BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මගේ පුතුගේ ජීවමාන දායාදය

“අනුන් ට උදව් කිරීමේදී අපි අපට ම උදව් කර ගන්නෙමු. අප කරනා ඕනෑම හොඳක් චක්‍රයට මුසු වී නැවත අප කරා ම පැමිණෙන්නේය.” - ෆ්ලෝරා එඞ්වඩ්ස්

ආදරණීය ළතෙත් බවකින් යුතුව ජෝසප් ගේ ලිට්ල් ලීග කුසලානය එක්ස් මෙන් කොමික් පොත් පෙළ සහ අපේ පැරණි තට්ටු නිවාසයේ ඔහුගේ සයනාගාරයේ බිත්ති සැරසූ රාමුකළ හස්තීන්ගේ පින්තූර ද එකින් එක ලිහමි. දැනට සති දෙකකට පමණ පෙර පුතු ජෝසප් නව නිවසේ තමන්ගේ අලුත් කාමරය වෙත පැමිණීම ට මහත් නොඉවසිල්ලෙන් හා උද්‍යෝගයෙන් යුතු ව සැරසුණේය. නමුත් දැන් ඔහුගේ ඇඳ පිළියෙළ කරන විට මට කඳුලු වාවා ගත නොහැකි ය. “මගෙ පුංචි පුතා.. ආයෙ කවදාවත් මෙතැන නිදාගන්න එකක් නැහැ..” මම වැළපුණෙමි. “එයාගෙ ලස්සන හිනාවවත් ආදරණීය වැළඳගැනීමවත් මට දැනෙන එකක් නැහැ…”

කෙසේ ජීවත්වෙම්දැයි සිතමින් මම ජෝසප් ඉතා ආදරයෙන් එක්රැස්කළ පුළුන් පිරවූ වලසුන් වඳුරන චිප්මන්ක්ස් සහ ජිරාෆ් වැන සතුන් ලෙහීම ට පටන් ගතිමි.

කුඩා කල ඔහු බදා වැළඳගැනීම ට පුරුදු ව සිටි ක්‍රිස් කොළොම්බස් වලසා ව මම ඇඳ මත වාඩි වී බදා ගත්තෙමි. ඔහුගේ ප්‍රියතම කතාන්දර පොතක් කියවීමි. ජෝසප් පොත්වලට ප්‍රිය කළේය. ආශා කළේය. ඉගෙනුම් ඌනතාවයකින් පෙළුණු ඔහු ට මේ පොත් තනි ව කියවා ගත නොහැකි වීම එයට ප්‍රධානතම හේතුවක් විය.
ජෝසප් දිරිය දරුවෙකි. ඔහු තීරණාත්මක ලෙස එකී බාධකවලට පහර දුන්නේය. ඔහු තම පාසල් පාඩම් හා පුනරීක්ෂණ පටිගත කිරීම්වලට

සවන් දුන්නේය. සෑම රාත්‍රියකම අපි මුළුතැන්ගෙයි මේසයේ වාඩි වීමු. මම ගණිත ගැටලු ඔහුට කියවා දුන් අතර අකුරු උච්ඡාරණයන් නිවැරදි කළෙමි. ජෝසප් වෙහෙසී වැඩ කළේය. පාසලේදී හැමවිටෙකම ඔහු ට ගෞරවනීය තැනක් හිමි ව තිබිණි. කරාටේ කොල පටියක් ද ඔහු ලබාසිටි අතර ලිට්ල් ලීග බේස්බෝල් කණ්ඩායමේ කඩුලු රකින්නා ද විය.

ජෝසප් බොහෝ ආකාරවලින් සාමාන්‍ය කොලු ගැටයෙකු ද විය. තම සොයුරු ඬේවිඞ් සමග වීඩියෝ ක්‍රීඩාවල නියැළීමටද සොයුරිය ෂැලොම් සමග චිත්‍රපට නැරඹීමට ද ඔහු ආශා කළේය. නමුත් තමන් යම්කිසි ආකාරයක වෙනස් කෙනෙකු බවද තමන් ට හැමවිටෙකම නොවුණත් වෙනත් අයෙකුගේ උපකාරය අවශ්‍ය බව ද ඔහු දැන සිටියේය.

අපේ වයස්ගත අසල්වැසියන් වෙනුවෙන් වෙළඳසැලට ගොස් බඩු මුට්ටු ගෙනැවිත් දුන් අවස්ථා හෝ හිම මිදුණු මෝටර් රථවල හිම පිරිසිදු කිරීමෙන් පසු මුදල් ප්‍රතික්ෂේප කළ අවස්ථා කොපමණ දැක තිබේදැයි මට මතක නැත. වීදියේ පහළ විසූ ඩවුන්ස් සහලක්ෂණයෙන් පෙළුණු දැරිය වෙනුවෙන් මපට් දර්ශන පැවැත්වීම ට ඔහු බොහෝ සෙයින් ආශා කළේය. වරක් ඔහුගේ මිතුරු මිකා හට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය ව ඇතැයි වෛද්‍යවරුන් පැවසූ විට මගේ පුතා මවෙත දුවගෙනවිත් මෙසේ කීය. “මට මගෙ වකුගඩුවක් එයාට දන් දෙන්න ඕනෙ.”
ජෝසප් මගේ කුඩා දඟකාරයාය. ඔහු හැමවිටෙකම මට ඔහු ගැන ආඩම්බරයක් ඇති කළේය. ඔහුගේ ජීවිතයේ අවසන් දිනයේදී පවා එය එසේ විය.

එම සන්ධ්‍යවේ මගේ සැමියා වූ ලෝයු මට කෑ ගසමින් 911 අමතන්නැයි කියද්දී මා සිටියේ අල්මාරිය ඇඳුම් අහුරමිනි. අතිශය වේදනාකාරී හිසේ කැක්කුමක් ගැන පැමිණිලි කරමින් ජෝසප් තම සයනය මත ට ඇදගෙන වැටෙන විට පුතු සහ පියා සිටියේ චිත්‍රපටයක් නැරඹීමට යාම ගැන සැලසුම් කරමිනි. ඔහුගේ හුස්මගැනීම වේගවත් වී අවසානයේ එය නතර විය. වෛද්‍යවරයෙකු වූ ලෝයු සහායක වෛද්‍යවරුන් පැමිණෙන තෙක් ම ඔහු ට කෘතිම ශ්වසනය ලබාදීම ට වෙහෙස විය. ඉන්පසු ජෝසප් මිය නොයේවායි පතමින් මම ඔහු සමග ගිලන් රිය ට නැංගෙමි.

හැමවිටෙකම නිරෝගී දරුවෙකු වූ ජෝසප් අති ප්‍රබල මස්තිෂ්ක ඇනියුරියම් තත්වයක ට හිටි හැටියේ ලක්ව සිටියේය. ‘එයා නැතිවෙයිද..?” මම සැමියාගෙන් ඇසුවෙමි. ඔහු මාව කිටිකිටියේ තද කර ගත්තේය. “ඔව්…”

එය විය නොහැක්කක් සේ පෙනිණි. මගේ පුතා නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියේ මීට පැය කිහිපයකට පෙර ය. නමුත් දැන් නැවත සිහිගැන්විය හැකි බවට කිසිදු බලාපොරොත්තුවක් ශේෂ නොකර ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ට සම්බන්ධ වී සිටියි. කම්පනය හා කණගාටුව නිසා මට ඇඬීමට අවශ්‍ය විය.

නමුත් එය ට වේලාවක් නැත. යම්කිසි වැදගත් දෙයක් මා හට සිදුකිරීම ට තිබේ. එය දැන්ම කළ යුතු ය.

“අපි එයාගෙ අවයව දන් දෙන්න ඕනෙ.” මා ලෝයු අමතා කීවේ මිකා හට වකුගඩුවක් දීමට අවශ්‍ය යැයි ජෝසප් කියූ බස සිහියට නගා ගනිමිනි. “ඒක තමයි එයා ට අපෙන් කෙරෙන්න ඕනෙ”

අවයව බද්ධ කිරීම සම්බන්ධීකරණය කරන්නා අදාල සියලු කටයුතු සූදානම් කළ අතර පැය කිහිපයකට පසු අප ජෝසප් ගේ ඇඳවටා රොක් වූයේ අවසාන වතාවට ඔහුට සමුදෙන්නට ය.

ඉන්පසු අපි නිවස ට ගියෙමු. එදින රාත්‍රිය මුළුල්ලේ ම ශල්‍ය වෛද්‍යවරු මගේ පුතාගේ අවයව එකින්එක වෙන්කරගන්නා අතරතුර මම ඔහුගේ ඇඳෙහි වකුටු වී ඔහුගේ ප්‍රියතම ඇතිරිල්ල තුරුලුකරගෙන මා හැමවිටෙකම ඔහුට කෙතරම් ආදරය කළේදැයි පැවසුවෙමි.

ඊළඟ දෙසතිය කෙසේ ජීවත්වූයේදැයි මම නොදනිමි. අවමංගල්‍යය සහ අප මිලදී ගන්නා බවට ගිවිසගෙන තිබූ නිවසේ පදිංචිය ට ඒම… ජෝසප් ගේ අලුත් නිදන ඇඳ අසල ට එන හැමවිටෙකම මම හැඬුවෙමි. ජීවත් ව සිටියා නම් ඔහු අනිවාර්යයෙන්ම මෙයට ආශාකරනු ඇත. මගේ හදවතේ ඇති ව තිබෙන්නේ කිසිදා සුව නොවන හිඩැසකි.

තවදුරටත් දුක ඉසිළිය නොහැකි තත්වයට පත් ව සිටින අතර දිනක් අවයව බද්ධකිරීමේ සම්බන්ධීකාරකයාගෙන් මට ලිපියක් ලැබිණි. “මා ඔබට ලියන්නේ ඔබගෛ් උදාරත්වයේ ප්‍රතිඵලය බෙදාගැනීම සඳහා ය.” කම්මුල් මතින් කඳුළු රූරා වැටෙද්දී මම ලිපිය කියවූයෙමි.

කෙන්ටකි ප්‍රාන්තයේ කාන්තාවන් දෙදෙනෙක් (එක් අයෙක් මගේ ජෝසප් ගේ වයසේ පුතෙකු සිටින අම්මා කෙනෙකි.) දැන් වෘක්ක කාන්දු පෙරණ යන්ත්‍රවලින් විසම්බන්ධ වී සිටියේ ඔවුන් ට මගේ පුතාගේ වකුගඩු ලැබුණු නිසා ය. මේ අතර මිසූරි හි අතිශය බරපතළ තත්වයේ පසුවූ සහ සුදුසු රුධිර ගණයක් සහිත දායකයෙක් හමුවන තෙක් බලාසිටි අවයව ඉල්ලුම්කරුවෙකු ජෝසප් ගේ අක්මාවේ සෛලවලින් ජීවත්වෙමින් සිටියේය. මගේ පුතු විසින් දානය කළ නිරෝගී හෘද කපාටවල පිහිටෙන් කැලිෆෝනියාවේ කුඩා දරුවන් දෙදෙනෙකු ඉක්මනින් ම දුවපැන සෙල්ලම් කිරීම ට සමත් වනු ඇත. තවද ජෝසප් ගේ කණීනිකාවලට ස්තූතිවන්නට දරුවන් දෙදෙනෙක් (කෙන්ටකි දරුවෙකු සහ නිව්යෝක් දරුවෙකු) සිය පෙනීම නැවත ලබාසිටියහ.

මගේ පුතු නිසා සත් දෙනෙකුගේ ජීවිත පුදුම සහගත ලෙස වෙනස් වී තිබිණි. මම එම ලිපි යන යන තැන ගෙන ගියෙමි. විශේෂයෙන් ම ජෝසප් ගේ කණීනිකා ලද යොවුන් දරුවන් දෙදෙනාගේ ලිපි කියවීමි. නැවත කියවීමි. ඉගෙනීමේ ආබාධය නිසා ජෝසප් ට තනි ව කියවීම ට නොහැකි විය. නමුත් ඔහුගේ අති විශේෂ ත්‍යාගය නිසා දැන් මේ ලෝකය ට එය කිරීමට සමත් දරුවන් දෙදෙනෙක් එක් ව සිටිති. මේ තත්වය මගේ පුතා සිය ජීවිතය නිස්කාරණයේ අහිමිකර නොගත් බව වටහාදීමට මට සමත් විය.

ජෝසප් ගේ අවයව ලබාගත්තා වූ හැම කෙනෙකු ම ජෝසප් කෙබඳු දරුවෙකු දැයි දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එනිසා එක් රාත්‍රියක ඔවුන් ට අවයව දන්දුන් කුඩා කොලුවා පිළිබඳ හැම දෙයක් ම කියමින් මම ඒ හැම කෙනෙකුට ම ලිපි ලිවීමි. සත් දෙනාට ම එම ලිපි තැපැල් කරන ලෙස මම අවයව දන්දීම සම්බන්ධීකරණ නිලධාරියා ට කීවෙමි. ඒ හැම ලිපියක් සමග ම ඔහුගේ පුළුන් පිරවූ සතුන්ගෙන් එකා බැගින් ද ඔහු උන් ව බලාගන්නේ කෙසේදැයි විස්තර කරමින් ලියූ ලිපියක පිටපත බැගින් ද යැවූවෙමි.

ලොව ට මපුතු ලබාදුන් දේ ගැන දැනගැනීමෙන් පසු කඳුළු නොසළා ඔහුගේ කාමරයට පැමිණීම ට මට හැකිවිය. එය පවුලේ සෙස්සන් ට ද පහසුවක් ගෙන දුන්නේය. ජෝසප් රාත්‍රී කෑම මේසයේදී හා පවුලේ සෙසු සමාගමයන්වලදී ඉතිරිකරගත් ප්‍රීතිජනක මතකයන් අපි බෙදාගත්තෙමු.

ප්‍රජා කණ්ඩායම් හා පාසල්වලට අවයව දානයේ ඇති වැදගත්කම කියාදෙන දේශනවලට සහභාගි වීමෙන් ලෝයු සහ මම ගෞරවයට ද පාත්‍රවීමු. එක් රූපවාහිනී සාකච්ඡාවකින් පසු ජෝසප් ගේ වකුගඩුවක් ලද එක් මවක් මා හමුවීම ට ආවාය.

“ඔබට ස්තූති කරන්නේ කොහොමද කියල මම දන්නේ නෑ…” අපේ පළමු හමුවීමේදී ඈ කඳුලු වැගිරුවාය. “මගේ දරුවාගේ කොටසක් ඔබ තුළ ජීවත්වනවා දැකීම තමයි මට කරන ස්තූතිය” මම ඇයට කීවෙමි. සිය අලුත් වකුගඩුව නිසා ඒ අම්මාට සිය පුතුගේ අටවැනි පන්තියේ වාරාවසාන රැස්වීම ට යාමට හැකියාව ලැබී තිබුණේය. ජෝසප් ට කිසිදා අටේ පන්තිය සම්පූර්ණ කිරීම ට ඉඩ ලැබුණේ නැත. නමුත් ඒ කාන්තාවගේ සන්තෘප්තිය දැක මම අපමණ සතුටු වීමි. ඒ ප්‍රාතිහාර්යය සිදුකර තිබෙන්නේ මගේ පුතා විසිනි.

මගේ පුතා සමුගෙන ගියේය. නමුත් ඔහු එය කළේ හොඳම සහ නියම ක්‍රමය ට ය. එනම් පිහිටක් අවශ්‍ය අයට උපකාරයේ දෑත පිරිනමමිනි. ජෝසප් ගේ ජීවිතය කෙටි එකක් යැයි ඇතැම්හු කියති. එය පූර්ණ ජීවිතයක් යැයි මම කියමි.

ඔබ ජීවිතයක් බේරාගත්තේ නම් ලෝකයම බේරාගනියි යැයි වරක් මම අසා ඇත්තෙමි. හොඳයි.. මගේ පුතා ජීවිත පහක් බේරාගෙන තවත් දෙදෙනෙකු ට පෙනීම ලබාදුන්නේය. අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙකුගෙන් මීට වඩා බලාපොරොත්තු විය හැකි දෙයක් තිබේද? අම්මා කෙනෙකුට මීට වඩා තම දරුවා ගැන ආඩම්බර විය හැකිද…?

– කැතී කෘට් ගේ අත්දැකීමකි.
– කැතී කෘට් සිය පවුල සමග ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ජීවත් වන්නීය. ඈ සිය දරුවන්ගේ පාසලේ ක්‍රියාකාරී ස්වෙච්ඡා සේවිකාවකි. ඈ විශේෂයෙන් ම යුදෙව් ප්‍රජාව අතර අවයව දන්දීම දිරිමත් කිරීමෙහි යෙදී සිටින්නීය.

Cover Photo: Writer’s Digest


රිදවීම් මිහිදන් කරන්න !

ආදරණීය ඉටිපන්දම්

අම්මෙ මම දන්නවා…

ප්‍රථම පෙම

දම් පාට සුරංගනාවිය

තම පෙම්වතිය සොයා රටවල් අටක් ඔස්සේ ස්වීඩනයට පා පැදියෙන් ගිය කුලහීන පෙම්වතා

ප්‍රේමය සියල්ල ය.

පමා වී ආ පවන

error: Content is protected !!
error: Content is protected !!