×

මෙතැන හිමි නැති නම්, ජීවිතය අන් තැනෙක

‘මධ්‍යම ඇමරිකානු සංක්‍රමණික කැරවෑන්‘ (Central American migrant caravan) ගැටළුව කියන්නේ, ට්‍රම්ප් ජනපතිට ‘ඔබාමා විනිසුරන්, ට්‍රම්ප් විනිසුරන්‘ ගැන කතා කරන්නට සැලැස්වූ, ඇමරිකාවේ සංක්‍රමණික අර්බුදය සහ, ට්‍රම්ප්ගේ සංක්‍රමණික විරෝධී ආකල්පය මෑත කාලයේ වඩාත්ම අභියෝගයට ලක් කළ ගැටළුවක්.


මධ්‍යම ඇමරිකාවේ සිට දේශසීමා හරහා ඇමරිකාවේ ජීවත්වීම නැමති සුබසිහිනය දකිමින් ඇදී එන සංක්‍රමණියන්ට රට තුළට ඇතුල් වීමට ඉඩ ලබාදෙමින් මෙතෙක් පැවති නීතිය වෙනස් කරමින් ජනපති ට්‍රම්ප් එය තහනම් කළා. එවිට සැන් ෆ්‍රැන්සිස්කෝ දිසා අධිකරණ විනිසුරු ජෝන් එස්. ටයිගර් ට්‍රම්ප්ගේ තහනම බලරහිත කරමින් ඒ සංක්‍රමණික කැරවෑන්වලට ඇමරිකාවේ දේශපාලන රැකවරණය ලබාගැනීමට ඇති අයිතිය ස්ථාපිත කළා. කියවන්න. කියවන්න, ඔබාමා විනිසුරන්, ට්‍රම්ප් විනිසුරන් සහ යුක්තියේ විනිසුරන්

නමුත් තවමත් ඔවුන් ඇමරිකාව තුළට ඇතුල් වී නැහැ. දැන් තිබෙන ප්‍රශ්නය, මෙතැනින් එහාට ඒ සංක්‍රමණිකයන්ගේ ඉරණම කුමක් වේවිද යන්නයි.

‘‘මට ආපහු යන්න බෑ‘‘ ඒ තමයි, සංක්‍රමණිකයන් එක හඬින් කියන කතාව.

මේ වන විට මෙක්සිකෝවේ ටිජුවානා සංක්‍රමණික සෙවණ යට දහස් ගණන් මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයන්, එසේත් නැතිනම් සරණාගතයන් රැඳී සිටිනවා. ඒ අතරින් කෙනෙක් වන කාලෝස් ගෝමේස් ආගන්තුකයන් වෙත යමින් අසන්නේ තමන්ට රැකියාවක් සොයාගත හැක්කේ කොහෙන්ද යන්නයි. ගෝමේස්ගේ වයස අවුරුදු 55 ක්… මෙයට මාසයකට කලින් ටිජුවානා වෙත හොන්ඩියුරාස් රාජ්‍යෙය් සිට පැමිණි ඔහු වගේම දහස් ගණනක් සිටිනවා. ටිජුවානාවල සිට ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදය තිබෙන්නේ අත පොවන මානයෙන්. ඔවුන්ට ළඟම දේශසීමාව වන San Ysidro port of entry තිබෙන්නේ මේ ස්ථානයේ සිට සැතපුම් 11 ක් දුරින්. නමුත් කුමක් කරන්නද..? ඔවුන් ඇමරිකාව තුළට ඇතුල් වී දේශපාලන රැකවරණය ලබාගැනීම සඳහා අයදුම්පත් අතැතිව දිනපතා පෝලිම් ගැසෙනවා. පින් තකා දන් දුන් සැන්ඩ්විච් සහ අධික ශීතලෙන් බේරීම සඳහා ඇඳගත යුතු උණුසුම් ඇඳුම් අතැතිව ඔවුන් දිනපතා පෝලිම් ගැසෙනවා. ඇමරිකාවට යන්නට බැරි වුණොත්, මෙක්සිකෝවේ හෝ ජීවත් වන්නට ඔහුගේ සිත බල කරනවා. මොනවා වුණත් නැවත මව්රට කරා යන්නට ඔවුන් ලැහැස්ති නැහැ.

