×

‘‘හේතුව චීනය!‘‘ – ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පවත්වන සියලු සම්බන්ධතා වලින් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.


ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඉවත්වන්නේදැයි අවසාන තීරණයක් ලබාදීමට ගෙන තිබූ කාලයට සති 3කට කලින් මේ තීරණය දැනුම් දෙනු ලැබුවේ ඊයේ රාත්‍රියේ ය.

ධවල මන්දිරයේ රෝස් ගාඩ්න් හිදී මේ පිළිබඳ සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ හේතුව, චීනය බවයි.

හොංකොං වෙත චීනය සිදුකරන අතපෙවීම්වලට විරෝධය පළ කළ ට්‍රම්ප් මෙසේ ද කීවේය.

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලු පාලනය තිබෙන්නේ චීනය වෙතයි… සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ගැන අපි ඔවුන්ට කිව්වා. නමුත් ඔවුන් ඒ අනුව ක්‍රියාකිරීම ප්‍රතික්ෂේප කළා. මේ නිසා අද පටන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පවත්වන සියලු සම්බන්ධතා අවසාන කරනවා..‘‘

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම අරමුදල් සපයන්නා වූයේ ඇමරිකාවයි. සාමාජිකත්වය සහ විශේෂ වැඩසටහන් සඳහා ලබාදෙන ස්වෙච්ඡා දායකත්වය වෙනුවෙන් ඇමරිකාව වසරකට ඩොලර් මිලියන 450 ක් ඒ වෙත ලබාදෙමින් සිටියේය.

මැයි 19 වැනිදා ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ආද්නම් (Tedros Adhanom Ghebreyesus) වෙත පිටු 4 ක ලිපියක් යවමින් කියා තිබුණේ, ‘‘ඉදිරි දින 30 තුළ විශාල වෙනස්කමක් සිදු නොකරන්නේ නම් ඇමරිකානු සාමාජිකත්වය ඉල්ලා අස් කරගන්නා බව‘ යි. මෙමගින් ට්‍රම්ප් අදහස් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ පවතින චීන අධිකාරිය ඉවත් කිරීමයි.

මේ අනුව ට්‍රම්ප් විසින් ඔවුන්ට දින 30 ක කාලයක් ලබාදී නැති අතර, දින 10ට පසු ඉවත්වීමට තීරණය කර තිබේ.

මේ අතර, මැයි මස මුලදී ලෝක සෞඛ්‍ය සම්මේලනයේ (World Health Assembly (WHA)) සාමාජිකයන් ගෝලීය කොවිඩ් වසංගත තත්වය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ප්‍රතිචාරය සමාලෝචනය කිරීමට එකඟ වී තිබිණි.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාගතය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් මතු වී තිබෙන අතර, ට්‍රම්ප්, දේශපාලන සූදුවක නිරත වෙමින් හුදෙක්ම චීනය දණ ගැස්වීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වී ලෝකයට ‘පාඩමක් ඉගැන්වීමේ‘ යෙදී සිටින බවටද විචාරකයෝ මත පළ කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි