×

ඉදිරි දිනවල ඇමරිකාවේ ජනපද 50 තුළම අන්තවාදී ප්‍රචණ්ඩක්‍රියා ඇති වීමේ අවදානමක් – FBI අනතුරු අඟවයි

FBI හෙවත් ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය අනතුරු අඟවා තිබෙන්නේ ට්‍රම්ප් ගේ උන්මත්තක විරෝධතාකරුවන් විසින් දෙසැම්බර් 16 වැනිදා සිට බයිඩන්ගේ පදවිප්‍රාප්ති දිනය දක්වා නොකඩවාම මුළු රට තුළම, එනම් ජනපද 50 තුළම ප්‍රචණ්ඩකාරී නැගී සිටීම් ඇති විය හැකි බවයි. මේවා දැනටමත් සංවිධානය කෙරෙමින් පවතින බව ද දැක්වේ.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් සමුගෙන යාමට සැරසෙන්නේ නීතියක් නැති රටක් සහ නායකයෙක් නැති රටක් බවට ඇමරිකාව පත් කරමිනි. ප්‍රචණ්ඩත්වයේ, ගිලන් බවේ සහ මරණයේ සෙවණැලි තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා රාජ්‍යය ගිල්වා තබමිනි.

කොංග්‍රසයට එල්ල වූ ට්‍රම්ප්වාදීන්ගේ මැරප්‍රහාරයෙන් පසුව ට්‍රම්ප් දැන් දෙවන වතාවටත් (2019 වසරෙන් පසුව) දෝෂාභියෝගයට මුහුණ දී සිටින අතර, මෙවර ඔහුව බේරාගන්නට ඔහුගේම පක්ෂයේ එනම් රිපබ්ලිකන් පක්ෂයේ සභිකයන් පවා ඉදිරිපත් නොවන බව පැහැදිලි ය.

මේ තත්වය තුළ ට්‍රම්ප් හිතවාදීන්ගේ මීලඟ සැලසුම බවට පත් ව තිබෙන්නේ ඇමරිකාව ප්‍රචණ්ඩත්වයෙන් අස්ථාවර කිරීමයි.

පුරා සිව් වසරක් ට්‍රම්ප් විසින් තමන්ගේ ‘ගෙදර‘ ලෙස හැඳින්වූ වොෂින්ටන් නගරය ආයුධ සන්නද්ධ කල්ලි විසින් ග්‍රහණයට ගැනීමට තැත් කිරීම, කැපිටල් හිල් හි එම ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමෙන් අවසන් නොවේ.

Sky News | කැපිටල් හිල් වෙත ප්‍රචණ්ඩකාරීන් කඩා වැදුණු අන්දම

කැපිටල් හිල් ප්‍රහාරයේ මීළඟ අදියර සූදානම්

FBI විසින් සොයාගෙන ඇති තොරතුරු අනුව ඔවුන් මේ වන විට එක හෙළාම පවසන්නේ රටේ ජනපද 50 තුළම ඉදිරි දිනවලදී ප්‍රචණ්ඩකාරී ප්‍රහාර සංවිධානය කර තිබෙන බවයි. ඒ අනුව ජනවාරි 16-20 අතර කාලයේදී ඇමරිකාව යුධ පිටියක් බවට පත්වීමට නියමිත ය. එයින් නොනැවතී, බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය මූලික කරගෙන, පුරා දින 3 ක් වොෂින්ටනයේ අලුත් ප්‍රචණ්ඩකාරී විරෝධතා රැල්ලක් සංවිධානය සහ සැලසුම් කර තිබෙන බව ද FBI ආයතනය පවසයි.

බයිඩන්, හැරිස් සහ නැන්සි පෙලොසි හට තර්ජන !

ඩිමොක්‍රටික්වරුන් මේ වන විට සැලසුම් කරන පරිදි 25 වන සංශෝධනය ප්‍රකාරව ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කළහොත් ප්‍රචණ්ඩකාරිත්වය වෙත නැවත යාමට ද අන්තවාදීහු සැලසුම් කරමින් සිටිති. බයිඩන්, උප ජනපති ලෙස තේරී සිටින කමලා හැරිස් සහ කොංග්‍රස් කථානායිකා නැන්සි පෙලොසි හට ද තර්ජන තිබෙන බව FBI අනාවරණය කරයි.

පොලිසිය සහ හමුදාවේත් ඇතැම් සාමාජිකයන් අන්තවාදීන් සමග එක් වෙලා !

CNN පුවත් සේවයට අනුව මේ වන විට තත්වය තවත් බැරෑරුම් කරමින් පොලිසියේ සහ හමුදාවේ ඇතැම් සාමාජිකයන් ද රැඩිකල්කරණය වී, ට්‍රම්ප්ට ධුරය අහිමි වීමේ ගැටළුව තුළින් අන්තගාමී ප්‍රචණ්ඩත්වයන්ට උල්පන්දම් දීමේ පසුබිමක් හටගෙන තිබේ.

වොෂින්ටනයේදී පසුගියදා කැපිටල් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබුවේ ඔවුන් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂකයන් හට සහයෝගය දුන් බව හෙළිවීමත් සමග ය.

ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවයේ හිටපු උප ප්‍රධානී ඇන්ඩෘ මැකබී පැවසුවේ බියුරෝවේ (රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ) දත්තවලට අනුව ඉදිරියේදී ඇතිවීමට නියමිත ප්‍රචණ්ඩත්වයේ ප්‍රබලතාවයෙන් තමන් කම්පනයට පත් වූ බවයි.

දින 8 කින් ජෝ බයිඩන් හට උරුම වෙන්නට යන්නේ පෙර නොවූ විරූ ගැටළු රාශියකින් ඔඩු දිවූ ඇමරිකාවකි. අහම්බයකට මෙන් බයිඩන් මුල පටන්ම යොදාගත්තේ ‘ඇමරිකාව එක්සත් කිරීම‘ (“America United”) නමැති සටන් පාඨයයි. අවසානයේදී බයිඩන් අතට හරියටම ලැබෙන්නේ ද යුනයිටඩ් ස්ටේට්ස් වෙනුවට ඩිවයිඩඩ් ස්ටේට්ස් හෙවත් බෙදී සිටින ඇමරිකාවක් වීම, දෛවයේ සරදමක් විය නොහැකිද?

මූලාශ්‍රය – CNN: Trump’s disastrous end to his shocking presidency



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි