ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සුපිරි අවන්හලකි. පිරිසුදු ඇඳුමින් සැරසුණ සේවකයෙක් රන්හුයෙන් වැඩ දැමූ පීරිසි කෝප්පයකට උණු වතුර ගෙන ආවේය. කෝපි ලුවාක් නමැති ලේබලය සහිත සීල් කළ පැකට්ටුවක් ඔහු ඊළඟට ගෙන ආවේ භක්තියකින් මෙනි. පැකට්ටුවේ ඇති දෙය කෝප්පයට හැලූ ඔහු ප්‍රවේසමෙන් එය කලතා පිළිගැන්වූයේය. විනාඩි දෙකකට පසු අමුත්තාට මේ කෝපි කෝප්පය රස බැලිය හැකිය. ලොව මිලෙන් අධිකම මෙම කෝපි කෝප්පයක මිල ඩොලර් පනහකි. ලංකා මුදලින් නම් රුපියල් පන්දහසකි.
“මදෑ…..තනි කෝපි කෝප්පයකට මෙච්චර ගෙවන්න ඕනෙද ?” අමුත්තා කෝපි කෝප්පය රස බලන්නේ නොසතුටකිනි. එහෙත් එය ඉතා මෘදු රසැතිය. චොක්ලට් සහ කැරමල් රසයන්ගේ එකතුවකි. රස බැලූ පසු ඇඹුල් රසයක් මුවෙහි ඉතිරි නොවේ.
මේ සියලු ගුණාංග එයට ලැබී ඇත්තේ ඒවා උරුලෑ කෝපි වන නිසාය.
ඉන්දුනීසියානු උරුලෑවා තල් ගස් අතර වෙසෙන ලොම් සහිත කුඩා සතෙකි. එම සතාගේ මුහුණ බළලෙකු සහ කැලෑ දිවියෙකුගේ මුහුණක් වැනිය. ඌ කෝපි ගස්වලට නැග හොඳින් ඉදුණු මියුරු ඵල සොයයි. ඒවා මහත් කෑදරකමින් යුතුව ගිල දමයි. උන්ගේ මළ පහ සමඟ අඩක් ජීර්ණය වූ කෝපි ඇට ගස් යට වැටේ. ඉන්දුනීසියානුවන් ලොව මිලෙන් අධිකම කෝපි කෝප්පය පිළියෙළ කරන්නේ එසේ ලුවාක් සතුන් මළපහ කළ කෝපි ඇට අහුලාගෙනය.
“අපි ඒවා හොඳීන් සෝදනවා. ඉන් පසු වියළනවා. ඒ නිසා අප්පිරියා නැහැ. “ මේ ලුවාක් කෝපි නිසා කෝටිපතියන් බවටද පත් වී සිටින ඉන්දුනීසියානුවන්ගේ කතාවයි. සැබවින්ම උරුලෑ කෝපිවලට එම ආවේණික රස සහ සුවඳ ලැබෙණුයේ ද ලුවාක් උරුලෑවාගේ අන්ත්‍රය තුළදී එය අර්ධ වශයෙන් ජීර්ණයට ලක්වීම නිසාය.
ලුවාක් උරුලෑවා කෝපි පලය ගිල දමන්නේ එහි තිබෙන මාංසලමය පොත්තට කෑදරකමිනි. ආමාශයේ දී ප්‍රෝටියෝලිටික එන්සයිම කෝපි ඇට ආක්‍රමණය කරන්නේ පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට ඒවා හරවමිනි. අන්ත්‍රය තුළදී කෝපි ඇටය තවදුරටත් ජීර්ණය වුවත් එහි හැඩය නොවෙනස්ව පවතී.
ගම්මුන් මේවා අහුලාගෙන සෝදා, ඉර අව්වේ වේලා කබලේ දමා බැද කුඩු කරන අවස්ථාව වන විටත් ආවේණික රස සහ සුවඳ එයට ලැබී ඇත.
ඉන්දුනීසියානු කොදෙව්වට අයත් දූපත් අතරින් සුමාත්‍රා, ජාවා, බාලි සහ සුලාවෙසි දූපත්වල ද පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවල ද නැගෙනහිර ටිමෝරයේ ද උරුලෑ කෝපි දැක ගත හැකිය. පිලිපීනයේ දී එයට “කෝඩිරෙල්ලා” කියාද නැගෙනහිර ටිමෝරයේ දී “ලාකු” කියාද කියයි. එහෙත් ලොවේ අන් සෑම කෝපි වර්ගයක් සඳහා මෙන්ම උරුලෑ කෝපිවල ද වැඩි ගරුත්වය හිමි වන්නේ ඉන්දුනීසියාවටය.
එය 18 වැනි ශත වර්ෂයේ මුල් භාගයයි. ඕලන්ද ජාතිකයෝ ජාවා සහ සුමාත්‍රා දූපත්වල කෝපි වගාව ඇරඹූහ. යේමනයෙන් හඳුන්වා දුන් අරාබි කෝපි ද ඒ අතර විය.
ඔවුන් කෝපි වතුවල සේවය කළ කිසිදු කම්කරුවෙකුට කෝපි ඇටයකවත් රස බැලීමට ඉඩ තැබුවේ නැත. එය වෙඩි පහර කෑමට තරම් දරුණු අපරාධයක් බවට තරයේ අවවාද කෙරිණි.
තමන්ට තහනම් කෝපි, උරුලෑවන් රිසි සේ රස විඳින ආකාරයත්, ඒවායේ ඇට මළ පහ සමඟ ගස් යට හෙළා ඇති ආකාරයත් ඔවුන් නිරීක්ෂණය කළේ අසරණකම මුසු වූ සෝපහාසයකින් යුතුවය. පසුව ඔවුන් අතර නිර්භීත අය ඒවා සඟවාගෙන සිය නිවෙස්වලට ගොස් ලොව රසවත්ම කෝපි කෝප්පයේ රස රහසේ බැලූහ.
කෙසේ නමුත් මේ වන විට උරුලෑ කෝපිවල අනුකාරකද ලෝකයේ බිහි වෙමින් තිබේ. උරුලෑ කෝපිවල අධික මිල මෙන්ම එය ක්‍රමයෙන් දුර්ලභ වෙමින් යාමද එයට හේතුවකි.
සැබවින්ම දුර්ලභ වෙමින් යන්නේ කෝපි නොව උරුලෑ සතුන්ය. දඩයම් කිරීම එයට හේතුවයි. මේ අභියෝගය නිසාම ඉන්දුනීසියාවේ ගුවොල්ප් සරසවිය වැනි අධ්‍යයන ආයතන දින එකහමාරක් තුළ උරුලෑවාගේ ආමාශය තුළදී කෝපි ඇටයට සිදුවන රසායනික වෙනස ග්‍රහණය කිරීමට පර්යේෂණ මගින් උත්සාහ කරති. එය මේ දක්වා නම් සාර්ථක වී නැත.