BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කොකේන් ගොවීන්ගේ වීරයා – බොලීවියාවේ ඊවෝ මෝරාලෙස්, පිටුවහල් ජීවිතය නිමා කර ප්‍රීතිඝෝෂා මැද සිය රට බලා එයි

බොලීවියාවේ හිටපු ජනාධිපති ඊවෝ මෝරාලෙස්, සඳුදා දිනයේ සිය රට බලා පැමිණියේ විජයග්‍රාහී ලෙස ය. වීරයෙකු ලෙස ය.

ඔහු වසරක් ආර්ජන්ටිනාවේ පිටුවහලෙකු ලෙස ගත කළේය. ඉන්පසු ආර්ජන්ටිනා-බොලීවියා දේශසීමාවේ පිහිටි ලැකියාකා නගරය හරහා ඔහු දේශසීමාව තරණය කරන විට ඔහු කැටුව ආවේ ආර්ජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ඩස් ය.

‘‘ආපසු එන බව මම හැමවිටම දැන සිටියා. නමුත් මේ තරම් ඉක්මනින් එය සිදුවෙයි කියා හිතුවේ නැහැ. මේක ඓතිහාසික දෙයක්. බොලීවියානු ජනතාවට, මගේ සහෝදරයන්ට ස්තූතියි.. ඉතිහාසයේ සිදුවූ දේවල් නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා‘‘

ලැකියාකා නගරයේදී ඔහු පැවසුවේය.

මොරාලෙස් ට පසුගිය වසරේ රටෙන් පිටුවහල් වීමට බල කළේ එරට ආරක්ෂක හමුදාව විසිනි. සිව්වැනි වරටත් බලයේ සිටීම සඳහා ඔහු ගත් උත්සාහය, ජනාධිපතිවරණයේ සහ ජනමත විචාරණයේ ප්‍රතිඵල සමග අභියෝගයට ලක් වීමත් සමග, රට පුරා ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති විය. ඇමරිකාව පුන පුනා කියා සිටියේ මෙම මැතිවරණය අතිශය දූෂිත එකක් බවයි. අවසානයේ ඔහුට ධුරයෙන් අස් වීමට බල කළේ බොලීවියානු සන්නද්ධ හමුදාව විසිනි.

මොරාලෙස් මුලින් මෙක්සිකෝවට පළා ගියේය. ඉන්පසු අසල්වැසි ආර්ජන්ටිනාවට පැමිණියේය.

ආර්ජන්ටිනාවේදී සිදුවූයේ අපූරු දෙයකි. ඔහු බොලීවියාවේ සමාජවාදී පක්ෂයේ ‘කැම්පේන් මැනේජර්‘ බවට පත් විය.

අසල්වැසි රටේ සිට ඔහු විසින් බොලීවියාවේ දේශපාලනය මෙහෙයවීමේ ප්‍රතිඵලය වූයේ සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා වූ ලුයිස් ආර්කේ , පසුගිය මාසයේ පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබාගැනීමයි.

ලුයිස් ආර්කේ ඉරිදා දිනයේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඊට පසුදිනයේම මොරලෙස් සිය රට බලා ආවේය.

ඔහුව කැටුව ආ ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ඩස් ද ආවේගශීලී ලෙස ලැකියාකා නගරයේ සිට ජනතාව ඇමතුවේය.

‘‘මේ ඉන්නෙ සැබෑ ජනාධිපති.. බොලීවියානු ජනතාවගේ හදවතේ ජනපති.. මේක ලතින් ඇමරිකානු උදාහරණයක්… ලතින් ඇමරිකාවේ කිසියම් තැනක සමාජයීය, ආර්ථික වෙනස්කම් හොඳ විදිහට වෙනස් වෙලා තියෙනවා නම් ඒ තැන බොලීවියාවයි..‘‘

ඇතැමුන් ඒකාධිපතියෙකු ලෙස හැඳින්වුවද, මොරාලෙස් විසින් සත්‍ය වශයෙන්ම බොලීවියාව වෙනස් කළ බව මිලියන ගණන් දෙනා විශ්වාස කරන බව පෙනී යයි. මොරාලෙස්ට පක්ෂපාතිත්වය දක්වන වැඩිම පිරිස සිටින්නේ ග්‍රාමීය ජනතාව සහ ආදිවාසී ජනතාව අතර ය. ඔවුහු පසුගිය මාසයේ පැවති මහමැතිවරණයේදී නව ආණ්ඩුව බලයට පත් කර ගත්තේ මොරාලෙස් වෙනුවෙනි.

මොරාලෙස් බොලීවියාවේ කොකේන් වගා කරන පළාත් හරහා ඉදිරි සතියේ සංචාරයක නියැළෙනු ඇත්තේ 800 ක් වාහන සහිත රථ පෙරහැරකිනි. ඔහු තරුණයෙකු ලෙස දේශපාලනයට පිවිසියේ ද මෙම කොකේන් ගොවීන්ගේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස ය. වසර 38ක් ඔහු එම නායකත්වය හෙබවීය.

ඔහුගේ ආගමනය, බොලීවියාවේ දේශපාලන බල තුලනයට බලපාන ආකාරය දෙස මුළු මහත් ලෝකයම දැන් බලා සිටියි. ඇමරිකාව ඒ අතරින් ප්‍රධාන ය.

ඊවෝ මොරාලෙස් කළේ කුමක්ද?

බොලීවියාවේ MAS යනුවෙන් හඳුන්වන සමාජවාදය වෙත නැඹුරු වූ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා සහ නායකයා ඔහු ය.

2006 ජනවාරි 22 වැනිදා ඔහු මුල් වරට බොලීවියාවේ ජනපති පදවියට පත් විය.

බොලීවියාවේ ජනපති පදවියට පත් වූ පළමු ආදිවාසියා හෙවත් ස්වදේශිකයා ඔහු ය. ඔහු අයිමාරා ගෝත්‍රිකයෙකි.

බලයට පැමිණි වහා ඔහු නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් කළේය. එහිදී ආදිවාසී ජනතාවට වැඩි අයිතිවාසිකම් ලබාදුන්නේය. බොලීවියාව ‘බහුජාතීන් වෙසෙන‘ ‘නිරාගමික‘ රටක් බවට පත් කළේය. එමගින් බහුවාර්ගිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිබිඹුවක් බවට පත් කළේය.

ලතින් ඇමරිකාවේ දීර්ඝම කාලයක් බලය හෙබවූ අයෙක් ලෙස ඔහු බොලීවියාව වසර 14 ක් පාලනය කළේය.

2005 – 54%
2009 – 64%
2014 – 61% ක් වශයෙන් ඔහු සිය ජනප්‍රියත්වය ක්‍රමයෙන් වැඩි කරගෙන සිටියේය.

2009 වසරේදී මොරාලෙස්, බොලීවියාවට දේදුණු කොඩිය හඳුන්වා දුන්නේය. ‘විපාලා‘ නමැති එය, සම්ප්‍රදායික රතු, කහ සහ කොල බැනරයකින් සමන්විත, බොලීවියාවේ ආදිවාසී ජනතාවගේ සංකේතයකි.

 

Supporters of Bolivia’s former President Evo Morales watch his caravan pass near Charajas, Bolivia, Monday, Nov. 9, 2020. Morales, who fled into exile in neighboring Argentina after resigning last November, returned to his homeland on Monday, the day after the presidential inauguration of his former finance minister Luis Arce. (AP Photo/Juan Karita)

2019 ඔක්තෝබර් මාසයේදී ඔහු සිව්වැනි ධුර කාලය ලබාගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ධුරකාලය සීමා කිරීමට තීරණය කිරීමත් සමග ය. එය දූෂිත එකක් බවට ප්‍රකාශ වීමත් සමග දැඩි ජාත්‍යන්තර පීඩනයක් ද එල්ල වූ අතර, සන්නද්ධ හමුදාව ඔහුට ඉල්ලා අස්වීමට බල කළේය.

ඇමරිකාව දිගින් දිගටම මොරාලෙස් හට චෝදනා නැගුවේ, කොකේන් නිෂ්පාදනය දිරිමත් කරන බවට ය. නමුත් කොකා පත්‍ර (කොකේන් කොළ) නිෂ්පාදනය තමන් දිරිමත් කරන්නේ එය ආගමික කටයුතු සහ ඖෂධයක් සඳහා බව මොරාලෙස් දිගින් දිගටම කියා සිටියේය.

ඇන්ඩීස් කඳුකරයේ වැවෙන කොකේන් පත්‍ර – සියවස් ගණනාවක් තිස්සේ බොලීවියාවේ ඖෂධීය පානයක් ලෙස භාවිතා වේ.

