ඉන්දීය පාලනයක් සහිත කාශ්මීරයේ අගනුවර සහ විශාලම නගරය වන ශ්‍රී නගර් හි ඇඳිරි නීතිය නොතකා නගරවැසියෝ විටෙක උද්ඝෝෂණ පවත්වති. එවිට ඒවා ඉන්දීය හමුදාවේ කඳුළු ගෑස් ප්‍රහාරවලින් දැඩි සේ මර්දනය කෙරේ.
‘‘ආණ්ඩුව මෙහෙම මැරවරකම් කරන්නෙ ඇයි?“ ඉන්දු කාශ්මීරයේ ජීවත් වන වියපත් මුස්ලිම් වැසියෙක් සිය ඉච්ඡා භංගත්වය වචනවලට පෙරළයි. පැය 24 පුරාම පනවා ඇති බව සේ පෙනෙන ඇඳිරිනීතිය නොතකා මේ වැසියෝ කුසගින්න උහුළාගත නොහැකි ව වරින් වර මතු වෙති. නගරයේ පාර පුරා කටුකම්බි රෝල් බිම අතුරලා ය.
‘‘උඹලා අපිව දවාලටත් හිර කරල තියනවා. රෑටත් හිර කරල තියනවා.“ යැයි පැරාමිලිටරි පොලිස් භටයෙකුට ඒ මහලු මිනිසා සිය තර්ජනාංගුලිය දිගු කරයි. නමුත් එය භයානක පියවරකි. මිනිසා නිරායුධ ය. නමුත් භටයා අත තුවක්කුවකි.
‘‘මම ඉන්දියාවට විරුද්ධව සටන් කරන්න ආයුධ අතට ගන්නවා.. මමත් ගන්නව තුවක්කුවක්“
‘‘මේ මගෙ එකම පුතා. එයා දැන් පොඩියි. ඒත් මම එයාවත් තුවක්කුවක් ගන්න පුරුදු කරනවා“
එසේ කියන්නේ සිය ළදරු පුත්‍රයා ඔසවාගෙන එන තරුණයෙකි.
ශ්‍රී නගර්.. එය පුරා වසර 30 ක් මුළුල්ලේ සිදුවිය හැකි නරකම දෙය කිසිදා සිදු නොවේවායි අපේක්ෂා සහගතව සිටියේය. නමුත් මෝදි විසින් 370 වගන්තිය නිෂ්ප්‍රභා කරදැමීමත් සමග, පසුගිය සඳුදා ඒ නපුරු හීනය සැබෑවක් විය.
කාශ්මීරයේ ප්‍රජාතන්ත්‍රීයව පත්වූ දේශපාලන නායකත්වයන් ද මේ වන විට ඉන්දීය මධ්‍යම රජයේ හිරිහැරවලට ලක්ව සිටියි. හිටපු මහ ඇමතිවරුන් දෙදෙනෙක් දැන් සතියකටත් වඩා කාලයක් පසුවන්නේ හමුදා රැඳවුමේ ය. තවත් මන්ත්‍රීවරයෙක් නිවාස අඩස්සියට ගෙන තිබේ. සතියක කාලයක් ඇතුළත ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ මහාචාර්යවරුන් පවා , කාශ්මීර නිම්නය පුරා විහිදී තිබෙන තාවකාලික බන්ධනාගාරවල සිරගත කර තිබේ.
ඒවා තුළ සිදුවන්නේ කුමක්දැයි කිසිවෙක් නොදනිති. අනුමාන කිරීම් පමණක් පවතියි.
‘‘දැන් අපි ඉන්නෙත් හිර ගේක තමයි‘‘ යැයි කාශ්මීරයේ රිස්වාන් මලික් පවසයි. ‘‘අපි ඉන්නෙත් එළිමහන්, විශාල හිරගෙයක..“ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අම්රිත් ෂා විසින් කාශ්මීරය ගැන පාර්ලිමේන්තුවේදී සිය සැලසුම් ඉදිරිපත් කරන්නට දින 2කට පෙර ඔහු දිල්ලියෙන් පිටත් වී කාශ්මීරය බලා ආවේ දින 2 ක් මුලුල්ලේ ඔහුට සිය දෙමාපියන් සමග දුරකථනයෙන් කතා කරන්නට නොහැකි වූ තැන ය.
ඔහු සිය දෙමාපියන්ට අවසන් වරට කතා කර තිබෙන්නේ පසුගිය ඉරිදා රාත්‍රිෙය්, ඉන්දියාව විසින් කාශ්මීරය වෙත සපයා තිබෙන සියලු සන්නිවේදන පහසුකම් අඩාල කිරීමට පැය කිහිපයකට පෙර ය. දිල්ලියේ සිට කාශ්මීරයට පියඹා ආවත් අද වන තෙක් ඔහුට දෙමාපියන් හෝ පවුලේ අය සොයාගැනීමට හැකි වුණේ නැත. ශ්‍රී නගර් හි පිහිටා තිබූ ඔහුගේ නිවස අමු සොහොනක් මෙන් පාළු වී තිබූ අතර, නිවැසියන්ට සිදුවූ දෙයක් කිසිවෙක් නොදත්හ. අවසානයේ හිස් අතින්-බරවූ හිසින් යුතුව ආපසු යන්නට ඔහුට සිදුව තිබේ.
ඉන්දු කාශ්මීරයේ දිවි ගෙවන්නන්ගේ මතය නොවිමසා මෝදි කළ දේ ගැන මලික් වියරු වැටී සිටින්නා සේ ය. ඔහු බෙදුම්වාදය විශ්වාස කරන්නෙක් නොවේ. අවම වශයෙන් ඔහු කාශ්මීරයේ ජීවත් වන කාලයේදී ගෙදරින් එළියට ගොස් ඉන්දීය සොල්දාදුවන්ට විරුද්ධව ගලක්වත් ගැසූ අයෙක් නොවේ. ඔහු දිල්ලියට ගියේ ගණකාධිකාරවරයෙකු වන්නට ඉගෙන ගැනීම සඳහා ය.
‘‘ඉන්දියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියල හිතන්න අපි මෝඩයො නෙවෙයි. කාශ්මීරයට දීර්ඝ කාලයක ඉඳන් ඉන්දියාවත් සමග සම්බන්ධයක් තිබුණා. ඒ සම්බන්ධය ලේසි නෑ. නමුත් අපේ විශේෂ දේශපාලනික තත්වය ඉන්දියාව සහ කාශ්මීරය යා කරන පාලම බවට පත්වෙලා තිබුණා. ඒ පාලම බිඳ දමලා ඔවුන් අපේ අනන්‍යතාවය අරගත්තා. මේක පිළිගන්න බෑ.“ යැයි ඔහු තිර හඬින් කියයි.
ඔහු කාශ්මීරයේ ජනයා අතර පැවති තවත් අපූරු කතාවක් ද හෙළිදරව් කළේය.
‘‘මෙහෙ කියමනක් තිබුණා, හැම පවුලකම එක සහෝදරයෙක් බෙදුම්වාදීන්ගෙ හමුදාවට බැඳෙනකොට තවත් සහෝදරයෙක් ඉන්දියානු හමුදාවට බැඳෙනවා කියලා. මෝදි මේ සහෝදරයො දෙන්නව එකතු කළා..!“
ශ්‍රී නගර් හි ජීවත් වූ ඔහුගේ සීයාගේ පවුල ඒ වන විටත් ඇෆ්ගනිස්ථානය බලා පළාගොස් තිබිණි.
න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඉන්දියාව හා පාකිස්ථානය අතර සිරවූ සැන්ඩ්විචයක් සේ පැවති කාශ්මීරය පසුගිය මාසය වන විටත් ලෝකයේ වැඩිම හමුදාවක් රඳවා තිබූ ප්‍රදේශය බවට පත්ව තිබුණේය. එසේ තිබියදී මෝදි, පසුගිය මාසයේ මුල තවත් 35,000 ක අතිරේක බලඇණියක් එහි යැව්වේය. ඉන්පසු 370 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගළවා දැමුවේය. දැන් සියල්ල පහසු යැයි ඔහු සිතන්නට ඇත.
මෝදි ගේ රජයේ ප්‍රවෘත්ති සේවාවන්, ‘කාශ්මීරයේ තත්වය සාමකාමී‘ යැයි දිගින් දිගටම කියයි. බහුතර ඉන්දියානුවන් ද ජය ඝෝෂා නගමින් පසුවෙති. නමුත් ඒ අතරම, මරාගෙන මැරෙන බෝම්බ බිය දැනටමත් කාශ්මීරය වෙළාගෙන ඇති අතර, ආරක්ෂක හමුදා සීරුවෙන් තබා තිබෙන්නේත්, ඇඳිරි නීතිය පැය 24 පුරාම බලපැවැත්වෙන්නේත් සිවිල් අසහනයට වඩා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවෙතැයි බිය නිසා ය.
එදා කඳු වළල්ලකින් වටවී තිබූ සරයේවෝ නගරය (සරජීවෝ) 1992 වසරේ පටන් වැටලීම යම් ආකාරයකින් සිහිගන්වමින් මේ වන විට කාශ්මීර නිම්නය ද ඉන්දීය හමුදා විසින් වටලා තිබේ.
මෝදි, ගත් තීරණයක් වෙනස් කරන හෝ නැවත සලකා බලන ජාතියේ අයෙකු නොවේ. පසුගිය බ්‍රහස්පතින්දා මෝදි පැවසුවේ, ‘‘කාශ්මීරයට නව යුගයක් උදා වී ඇති බව‘‘යි. නව රැකියා අවස්ථා සහ සංවර්ධන අවස්ථා වේගයෙන් එය වෙත ලැබෙනු ඇතැයි ඔහු කීවේය. නමුත් ඔහු නොදන්නා හෝ නොදන්නනවා සේ සිටිනා එක් දෙයක් තිබේ.
එනම්, කාශ්මීර පස තුළ කිසිදා පැළ නොවන්නට අදහස් කර තිබූ අන්තවාදයේ සහ ආගම්වාදයේ බීජවලට පවා යහමින් මෝදි සහ ඔහුගේ හින්දුත්වවාදය විසින් යහමින් ජලය වත්කළ බව ය.
කුණාටුවකට පෙර ගොඩබිම නිශ්චල ය. සුනාමියකට පෙර මුහුද ද නිශ්චල ය. කාශ්මීරයේ දැන් පවතින්නේ එබඳු තත්වයකි.
සුරූපී හින්දි නිළි මධුරි ඩික්සිත් වරක් මේ ලෝකයේ තමන් වැඩිපුරම ආශා කරන සුන්දරම තැන කුමක්ද යැයි ඇසූ විට කීවේ එය අන් කිසිවක් නොව කාශ්මීර නිම්නය බවයි. කහමල් පිරුණු කාශ්මීර නිම්නය හින්දි චිත්‍රපට ගණනාවකටම ගීත ජවනිකා සැපයූවේය. වරක් කාශ්මීර ගරිල්ලන් ‘‘අපිට මධුරිව දීපල්ලා.. අපි උඹලට කාශ්මීරය දෙනවා..‘‘ යැයි ඉන්දීය ආණ්ඩුවට පැවසූ බවට ද කුප්‍රකට කියමනක් තිබේ.
දැන් කිසිවක් නොදීම, කාශ්මීරය ඉන්දියාවේ ය. නමුත් කාශ්මීර වැසියන් ඒ වෙනුවෙන් කුඩාම එකා අතට පවා ගිනි අවිය දෙන්නට සූදානම් ය. ඉන්දීය හින්දුත්ව අගමැති නරේන්ද්‍ර මෝදි මේ කළේ සමස්ත ඉන්දියානු උපමහද්වීපයම භයානක අනතුරකට ඇද දැමීමක් යැයි කාශ්මීරයේ හිටපු මහ ඇමතිනී මෙහේබූබා පැවසුවාය. දකුණු ආසියාව අන්තවාදය සහ ජාතිකත්වය විසින් වේගයෙන් ගිල ගනිමින් යන සමයක ඉන්දියාව සැපයූ ආදර්ශය, කාශ්මීරය මීළඟ පරම්පරාවේෙ සහරාන්ලාගේ තිඹිරි ගෙයක් බවට පත් නොකිරීමක් යැයි කාට නම් කිව හැකිද?