BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

තාත්තාගේ ආදරය

නොකඩවා මහ වැසි ඇද හැළෙන හැම විටම ඔහුට සිය තාත්තා සිහිවෙයි. අන්ධකාරය කපාගෙන එදා, දශක දෙකකටත් පෙර, හරියටම කියන්නේ නම් 1979 වසරේ ඒ දිනයේ ද මේ වැසි දියම වළාකුළු සිදුරු කර ගෙන ඇද හැලුණු හැටි සිහිවෙයි.

එදා පිය පුතු දෙදෙනා මිතුරන් සේ සමීප ව සිටියහ. තිරිඟු වතු මැදින් පැය ගණන් ඔහේ ඇවිද යමින් කතා කිරීමට තරම් දේවල් ඔවුන් සතු විය. “පුතාට ලොකු වුණාම කවුරු වෙන්නද ඕනෙ..?” තාත්තා එවිට අසයි.

“මම සින්දු කියනවා..” පුතු එවිට එක හඬින් කියයි. “මට පොරොන්දු වෙන්න..” තාත්තාගෙන් කොන්දේසියකි. එවිට පුතු පියාගේ සුළැඟිල්ල සිය සුළැඟිල්ලේ පටලවා, සිය මහපටැඟිල්ලෙන් පියාගේ මහපටැඟිල්ල ස්පර්ශ කරයි. පියාගේ මුහුණේ සැනසිල්ලක සේයාවක් ඇඳී යයි. එවන් විටෙක, සිය ජීවිතයෙන් දශක තුනහමාරක්ම තායිවානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රවල බර වැඩ සඳහා කැප කළ ඔහුගේ සැප නාඳුනන මුහුණේ පුළුල් සිනහවක් ඇඳී යයි. ඔහු “ඇත්තම නේද?” යි අසමින් පුතුගේ කම්මුල සිය කම්මුලට තබා තද කර ගනියි. ඉන්පසු නොදන්නා ඈතක් දෙස බලා මද සිනා පායි.

“තාත්තා.., මම ඔයාව කර තියාගෙන යන්නද?” වයසින් අවුරුදු පහළොවක්වත් සපුරා නොතිබුණද ඔහු සිය තාත්තාට මහත් සේ ආදරය කළේය. සති මාස ගණන් නිවසින් ඈත් ව යුවාන් කිහිපයක් ගෙදර ගෙනඒමට ඔහු විඳින දහදුක පුතු දැන සිටියේය. තාත්තා කාස රෝගියෙකු මෙන් කෙසඟවූයේ තමන්ව ජීවත්කරවීම පිණිස බව ද ඔහු දැන සිටියේය. එනිසා තිරිඟු යායේ සිට කුඩා නිවසට තිබෙන මීටර දෙතුන් සියයක දුර, පියාව කර තබාගෙන පොඩි එකෙකු සේ ඔසවා ගෙන යන විට ඔහුට එය සැපයක් විනා විඩාවක් නොවීය.

උඩවැඩියා පැළයේ කොළ අගිස්සෙන් පිණි බිඳු රූරා වැටෙන විට තාත්තා නැවතත් නගරයට ගියේය. ශීතල සුළඟ වැදී සැඟවෙන ගෙපැළේ රෝගී ව සිටිනා සිය බිරියගේ මුහුණ ඔහුට මැවි මැවී පෙනුණේය.

පුතු ඇය අසලින් සෙවණැල්ලක් සේ හිඳිමින් කැඳ කෝප්පයක් හෝ පොවනා බව දැන සිටීම ඔහුට තිබෙන එකම සැනසිල්ල විය. විවේකය තමන්ට උරුම නැති බව ඔහු දැන සිටියේය. හිමිදිරියේ පාපැදිය පැදගෙන ගොස් කුලී වැඩ සෙව්වේය. වැඩක් ඉල්ලා අයැදුවේය. මිනිසුන්ගෙන් නින්දා අපහාස වින්දේය. මෙවර නම් ඔහුට හිස් අතින් ගෙදර යන්නට සිදුවන සෙයකි. එහෙත් ඔහු සිතාගෙන සිටියේ නැවත ගමට යන විට පුතුගේ එකම සිහිනය වූ ගිටාරයක් ද ගෙනැවිත් දෙන්නට ය.

ඔහු නැවත නැවතත් ගොස් ඔවුන්ට පින්සෙන්ඩු වුණේය. සමහරෙක් ඔහුට බැණ වැදුණේය. තවත් අයෙක් ඔහුට තර්ජනය කළේය. තවත් අයෙක් ඔහුව අල්ලා තල්ලු කර දැමුවේය. එවිට ඔහු විසි වී ගොස් පාපාදියේ ස්පෝක් කම්බි මත මුහුණ වැදුණේය. එවිට ඒ තාත්තා කාටවත් නෑසෙන්නට කෑ ගසමින් හඬමින් සිය වේදනාව දරා ගත්තේය. එළඹෙන දින ඔහු කෙසේ හෝ ගමට යා යුතු විය.

නැවතත් එය වැසි දිනයක් විය. තාත්තා මහත් අසරණකමින් යුතුව හුදෙකලා කඩවීදි ඔස්සේ සිය පාපැදිය තල්ලුකරගෙන ගියේය. ඔහු සිටියේ සංගීත භාණ්ඩ විකිණීමට තබා තිබෙන සාප්පුවක් ඉදිරිපිට ය.

ඒ වන විට තාත්තාගේ අතේ ඉතිරිව තිබුණේ එකම එක කාසියක් පමණි. ඒ මැදින් ඔහුට සිය ආදරබර පුතුගේ මුහුණ මැවී පෙනුණේය. තමන්ට ගිටාරය රැගෙන එන්නට හැකිවේවායි පුතා දෙවියන් යදින්නට ඇත. එහෙත් මෙලොව කෙතරම් දුක්බරදැයි දෙවියෝ පවා නොදනිති.

තීරණයක් ගත යුතුය. තාත්තා ඒ එකම එක කාසියද වැසි ජලය දෙගොඩ තලා යන පාරට විසි කර දැම්මේය. ඉක්බිති සාප්පුවේ වීදුරුව කඩ කඩ වී බිම වැටුණේය. සිය දරුවාගේ පරම පැතුම ඉටුකිරීම සඳහා මේ ලෝකයේ තිබෙන ලොකුම අපරාධය වුව කරන්නට තරම් පිය සෙනෙහස බලවත් ය. ඉන්පසු එතැන සිටියේ බොක්ස් ගිටාරයක් පිටේ බැඳගෙන හුදෙකලා වීදියේ මහ වැස්සේ ප්‍රීතියෙන් පිනාගොස් පාපැදිය පැදගෙන ගමට යන තාත්තා කෙනෙකි.

ඔහු ගමට යන විට ද මහ වැස්ස එලෙසම විය. වංගුව ගන්නා විට, ගෙයි පිළිකන්නේ උක්කුටියෙන් වාඩි වී පියා එනතෙක් මග බලාගෙන සිටි දරුවගේ දෑසේ සිනාමල් පිපුණේය. අද ඔහුගේ තාත්තා වෙනදා මෙන් නොවේ. පියා ජයග්‍රාහී විලාසයෙන් ඉදිරියටම ඇදුණේය. මහ වැසි වසින විට, වැසි දිය වෙනුවට සතුට මහෝඝයක් වී සිත තුළ ගලාගිය නිමේෂයේ, දුම්රිය හරස් මග වසන ලෝහ තහඩු තමන් වෙත ඇදී එන අයුරු හෝ මරණය දුම් පිඹින අයුරු ඔහුට ඇසුණේම නැත. ලෝහ තහඩුව හරියටම ගිටාරය පිටේ බැඳි පටිය හරහට කැපෙන සේ පිට මැදින් ඇදී ගියේය. තාත්තා පාපාදියත් සමග රේල් පීල්ලට ඔබ්බෙන් මත පතිත විය. ගිටාරය රේල් පීල්ල මත පතිත විය.

දෑස් හැර බලන එකම එක නිමේෂයේ, “තාත්තා..” යැයි විලාප නගමින් තමා වෙත දිව එන පුතු ඔහුගේ දෑස් ඉදිරියේ විය. යාර කිහිපයක් පමණක් ඉතිරි කර මර හඬ නගන යකඩ යකා දකුණු පසින් විය. බිම වැටී තෙමෙන ගිටාරය රේල් පීල්ල මත විය. තාත්තා දෙවරක් සිතුවේ නැත. එක සිතින් රේල්ලුව වෙත පැන, ගිටාරය අල්ලා රේල් පීල්ලෙන් ඉවතට තල්ලු කළේය. පුතු මර හඬ දුන්නද පියා ඉන්පසු හඬක්වත් නැගුවේ නැත. ඔහුගේ දුබල පණ, මේ ලෝකයේ දුක් තවත් නොවිඳින්නට, පුතු වෙත පරම යුතුකම ඉටුකළ සැනසිල්ලෙන් යුතුව සදහටම සැඟවී ගොස් තිබුණේය.

පුතු සිය තාත්තා උකුලේ හොවාගෙන මහ හඬින් වැළපුණේය. එදා සිට, පියා සමග ගිය තිරිඟු වත්තට සිය මව කැටුව යනවිට ඔහු සිය තාත්තා වෙනුවට ගිටාරය තුරුලු කරගත්තේය. පියා තමාට ගෙනැවිත් දුන්නේ සොරකම් කරන ලද ගිටාරයක් බව පුතු කිසිදා දැන ගත්තේ නැත. එහෙත් එය ඔහු තමන්ට දුන්නේ දිවිහිමියෙනි. ඒ සඳහා, ගිටාරය රේල් පීල්ලෙන් ඈතට තල්ලු කර රේල් පීලි සහ දැති රෝද අතර කැමැත්තෙන් සිරවූ ඔහුගේ ජීවිතය පුතුගේ කම්මුල්වල සදාතනික කඳුලක් මවා තැබීය. ඒ කඳුල ගිටාරයේ තත් අතර වැටී එහි හඬ මනරම් කරන විට පුතුගේ සුගායනය අහසට මුසු වී ගියේය.

පුතා රටේ සුපතළම තරුණ ගායකයෙකු බවට පත්විය. ඔහු එනතෙක් මග බලා සිටින රසික කැළක් හැමවිටම ඔහුට විය. එහෙත් ඒ කිසිවෙක් නොදැන සිටි පරම රහස වූයේ, ඔහු ගී ගයන්නේ දිවිපුදා තමන්ට ආදරය කළ පියා වෙනුවෙන් බවයි. පියාගේ ආත්මය ඔහුගේ හදවතේ මිහිදන් වී තිබුණේය. මුදු සුළඟකට ගැළවී පතිතවන මල් පෙත්තක් මෙන් ඔහුගේ ආත්මය ඒ දයාබර මිනිසා වෙනුවෙන් හැම විට සසල වී හඬයි.


ප්‍රේමය සියල්ල ය.

පමා වී ආ පවන

එක සිර ගෙදරක ප්‍රේම කුරුල්ලෝ – සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියත් සිරගෙට

ආලයේ ගාථා

dissolve.com

ජීවිතය ගලා යයි

නැවත නැවතත් සිඹිමි !

ලියෝගේ ‘පියාඹන හාද්ද’ කේට් නම් වේ!

සසරේ නපුරුතම ගමනේදී වුව – ප්‍රේමය තනි රකියි.

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!