ඇමසන් වනයේ බොලීවියාට අයත් කොටස විශාල ගිනිගැනීම්වලට ලක් වීම ද ඔහුගේ ජනප්‍රියත්වය හීන වීමට දැඩි සේ බලපෑවේය. විවේචනවලින් කියැවුණේ වගාබිම් වපසරිය වැඩි කර ගැනීම සඳහා ‘පාලනය කළ ගිනිගැනීම්‘වලට ඇමසන් වනය ලක් කර තිබෙන බවයි.

2000 දශකයේ මුල භාගයේ ලතින් ඇමරිකාවේ දේශපාලන බලය වාමාංශික නායකයන්ට නතු වීම රැල්ලක් සේ පැතිර ගියේය. මෙය හැඳින්වූයේ ‘රෝස රැල්ල‘ ( “pink tide”) යනුවෙනි. මේ ඡායාරූපයේ සිටින්නේ පිළිවෙළින් වම් පස සිට – එවකට වෙනිසියුලාවේ, බොලීවියාවේ, බ්‍රසීලයේ සහ ඉක්වදෝරයේ සිටි නායකයන් ය.

මොරාලෙස්ගේ ඇමරිකානු විරසකය

ලතින් ඇමරිකාව සමග ඇමරිකාව කවදත් ගෙන ගියේ යහපත් සබඳතා නොවේ. 2000 දශකය මුල මේ තත්වය උත්සන්න වන්නේ වාමාංශික නායකයන් සම්ප්‍රදායික ආණ්ඩු පරාජය කරමින් බලයට පත් වීමත් සමග ය. මොරාලෙස්, ඇමරිකාව සමග එළිපිට විරුද්ධත්වය ප්‍රකාශ කළ අයෙකි. ඒ අනුව,

2008 – ඇමරිකානු තානාපති ෆිලිප් ගෝල්ඩ්බර්ග් පිටුවහල් කළේය. ඒ, තමන්ව බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කරන බව කියමිනි.

2013 – USAID ආයතනය බොලීවියාවේ රැඳෙමින් සිය විරුද්ධවාදීන්ට උපකාර කරන බව කියූ මොරාලෙස්, USAID හි බොලීවියානු ක්‍රියාන්විතයන් නතර කර දැමීමට නියම කළේය.

සමාජවාදියෙකු ලෙස

මොරාලෙස්, බලයට පත් වූ වහාම සිය වැටුප සහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ වැටුප් කපා හැරියේය.

බොලීවියාවේ විපුල ලෙස තිබෙන තෙල් සහ ගෑස් කර්මාන්තය, රජයට නැවත පවරාගැනීමට කටයුතු කළේය. එමගින් මහජන මුදල් ආයෝජනය අධික විය. විදේශ සංචිත ද ඉහළ ගියේය. වෙළඳ හිඟය අඩු විය.

මහජන ව්‍යාපෘති සඳහා විශාල මුදල් සම්භාරයක් මොරාලෙස් ආයෝජනය කළේය. දිළිඳුකම පිටුදැකීම සඳහා ද එසේම විය. ඔහු ධුරයට පැමිණීමෙන් පසුව රට තුළ 2006 දී පැවති 38% ක අත්‍යන්ත දුගී බව 2018 දී 17% දක්වා අඩු විය. නමුත් ඔහු ධුරයේ සිටි අවසන් වසර දෙකේදී මෙය නැවතත් වැඩි වූ බවට විවේචන තිබේ.


බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

ටේසරය වෙනුවට පිස්තෝලය ඇද කළු ජාතික තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වුණත් උද්ඝෝෂණ දිගටම

සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්‍රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි

රාමසානයට ලහිලහියේ සූදානම් වන පකිස්තාන සන්නාලියා

සුද්දා අපෙන් කොපි කළා ද, අපි සුද්දා ගෙන් කොපි කළා ද? දේශසීමා බිඳගෙන යන පොලිස් සාපය

මියැන්මාරයේ තවත් සිවිල් වැසියන් 80 ක් හමුදා වෙඩි තැබීමෙන් මරුට

පිලිප් කුමරු : පිටුවහලෙක්, අවුරුදු 99 ක්, රටවල් 143 ක් සහ එක ප්‍රසිද්ධ බිරිඳක්!

ටයිගර් වුඩ්ස් තිරිංගය වෙනුවට ඇක්සලරේටරය පාගලා – 45 වෙනුවට 87ට ගිහින්!

error: Content is protected !!
error: Content is protected !!