BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ප්‍රේමය සියල්ල ය.

ඔහු අසන්නට පෙර පවා මම පිළිතුර දැන සිටියෙමි.

මගේ දෙවසරක පෙම්වතා වූ ඔහු, මා ඉදිරියේ දණින් වැටී වෙල්වට් සහ හදවතක හැඩයෙන් යුතු පෙට්ටියක් ගෙන මගෙන් මෙසේ අසයි.“ඔබ මාව විවාහ කර ගන්නවද?”

ඒ නිමේෂයේ ලුයිස් වඩාත් ම ප්‍රේමනීය ලෙස දිස්විය. අතිශය කඩවසම් ලෙස ද දිස්විය. එතරම් විසල් සහ ශක්තිමත් පිරිමියෙකු හදිසියේ ම මා ඉදිරියේ අන්ත අසරණයෙකු බවට පත් ව සිටියේය. එතරම් මා ගැන සැලකිලිමත් වන, මා රැකබලා ගන්නා සහ සැරවැර හෝ කලබල නැති සහකරුවෙකු මට කිසිදා නැවත හමු නොවනු ඇත. ඔහු මගේ හොඳම මිතුරා බවට පත් ව තිබිණි. හදවත ඔහුට ප්‍රේම කරන බැව් මම දැන සිටියෙමි. එනිසා,
“ඔව්” යැයි මම පිළිතුරු දුනිමි.

සැනසිල්ලක සේයාවක් ඔහුගේ වත හරහා ඇඳී ගියේය. ඉන්පසු සුන්දර මද සිනාවක් පෙරටු කරගත් පෙම්බර හාද්දකි. “මාව මේ ලෝකෙ ඉන්න ප්‍රීිතිමත් ම මිනිසා කෙරුව එක ගැන ඔබට ස්තූතියි”

එළඹෙන අගෝස්තු වසරේ විවාහ විය යුතු යැයි අපි ඒ සතියේ දින නියම කර ගතිමු. මම අපගේ විවාහ ගිවිස ගැනීම දැනුම්දීම සඳහා සුදුසු කාඞ්පත් සොයන්නට වීමි. ඒ සමගම වේදනාබර මතකයන් රාශියක් මගේ හදවත දැදුරු කරන්නට පටන් ගත්තේය.

මා විවාහ උත්සවයක් සැලසුම් කළ පළමු වතාව මෙය නොවේ. පස් වසරකට පෙර මගේ පළමු සහකරු, ජෝනෝ අනපේක්ෂිත ලෙස මෙලොවින් සමු ගත්තේ අපේ මංගල උත්සවයට සය මසක් තිබියදී ය. වේදනාව විසින් හදවත අප්‍රාණික කර තිබිණි. නොනිමි ශෝකය මගේ හදවත අරක්ගත්තේය. තවත් මංගල උත්සවයක් සැලසුම් කිරීම යනු එකී සියලු හැඟීම් මතුපිටට උලුප්පාලීම බැව් මම දැන සිටියෙමි. එකී අහිමි වීමෙන් කවදා සුවපත් වන්නට හැකිවේදැයි මම නොදනිමි.

ඔහුගේ හදිසි වියෝවෙන් පසුව මා කාලයත් සමග සුවපත් වනු ඇතැයි මගේ නෑ හිතමිතුරෝ සිතූහ. මා එවකට අතිශය ළාබාල වීමි. මගේ වයස අවුරුදු විසි එකක් පමණක් විය. පෙම්වතෙකු සොයාගැනීම අසීරු දෙයක් නොවේ. නමුත් විවාහය…? ජෝනෝ නැතිව දින සති ගණන් ඉක්මයත්ම මට හැඟුණේ ඔහු දේවදූතයෙකු බවට පත් ව කොහේ හෝ සිට මා දෙස බලා සිටිනවා විය හැකි බවකි. ඉතින් මා අන් අයෙකු හා විවාහ වන්නේ කෙසේද? අතීතයේ දිනෙයක මා ඔහුගේ පියඹ වන්නට දිවුරුම් දී තිබේ.

ඊළඟ උදෑසන ම මම යාඥා කරන්නට පටන් ගතිමි.“දෙවියන් වහන්ස…ජෝනෝ ට කියන්න, මා ඔහුගේ පියඹ වන්නට පොරොන්දු දී සිටි බව මා දන්නවා කියා. නමුත් ඔබ වහන්සේ ට ඔහුව උවමනා වූ නිසා ඔහු මා දමා ඔබවහන්සේ ළඟට ගියා. මම තවත් සුන්දර මිනිසෙක් සමග පෙමින් බැඳුණා. මම දැන් ජීවත්වන්නේ ඉතාම සතුටින්. නමුත් මම මගේ වචනය කඩ කළ විට ජෝනෝ ට එය දරාගන්නට බැරිවේදැයි මට බයයි. මට සමාව දෙන්න කියා ඔහුට කියන්න. ඔහු මට සමාව දුන් බව හඟවන්නට මට කුමක් හෝ ලකුණක් එවන ලෙස ඔහුට කියන්න.”

ඒ සමගම දොර ට තට්ටු කරනු ඇසුණු අතර ජෝනෝ දොරකඩ සිටිනු ඇතැයි බලාපොරොත්තුවෙන් මම දොර හැරියෙමි.

ලුයිස් ගෙතුළ ට ආවේය. “ඔයා ලෑස්තිද?” ඔහු මෘදු ලෙස ඇසීය.

“මොකක්ද?” මම පුදුමයෙන් ඇසුවෙමි.

“අද තමයි අපි විවාහ වෙන්න කලින් අපිට පල්ලියෙ තියෙන පළවෙනි උපදේශන සැසිය. මතකද, අපි ඒක අද දවසට දා ගත්තා”?

මට ඒ ගැන සහමුලින් ම අමතක වී තිබිණි. මම විගස පල්ලියට යාම ට සූදානම් වීමි. ඒ ගමන මගේ කාරයෙන් යන්නට මා සිතුවේ එය ඔහුගේ මෝටර් රියට වඩා වේගවත් වූ නිසා ය.
“ඔයා හොඳින් නේද?” එන්ජිම පණගන්වන අතර ඔහු ඇසුවේය.

”ඔව්…ඔව්..” මම දෙලොවක් අතර සැරිසරමින් කීවෙමි.

“ඔයා ට මාව විවාහ කර ගන්න ඕනෙ නේද…? තවමත්…?”මා ඔහු දෙස හැරුණේ මේ මිනිසා මගේ ජීවිතයෙන් පිටමං කිරීමට කොහෙත් ම නොහැකි බැව් හඟිමිනි. “ඔව්” යැයි පිළිතුරු දුනිමි.
දේවස්ථානයේ රථ ගාලේ රිය නතර කළ ඔහු එයින් පිටතට පැමිණ මගේ පසෙකින් සිට ගත්තේය. “ඔයා මගෙ පසුම්බිය දැක්කද?” ඔහු එක්වරම සිය කලිසම් සාක්කු අතගාන්නට පටන් ගත්තේය.

“සමහර වෙලාවට ඒක සීට් එක යට වැටිල ඇති”

ලුයිස් නැවතත් රිය තුළට ගිය අතර මා කියූ ලෙසටම පසුම්බිය රියැදුරු අසුන යට තිබී සොයාගත්තේය. නමුත් එතැන තිබුණු තවත් යම් කිසිවක් විසින් ඔහුගේ නෙත පැහැරගෙන තිබිණි. තවදුරටත් පසුපසට නැමුණු ඔහු දිලිසෙන රන්වන් වස්තුවක් අතට ගත්තේය. “මේ මොකක්ද මේ?”

මම දෑතින් මුහුණ වසාගතිමි. මගේ පළමු ආදරයේ හාදුවල සිහිවටනයක් වූ ඒ රන්වන් අත් පළඳනාව මීට වසර හයකට පෙර මාතින් නැති වී තිබිණි. එය ජෝනෝගෙන් මට ලැබුණු අවසාන උපන් දින තෑග්ගයි. ඔහු මට කොතරම් ආදරය කරන්නේදැයි අවසන් වතාවට කී දිනයේ මට ලැබුණු තෑග්ගයි. එය නැති වූ පසුව මා කෙතරම් වතාවක් මගේ ම මෝටර් රියේ හැම අස්සක් මුල්ලක් නෑරම එය සොයන්නට ඇත්ද? මා සිතා සිටියේ එය මට කිසිදා හමු නොවනු ඇති බවයි.

“මේක නම් හරිම ලස්සනයි.” ලුයිස් ඒ දෙසින් දෑස් ඉවතට නොගෙන කියයි. මදක් පසුබා ගිය මම එය ජෝනෝ විසින් මීට අවුරුදු ගණනකට පෙර මට දුන් ත්‍යාගයක් බව ඔහුට කීවෙමි. ලුයිස් තවත් මොහොතක් එහි දිස්නය දෙස බලාසිටියේය. ඊළඟ නිමේෂයේ එය මට පැළඳුවේය.

“මම මේක දාගෙන හිටියට කමක් නැත්ද?” මම ඇසුවෙමි.

“කමක් නැහැ. දැන් ඔයාට ඒක අපි දෙන්නගෙන් ම ලැබුණු තෑග්ගක් කියල හිතන්න පුළුවන්”

අපි අතිනත පටලවාගෙන දෙව්මැදුර තුළ ට පිවිසියෙමු. දෙව්ලොව සිට ජෝනෝ මට සමාව දුන් බවට එවූ ලකුණ දැන් මගේ අතේ රැඳී තිබේ. දෙව්මැදුරේ පිත්තල දොර අබියස බයිබල් පාඨයක් එබ්බවූ ඵලකයකි. “ප්‍රේමය සියල්ල දරා සිටියි” යැයි එහි සඳහන් ව තිබිණි. අප ඊළඟට පසුකළේ ආරුක්කුවකි. මගේ දෑස් එහි සටහන් ව තිබූ ඊළඟ වැකිය වෙත යොමුවිය. ‘‘ප්‍රේමය කිසි කලෙක ඊර්ෂ්‍යා සහගත නොවේ” යැයි එහි ලියැවී තිබිණි.

  • මිෂෙල් වොලස්ගේ අත්දැකීමකි.

පමා වී ආ පවන

එක සිර ගෙදරක ප්‍රේම කුරුල්ලෝ – සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියත් සිරගෙට

ආලයේ ගාථා

තාත්තාගේ ආදරය

dissolve.com

ජීවිතය ගලා යයි

නැවත නැවතත් සිඹිමි !

ලියෝගේ ‘පියාඹන හාද්ද’ කේට් නම් වේ!

සසරේ නපුරුතම ගමනේදී වුව – ප්‍රේමය තනි රකියි.

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!