පියකු සහ පුතෙකු අතර වන බැඳීම මවකගේ ඇසින් එහි විස්තර කර තිබේ. මේගන් විසින්, සිය සැමියා හැරී සහ පුතු ආචි පිළිබඳව ලියූ කවියක් මේ ළමා කතන්දර පොත ලිවීමට පසුබිම වී ඇතැයි දැනගන්නට ලැබී ඇත.
නූතන පවුල් සංස්ථාවේ, පිය-පුතු බැඳීම් දිගහැරෙන, වර්ධනය වන, ආදරය හටගන්නා පරිසරය, විවිධ හැඩ, පැති ඔස්සේ මේ ළමා පොතේ කතාන්දරය ගලායයි.
වයස අවුරුදු තුනේ සිට හත දක්වා ළමුන් වෙනුවෙන් රචනා වී ඇති ‘ද බෙන්ච්’ කෘතිය පිටු 40කින් සමන්විතය. රැන්ඩම් හවුස් ප්රකාශනයක් ලෙසින් පළකෙරෙන, මෙහි සිතුවම්, සම්මානලාභී චිත්ර ශිල්පිනියක වන ක්රිස්ටීන් රොබින්සන්ගෙනි.
ළමා කතාන්දර පොත ගැන අදහස් දක්වමින් මේගන් මෙසේ පවසයි.
“ආචි ඉපදිලා මාසයක් විතර ගෙවුණායින් පසුව උදා වුණු පියවරුන්ගේ දිනය දවසේ, පුතා ගැන මගේ සැමියාට ලියූ කවියක් තමයි ‘ද බෙන්ච්’ ලියන්න මුල් වුණේ. ඒ කවිය මේ කතාව බවට පත් වුණා. උණුසුම, සතුට, සුවපහසුව එක්ක පියෙකුත් පුතෙකුත් අතර බැඳීම වැඩෙන විදිය ක්රිස්ටීන් සුන්දර විදියට දිය සායම් සිත්තමින් වර්ණ ගැන්වුවා. මම හිතනවා මේ පොත හැම පවුලක් තුළ ම අනුනාද නංවාවි කියල, මාව වගේම”
රැන්ඩම් ප්රකාශන ආයතනයේ ප්රකාශිකාවක වන මැලෝරි මහත්මිය පැවසුවේ, මෙය කාලසීමා පරයා වලංගු වන, ඉදිරි පරම්පරා වෙනුවෙන් මිනිසුන් භාවිත කරනු ඇති පොතක් වියහැකි බවයි.
මෙම කෘතියේ ශ්රව්ය පිටපතක් ද එළිදැක්වීමට නියමිතව ඇති අතර, බෙන්ච් කෘතිය ජුනි මාසයේදී පාඨකයාට නිකුත් කෙරනු ඇත.
සිය දෙවන දරු ප්රසූතිය වෙනුවෙන් සූදානම් වෙමින් සිටින සසෙක්ස් ආදිපාදවරිය, ළමා කෘතියක් මගින් ලේඛිකාවකගේ භූමිකාවට පැමිණීම පිළිබඳව බොහෝ පිරිසක් සාධනීය ප්රතිචාර දක්වා ඇත.
ඩිල්ෂානි චතුරිකා දාබරේ