Photograph: Guillermo Arias/AFP/Getty Images

Photograph: Guillermo Arias/AFP/Getty Images

හොන්ඩියුරාස් රාජ්‍යයේ සිට ඔවුන් කැරවෑන්වල නැගී ඇමරිකාව බලා ආවේ සැතපුම් 2000 ක් දුර ගෙවාගෙනයි. ඒ රටේ මැර කල්ලිවල දැඩි පීඩනයට හසු වූ ඔවුන්ට තමන්ගේ ගෙවල් දොරවල් සියල්ල අහිමි වුණා. ඔවුන් පාරට වැටුණා. මීට වඩා නරක දෙයක් සිදු වන්නට බැරි බව සිතමින් ඔවුන් ඇමරිකානු සිහිනය හඹා යන්නට පටන් ගත්තා. ඔවුන්ව දැන් ජීවත් කරවන්නේ ඒ බලාපොරොත්තුව විසින්.

 Photograph: Rebecca Blackwell/AP

Photograph: Rebecca Blackwell/AP

කාලෝස් අයත් වන්නේ, ට්‍රම්ප්ගේ විවෘත සතුරුකම නිසා උතුරු දිගට නැවත හරවාගෙන ගිය කැරවෑන්වලින් පැමිණි සංක්‍රමණිකයන් පිරිසටයි. සිය ගැඹුරු ක්‍රිස්තියානි විශ්වාසයන්ට ඉඩ දෙමින් ඇමරිකාව ඔවුන් භාරගනීවි කියා ඔවුන් සිතුවා. ඒත් අවසානයේ මෙක්සිකෝවේ ටිජුවානා දේශසීමාවෙන් එහාට යා ගන්නට ඔවුන්ට නොහැකි වුණා. ටිජුවානාව ඔවුන් පිළිගත්තේ උණුසුම් අන්දමින් නෙවෙයි. විදේශිකයන් කෙරෙහි දක්වන භීතිකාව (සීනෝෆෝබියාව) ටිජුවානාවේත් අඩු නැතිව තිබෙනවා. ඒ මදිවාට වරින් වර පැමිණෙන ඇමරිකානු දේශසීමා ආරක්ෂක භටයන් ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනවා. මේ හිරිහැර නිසා බලාපොරොත්තු අතහැරගත් සමහර සංක්‍රමණිකයන් ආපසු ගම් බිම් බලා ගිහින්.

මේ වන විට මෙක්සිකානු රජය ඔහුට රැකියාවක් කිරීමේ බලපත්‍රය (work permit) ලබාදෙන්නට එකඟ වී තිබෙනවා. මේ සංක්‍රමණිකයන් වෙනුවෙන් පුරප්පාඩු 7000 ක් පමණ ඇති බව ඔවුන් කියා තිබෙනවා. නමුත් එයට තව සති දෙකක්වත් ගත වේවි. ඒ වගේම, සංක්‍රමණික රැකියා බලපත්‍රලාභීන් දරුණු අන්දමින් ශ්‍රම සූරාකෑමට ලක් වන බවත් ඔවුන් දන්නවා.

ඒ සති දෙක ගත වන තෙක් කාලෝස් ගෝමේස්, තමන් වැනිම තවත් අය දහස් ගණනක් සමග සරණාගත කඳවුරක් බවට තාවකාලිකව පත්වූ බැරටාල් නමැති මහල් කිහිපයකින් සමන්විත කොන්ක්‍රීට් ශාලාවේ සිරකරුවන් සේ ගාල් වී සිටිය යුතුයි. ඔවුන් පසුගිය සතියේ මෙහි ගෙන ආවේ ඔවුන් පෙර සිටි ක්‍රීඩා මධ්‍යස්ථානයට ගංවතුර ගැලීම නිසයි. ඒ සමගම සෞඛ්‍ය සේවකයන් සනීපාරක්ෂක ගැටළු සහ වසංගත තත්වයන් ගැන අනතුරු අඟවා තිබූ නිසා ඔවුන්ට මෙසේ අලුත් තැනකට එන්නට සිදුවී තිබුණා.

බැරටාල් මහල් ගොඩනැගිල්ලක්. ඔවුන් මීට පෙර මෙවැනි තැන්වල ජීවත් වී නැහැ. ඒ කොන්ක්‍රීට් බිත්ති අතර දරුවන්ගේ නිමක් නැති කෑ කෝ ගැසීම් දෝංකාර දෙනවා. පඩිපෙළවලින් දරුවන් පෙරළී පහළට වැටෙනවා. ඒ දරුවන්ට සිද්ධ වෙමින් පවතින දේ ගැන කිසිම හැඟීමක් නැහැ. ඔවුන් මේ ලෝකයේ අයුක්තිය, අසාධාරණය, කෘෘරකම් ගැන හසරක් නොදන්නා අහිංසකයන්.

මේ අතර වැඩිහිටියන් රළු සංවාදවල එකිනෙකා සමග පැටලිලා. ඔවුන්ට මේ ගාලගෝට්ටිය සහ තදබදය තුළ තමන්ට අයිති ඇඳුම්, බඩු භාණ්ඩ කිසිවක් පිළිවෙළට තබාගන්නට බැහැ. ඒවා සොයාගන්නටත් බැහැ. අත්‍යාවශ්‍ය නාන කාමර උපාංග ගෙන ආ ප්ලාස්ටික් බෑග් තුළ ඔවුන් විටෙක ඇඳ ඇතිරිලි හෝ වෙනත් ඇඳුම් කැඩුම් සොයනවා. කඳවුර නිස්කලංක රාත්‍රියට පමණයි.

31 හැවිරිදි ඩෙනිස් මෙහි ආවේ ග්වාතමාලාවේ සිටයි. මෙයට අවුරුදු කිහිපයකට කලින් ඔහුගේ මව ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගැනීමට සමත් වූ නිසා ඔහුට අනෙක් අයට වඩා වැඩි ආත්ම විශ්වාසයක් තිබුණා. ඇය සිය පුතුව ඇමරිකාවට ගෙන්වා ගන්නට උත්සාහ කරන්නේ දැනට අවුරුදු 2කට පමණ පෙර සිටයි. නමුත් ඒ අයදුම්පතට කුමක් සිදුවුණාදැයි ඔහු දන්නේ නැහැ. බාගවිට ඇගේ නීතීඥයා ඇයට වංචා කරනවා ඇති. අනාගතය අවිනිශ්චිත බව ඔහු දැන් දන්නවා.

ටිජුවානාවේ මර්ෆි පියතුමා දැන් වසර 5ක් තිස්සේ මෙවැනි කැරවෑන් සංක්‍රමණිකයන්ට උදව් කරනවා. මධ්‍යම ඇමරිකාව, අප්‍රිකාව සහ මැද පෙරදිග සිට පැමිණෙන සරණාගතයන්ට ඔහු සහ ඔහුගේ පිරිස හැකි පමණින් කැප වී සිටිනවා. පිරිසිදු කිරීමේ කාර්යයන්, ආහාර පාන යනාදිය හැකිතාක් සතුටුදායක අන්දමින් ලබාදෙන්නට ඔවුන් වෙහෙසෙනවා.

‘‘මේ අයට ඇමරිකානු පුරවැසිභාවය හෝ දේශපාලන රැකවරණය ලබාගැනීමේ ක්‍රියාවලියට කොපමණ කල් ගත වෙනවාද කියා අදහසක් නැහැ..“ මර්ෆි පියනම පවසනවා. ‘‘සමහරවිට ඔවුන්ගේ ඇමරිකානු සිහිනය, මෙක්සිකානු සිහිනයක් බවට පරිවර්තනය වේවි.. ඒකත් නරක නැහැ..“

මෙක්සිකෝවේ නව ජනපති ඇන්ඩ්‍රියස් මැනුවල් ලෝපේස් ඔබ්රඩෝර් (Andrés Manuel López Obrador) නොහොත් ‘අම්ලෝ‘ගේ කර මත මේ සංක්‍රමණිකයන්ගේ බරෙන් වැඩි කොසටක් රැඳී තිබෙනවා. ඇමරිකාව ඔවුන් භාරගැනීම දිගින් දිගටම මන්දගාමී කළොත් මෙක්සිකෝව ඔවුන්ව භාරගන්නවාද, අම්ලෝ ඔවුන් සම්බන්ධ ප්‍රතිපත්තිය තවම හෙළි කර නැහැ. නමුත් මේ කැරවෑන් සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් Women’s Refugee Commission වැනි සංවිධාන සහ ක්‍රියාධරයන් කැප වී සිටිනවා. ඔවුන් අම්ලෝට සැලකිය යුතු බලපෑමක් කරමින් සිටිනවා. අම්ලෝගේ නියෝජිතයන් පිරිසක් මර්ෆි පියනම මුණ ගැසෙන්නට පැමිණියා. අර්බුදය ගැන සත්‍ය කරුණු දැන ගැනීමට අම්ලෝට අවශ්‍ය වී ඇති බව ඔවුන් පවසා තිබෙනවා. එය හොඳ ලකුණක්.

මේ අතර අපේක්ෂා භංගත්වය නිසා නොසන්සුන් වූ ඇතැම් කැරවෑන් සංක්‍රමණිකයන් තවමත් ඇමරිකානු දේශසීමාව හරහා හොර රහසේ ඇමරිකාවට ඇතුල් වන්නට තැත් තරනවා. දේශසීමාවේ ට්‍රම්ප්ගේ අණ පරිදි යොදවා තිබෙන 5,000 කට අධික ආරක්ෂක භටයන්ගේ පහසු ගොදුරු බවට ඔවුන් පත් වෙනවා. මේ අතර, ට්‍රම්ප් පාලනය, දිනකට මේ දේශසීමාව හරහා ඇදී එන සංක්‍රමණිකයන්ගේ ගණන සීමා කරන්නට මේ භටයන් හරහාම නොයෙක් විවාදාත්මක උපක්‍රම දියත්කර තිබෙනවා. ටයිගර්ගේ තීන්දුව ප්‍රකාරව ඇමරිකාවට ඇතුල් වූ පසු ඕනෑම කෙනෙකුට දේශපාලන රැකවරණය ලබාදිය යුතුයි. නමුත් දැන් පවතින තත්වය අනුව දවසකට සිය දෙනෙකුට වඩා සැන් යිසිද්‍රෝ දේශසීමාව තුළින් ඇතුළට ගන්නේ නැහැ. සමහර දවසකට මේ ගණන 40කටත් අඩුයි.

‘‘මිනිස්සු මේ අවරෝධනය නිසා ළඟදීම මිය යන්න පටන් ගනීවි..“ කාන්තා සංක්‍රමණික කොමිසමේ අධ්‍යක්ෂවරිය මිෂෙල් බ්‍රේන් පවසනවා. ‘‘ඇමරිකානු ආණ්ඩුව මේ ගැටළුව විසඳීමට අවංක ලෙස කැප වන්නේ නැහැ. නිසි ක්‍රමවේදය වේගවත් කිරීමට ඔවුන්ට සැබෑ අවශ්‍යතාවයක් නැහැ. අඩුම වශයෙන් එසේ කරන්නට උත්සාහ කරන්නේවත් නැහැ..“

ඔව්, මිනිසුන් අවසානයේ මිය යන්නට පටන් ගනීවි. ආහාර, සනීපාරක්ෂාව, හිසට සෙවණක් වැනි මූලික අවශ්‍යතා ඉටු නොවන විට පමණක් නොවෙයි, බලාපොරොත්තුව අවසන් වූ විටත් මිනිසුන් මිය යන්නට පටන් ගන්නවා. ඒ මරණවලට ජීවිතවල අගයක් නොදන්නා, ජාතිවාදයෙන් අන්තවාදයෙන් හිස උදුම්මාගත් ට්‍රම්ප් වැනි පාලකයන් කිසි දිනෙක වගකියන එකක් නැහැ.

මූලාශ්‍රය – The Guardian



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි