවේ පැවැත්වීම ට නියමිත දේශනය පිළිබඳ සිතමිනි. දුරකථනයේ රැඳී සිටියේ කාන්තාවකි. කිසිදා මා හමුවී නොතිබුණු එම කාන්තාව මගෙන් උපදෙසක් පතා සිටියාය. ඇය ට සත් හැවිරිදි පුතෙකු සිටියි. රෝගී ඈ මිය යමින් සිටින්නීය. මේ ප්‍රවෘත්තිය සිය පුතුට කියන්නේ කෙසේදැයි මගෙන් උපදෙස් පතන්නීය. ඒ පිළිබඳ ඇය තමන් ට ප්‍රතිකාර කරන චිකිත්සකයා සමග ද සාකච්ඡාකර තිබිණි. ඔහුගේ අදහස වනුයේ තව නොබෝ දිනකින් ඇය මිය යන බව ඇඟවීම ඔහු ට දරාගත නොහැකි කම්පනයක් විය හැකි බව ය.

මා දොම්නස් සහගත සහ දුකෙන් පීඩිත දරුවන් සමග කටයුතු කරන්නෙක් බව දැන සිටියෙන් ඇය ට උවමනා වූයේ ඇය ට ප්‍රායෝගික උපදෙසකි. අපේ හදවත හැම විටම අපේ මොළයට වඩා දක්ෂ බව මම ඇය ට කීවෙමි. පුතු සම්බන්ධයන් කළ යුතු හොඳ ම දේ ගැන හදවතෙන් අසන්නැයි මම ඇය ට කීවෙමි. එදින සන්ධ්‍යාවේ මා විසින් පැවැත්වීම ට නියමිත “මරණය සමග දරුවන් ගනුදෙනු කරන්නේ කෙසේද?” යන දේශනය ට සහභාගි වන ලෙස ද මම ඇය ට ඇරයුම් කළෙමි. ඇය එම ඇරයුම ඉත සිතින් පිළිගත්තාය.

දේශනාගාරයේදී ඇය ව හඳුනාගන්නේ කෙසේද යන ප්‍රශ්නය මට මතු විය. නමුත් මට ඇය ව හඳුනාගත හැකි විය. වැඩිමහලු පුරුෂයන් දෙදෙනෙකු ගේ අත් වාරුවෙන් බෙලහීන කාන්තාවක් දේශනාගාරය ට පැමිණියාය. ඒ ඇයයි.

සත්‍යය මුවින් පැවසීමට බොහෝ කාලයකට පෙර දරුවන් ට එය ඉවෙන් මෙන් දැනෙන බව මම කරුණක් වශයෙන් පැහැදිලි කර දුනිමි. එය නිතරම සිදුවන දෙයකි. නමුත් වැඩිහිටියන් තමන් ව දැනුවත් කරන තෙක් හෝ තමා සමග කතා කරන තෙක් ඔවුහු බලා සිටිති. දරුවන් ට වැඩිහිටියන් ට වඩා හොඳින් සත්‍යයට මුහුණ දිය හැකි බව ද මම ඔවුන් ට කීවෙමි. වැඩිහිටියන් ඔවුන් ට සත්‍යය වසන් කරන්නේ ඔවුන් හට වේදනාව අත්කර නොදීමේ චේතනාවෙන් වුවද දරුවෝ සත්‍යය දැන ගැනීම සඳහා ඉවසීමෙන් බලා සිටිති. පවුලේ දුක තමන් සමග ද බෙදාහදා ගැනීම තමන් ට ගරු කිරීමක් ලෙස දරුවන් සලකන බව ද මම ඔවුන් ට කියා දුනිමි.

විවේකයේදී ඇය කොර ගසමින් මා කරා පැමිණියාය. කඳුලු වගුරවමින් මෙසේ කීවාය. “මම මගේ හදවතින් ඇහුවා. පුතා ට මේක කියන්න ඕනෙ කොහොමද කියල මම දැන් දන්නවා.”

එදින රාත්‍රියේ පුතු හා කතා කරන බව ඇය මට කීවාය.

පසුදින උදෑසන මට ඇයගෙන් තවත් දුරකථන ඇමතුමක් ලැබිණි. ඇගේ ගොත ගැසෙන වාග් මාලාව මැදින් මම ඇය ට පැවසීමට අවශ්‍ය දෙය අසීරුවෙන් වටහා ගතිමි. ඇය එදින සවස නිවස ට යන විට පුතු ට නින්ද ගොස් තිබිණි. එවිට සිය පුතු ව කීද්දූ ඇය මෙසේ කීවාය.

“ඩෙරෙක් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.”

එවිට ඔහු එසැණින් ඇගේ කතාවට බාධා කර තිබේ. “අම්මේ… ඔයා මට කියන්න හදන්නෙ ඔයා මැරෙන්න ළඟයි කියල නේද…?”
ඇය ඔහු ව තුරුල් කර ගත්තාය. දෙදෙනාම තුරුලු වී බොහෝ වේලා යන තෙක් හැඬූහ. කඳුලු අතරින් ඇය “ඔව්” යැයි කීවාය.
මිනිත්තු කිහිපයකට පසු කුඩා දරුවා මෙසේ කීවේය. “අම්මේ… මම ඔයා ට දෙන්න දෙයක් තියාගෙන ඉන්නවා… මම ඒක පෙන්නන්නද?” ඇය හිස සැළුවාය.

ඇඳෙන් බැස ගිය කුඩා දරුවා මේස ලාච්චුවක් විවෘත කර කිළිටි පැන්සල් පෙට්ටියක් රැගෙන ආවේය. එම පැන්සල් පෙට්ටිය තුළ තිබුණේ කුරුටු අකුරින් ලියූ ලිපියකි. සැබවින්ම එය ලිපියක් නොවේ. සරල වාක්‍ය තුනකි. “මම ඔයාට හුඟක් ආදරෙයි අම්මේ… මම ඔයාට හැමදාම ආදරෙයි…ගුඞ් බායි…”

මවගේ මුවින් සත්‍යය පිටවනු ඇසීමට ඔහු කෙතරම් කල් බලා සිටියේද…? මම එය නොදනිමි. එයට දින දෙකකට පසු එම මව මිය යන බව නම් මම දනිමි. ඇගේ දෙණ සහ කිළිටි පැන්සල් පෙට්ටියක් සමග පුතු ලියූ ලිපියක් විය.

– ඩොරිස් සැන්ෆෝඩ්ගේ අත්දැකීමකි.
– ඩොරිස් සැන්ෆෝඞ් මනෝ විද්‍යා උපදේශනය පිළිබඳ පීඑච්ඩී උපාධියක් හිමි වෘත්තීය හෙදියකි. තිස් වසරක් මුළුල්ලේ ඇය ඇමරිකානු කොලීිජිවල ජීවිතය හා මරණය පිළිබඳ විශේෂ පාඨමාලාවක් උගන්වන්නීය. එසේම දරුවන් සඳහා පොත් විසි නවයකට අධික ප්‍රමාණයක් ඈ විසින් ලියා ඇත. අපහරණය ට හා විවිධ අසාධාරණයන් ට ලක්වූ දරුවන් වෙනුවෙන් ඇය ලොව පුරා දේශනවල යෙදෙන්නීය.

Photo Credit: Writer’s Digest



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි