BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

සාගරය දූපත් ගිල ගනිමින් සිටියි

පෘථිවියෙහි විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින්නේ නිල් පැහැ මහා සාගරයයි. සංඛ්‍යාත්මක වශයෙන් කිවහොත් පෘථිවි භූමි ප්‍රමාණයෙන් 70%ක්ම වෙන්ව තිබෙන්නේ මහා මුහුදට ය.

එහි ඇති ජල ධාරිතාව ඝන කිලෝමීටර් 1, 335,0 00,000ක් තරම් යැයි විද්‍යාඥයෝ පවසති. ලොව ඇති සමස්ත ජල ප්‍රමාණයෙන් 97.2%ක් පමණ කරදිය බැව් කිවහොත් ඔබ සමහරවිට විශ්වාස නොකරනු ඇත. පානයට භාවිතයට ගත හැකි වන්නේ ලොව සමස්ත ජල ප්‍රමාණයෙන් කෙතරම් අල්පයක්ද යන්න සියල්ලටම පෙර අප වටහා ගත යුතුව ඇත. කෙසේ වුවත් මේ සා සුවිසල් සාගරය මිනිස් සංහතියට ලැබුණු අමිල සම්පතකි. ඒ වගේම අනෙක් පැත්තෙන් ලෝක කරදරයකි.

මහා මුහුද මිනිසාට මිල කරන්නට බැරි සම්පතක් වන්නේ ගමනාගමන, ධීවර ආදී අවශ්‍යතා ඉටු කරගැනීමට යෑමේදී ය. මුහුද තරම් මිනිසාගේ රසකාමී සිතුවිලි අවධි කළ අනෙක් ජල මූලාශ්‍රයක් මේ මිහිපිට නැතිවාට සැකයක් නැත. මිනිසා ජීවත් වන සොබා දහම ලස්සන කරන්නටත් මුහුද දායක වේ. ගොඩබිම පවත්නා වියළි කාලගුණ තත්ත්වයන් සමබර වන්නේ මුහුද නිසයි. එහෙත් සුනාමියක් ආ විට, මුහුද ගොඩ ගලන විට ඒ මහා මුහුදම අපට එපා වේ. එවිට මුහුද තරම් කරදරයක් මිනිසාට තවත් නැත. මහ මුහුදෙන් මිනිසාට හොඳක් හෝ නරකක් හෝ වන්නේ සාගර ජලයේ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන ය. වඩාත් නිශ්චිතවම කිවහොත් සාගර තරංග හෙවත් රළ මුල් කරගෙන ය.

සාගර රළ නිසා වෙරළ ඛාදනයත් සිදු වේ. සාගර රළ වේගයෙන් වෙරළේ වැදීම නිසා වෙරළ ඛාදනය වන්නට පටන් ගැනේ. එහි අදහස අනෙකක් නොව වෙරළ මඳින් මඳ මුහුදට සේදී යෑමයි. සුනාමි, වාසුළි සහිත කාලගුණ තත්ත්ව වගේම ඍතුමය සුළං නිසාත් වෙරළ ඛාදනය වේගවත් වේ. මේ හැරුණුවිට මිනිසාගේ බලපෑම් නිසාත් වෙරළ ඛාදනය ශීඝ්‍ර වී ඇති බව විද්‍යාඥයෝ පවසති. තාක්ෂණික දියුණුව එහිලා මුල් වේ. මිනිසා කාර්මීකරණයෙන් දියුණුවත්ම වායුගෝලයට විමෝචනය කෙරෙන අප වායූන් ප්‍රමාණය වැඩි වී ඇත. මේ අප වායූන් මඟින් සූර්යයාලෝකය අවශෝෂණය කෙරේ. එවිට පෘථිවියෙහි පාරිසරික උෂ්ණත්වය ඉහළ යයි. මේ තත්ත්වය වඩාත් අයහපත් ලෙස බලපාන්නේ හිම සහිත ධ්‍රැවාසන්න ප්‍රදේශවලටයි.

හිම තට්ටු වැඩිපුරම දැකිය හැකි වන්නේ පෘථිවියේ උත්තරාර්ධ ගෝලයේ සහ දක්ෂිණාර්ධ ගෝලයේය. උත්තරාර්ධ ගෝලයේ බොහෝ තැන්වල තිබෙන හිම තට්ටු ඝනකමින් වැඩිය. ඇතැම් තැනෙක මීටර 3ක් 4ක් ඝනකම් හිම තට්ටු තිබේ. එහි තවත් තැනෙක තිබෙන හිම තට්ටු මීටර 20ක් තරම් ඝනකම්ය. උත්තරාර්ධ ගෝලයේ වර්ග කිලෝමීටර මිලියන 9ත් 12ත් අතර ප්‍රදේශයක් පුරා හිම පැතිර ඇත. ග්‍රීන්ලන්තයෙහිත් විශාල ප්‍රදේශයක් පුරා හිම පැතිර තිබේ. එහි වර්ග කිලෝමීටර මිලියන 1.71ක සරියක් තුළ හිම ඝන කිලෝමීටර මිලියන 2.6කට ආසන්න ප්‍රමාණයක් ඇති බව සඳහන් වේ. මේ හැරුණුවිට දක්ෂිණාර්ධ ගෝලයෙහිත් බහුල වශයෙන් හිම දකින්නට පුළුවන. දක්ෂිණාර්ධ ගෝලයේ වර්ග කිලෝමීටර මිලියන 14.6ක භූමි භාගයක් හිමෙන් වැසි ඇත. ඝන කිලෝමීටර මිලියන 25ත් 30ත් අතර හිම ප්‍රමාණයක් එහි ඇති බව සඳහන් වේ. මේ හැරුණුවිට හිමාලය, අන්දීස්, රොකී, ඇල්ෆ්ස් ආදී සුවිසල් කඳු පද්ධති මත ද හිම තිබේ. මේ අනුව පෘථිවියෙහි කෙතරම් හිම ප්‍රමාණයක් පවතී ද යන්න සිතා ගත හැකිය.

පෘථිවි උෂ්ණත්වය ඉහළ යත්ම ධ්‍රැවාසන්න ප්‍රදේශවල මෙන්ම කඳු පද්ධති ආශ්‍රිතව ඇති එම මහා හිම තට්ටු දිය වී යන්නට පටන් ගැනේ. හිම තට්ටු දියවීමෙන් ඇතිවන ජල කඳ අවසානයේදී එකතු වන්නේ මුහුදටයි. මුහුදේ ජල ප්‍රමාණය වැඩි වන විට වෙරළ ඛාදනයත් වැඩි වේ. ඒ සමඟම එයටත් වඩා බරපතල තවත් ගැටළුවක් පැන නැඟේ. එනම් දුපත් රාජ්‍ය මුහුදේ ගිලී යෑමේ අවදානමක් මතු වීමයි. විද්‍යාඥයන් පවසන අන්දමට හිම දියවෙමින් මුහුදු මටම්ම ඉහළ යෑම 1880 වසරේ සිට නොනවත්වාම සිදුවෙමින් තිබේ. මිනිසාගේ ක්‍රියාකාරීත්වය සහ සොබා දහමේ ක්‍රියාකාරකම් හේතුවෙන්, වසරක් පාසා සාමාන්‍යයෙන් මිලිමීටර 2.6ත් මිලිමීටර 2.9ත් අතර ප්‍රමාණයකින් මුහුදු මට්ටම වැඩි වේ. ඉදිරි වසර 2000ක පමණ කාලයේදී පෘථිවි උෂ්ණත්වය ඉහළ යන සෑම සෙල්සියස් අංශක 2ක් සඳහාම මීටර 2.3 බැගින් මුහුදු මටම්ම ඉහළ යන බවට විද්‍යාඥයන් ගණන් බලා ඇත. මේ අනුව දූපත් රාජ්‍ය ගණනාවක් මුළු මනින්ම මුහුදු ජලයෙන් යට වී යනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවටත්, සාගර මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදෙන්නට පුළුවන්කමක් නැත. එහෙත් ශ්‍රී ලංකාවට වඩා අවදානම් තත්ත්වයේ පවතින දූපත් රාශියක් ඇත. ඉන් වඩාත්ම අවදානම් තත්ත්වයේ පවතින රාජ්‍ය කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේය.

1.කිරිබාති රාජ්‍ය

YOUTUBE

YOUTUBE

පැසිපික් සාගරයේ පිහිටි මේ රාජ්‍යය, වර්ග කිලෝමීටර 800ක් තරම් වන භූමියකින් සමන්විත ය. ඊට යටත් දූපත් සංඛ්‍යාව 33කි. ලක්ෂයකට ආසන්න පිරිසක් එහි ස්ථිරව වාසය කරති. දූපත් සමූහයේ උස ම ස්ථානයෙහි උස, මුහුදු මට්ටමේ සිට මීටර දෙකක් පමණ වේ. මේ නිසා කිරිබැටි රාජ්‍යයට තිබෙන බරපතළ ම තර්ජනය, මුහුදු මට්ටම ඉහළයෑමේදී එරට මුහුදු ජලයෙන් යට වී යාමේ තර්ජනයයි. දැනට මුහුදු මට්ටම ඉහළ යන ප්‍රවණතාව සැලකිල්ලට ගත්විට, තවත් වසර පනහකට ආසන්න කාලයක් ඇතුළත කිරිබැටි රාජ්‍යයට අයත් දූපත්වලින් වැඩි ප්‍රමාණයක් මුහුදු ජලයෙන් යට වී යනු ඇත. එවැනි තත්ත්වයක් මතු වූ විට, එම දූපත් කිසිවකුට වාසය කරන්නට බැරි ස්වභාවයකට පත් වේ.

2.මාලදිවයින

Kuoni

Kuoni

ඉන්දියන් සාගරයේ පිහිටි මාලදිවයින, දකුණු අසියාතික රාජ්‍යයක් වේ. එය වර්ග කිලෝමීටර 298ක පමණ භූමි සරියකින් යුක්ත ය. ඊට අයත් දූපත් සංඛ්‍යාව 1200 පමණ වන බව දැක්වේ. 393,500ක පමණ ජනගහනයක් වෙසෙන මේ රාජ්‍යය, ආසියාවේ ජනගහනය අඩු රටක් හැටියට නම් කර තිබේ. එමෙන් ම, එය ආසියාවේ පිහිටි කුඩාම රාජ්‍යයක් ද වේ. මාලදිවයිනේ සාමාන්‍ය භූමි මට්ටම, මුහුදු මට්ටමේ සිට මීටර 1.5ක් – එනම් අඩි 4 අඟල් 11ක් ලෙස සටහන් වේ.

ස්වාභාවික පරිසරයෙහි උස ම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 2.4ක් පමණ ඉහළින් පිහිටා තිබේ. මුහුදු මට්ටම ඉහළ යාමේ ශීඝ්‍රතාව ගැන සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ, ඊළඟ වසර තිහක කාලය තුළදී, මාලදිවයිනට අයත් දූපත් විශාල සංඛ්‍යාවක් මුහුදු ජලයෙන් යට වන බවකි. රටට මුහුණ දෙන්නට සිදුව ඇති ව්‍යසනය හේතුවෙන්, මාලදිවයින් බලධාරීහු 2019 වසරේ සිට සිය රට තුළ කාබන් විමෝචනය අවම කිරීමට පිඹුරුපත් සකසමින් සිටිති. මුහුදු මට්ටම ඉහළ යාමේ අවසනාවන්ත තත්ත්වයට මුහුණ දෙමින් ඇති මාලදිවයින, බරපතළ ලෙස මුහුදු ඛාදනයට ලක්වන රටක් හැටියට ද මේ වනවිට නම් කර ඇත. 2004 වසරේ දෙසැම්බරයේදී ඇතිවුණු සුනාමිය හේතුවෙන්, මාලදිවයිනට අයත් දූපත් 20ක් පමණ සදහටම අහිමි වුණු බව දැක්වේ.

මුහුදු මට්ටම ඉහළ යෑමෙන් මාලදිවයින් ජනයා සරණාගත තත්ත්වයට පත් විය හැකි බැවින් එයට විසඳුමක් සොයන්නට එරට දේශපාලනඥයන්ට දැන් සිටම සිදුව ඇත. ලොව වෙනත් රටකින් භූමියක් මිලදී ගැනීමේ අවශ්‍යතාවය එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් 2008 වසරේදී ප්‍රකාශ කළේ පළමුව කී තත්ත්වය හේතු කොටගෙන ය.

3.තුවාලු රාජ්‍ය

The Atlantic

The Atlantic

පැසිපික් සාගරයෙහි පිහිටි තුවාලු රාජ්‍යය, වර්ග කිලෝමීටර 26ක පමණ භූමි සරියකින් යුත් දූපත් රාජ්‍යයකි. ඊට අයත් දූපත් ගණන හයක් බව දැක්වේ. තුවාලු හි ජනගහනය ,10,640ක් පමණ වේ. පරිසර දූෂණය අවම රටක් හැටියට සැලකුණත්, තුවාලු රාජ්‍යයට ලෝකය පුරා සිදුවන පරිසර දූෂණය හේතුවෙන් පැනනැගීඟී ඇති මුහුදු මට්ටම ඉහළ යාමෙන් මිදෙන්නට මඟක් නැත. මුහුදු මට්ටම ඉහළ යාම එරටට තදින්ම දැනෙන්නේ, එරට සාමාන්‍ය උස, මුහුදු මට්ටමේ සිට මීටර දෙකට වඩා අඩුවෙන් පැවැතීම නිසා ය. “නියුලකිටා” යනුවෙන් හැඳින්වෙන ස්ථානය, එරට තුළ වැඩි ම උසක් ඇති ස්ථානය ලෙස සැලකේ. එකී ස්ථානය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 4.6ක් පමණ ඉහළිනි. විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, ඉදිරි වසර 30ත් 50ත් අතර කාල පරිච්ඡේදයේදී තුවාලු රාජ්‍යයට අයත් දූපත් මුහුදු ජලය අතරේ සැඟව යනු ඇත.

4.සොලමන් දූපත්

The San Diego Union-Tribune

The San Diego Union-Tribune

දකුණු පැසිපික් සාගරයෙහි ඔස්ට්‍රේලියාවට ඊශාන දෙසින් පිහිටා ඇති සොලමන් දූපත් රාජ්‍යයට අයත් දූපත් සංඛ්‍යාව, නව සියයකට අධික ය. එම දූපත්වලින් හයක් ප්‍රධාන දූපත් ගණයෙහිලා සැලකේ. ඉතිරි නව සියයකට අධික දූපත්, ප්‍රමාණයෙන් කුඩා ඒවා ය. වර්ග කිලෝමීටර 28,400කින් සමන්විත සොලමන් රාජ්‍යයේ ජනගහනය 6,42,000ක් පමණ වේ. මුහුදු මට්ටම වැඩිවීම සහ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය යන කාරණා සලකා බලන විට, සොලමන් දූපත් සමූහයට අයත් දූපත් 11කට අධික සංඛ්‍යාවක්, එළැඹෙන දශකයක පමණ කාලය තුළදී එරටට අහිමි වන බව කියැවේ.

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියා පර්යේෂකයෝ පිරිසක්, සොලමන් දූපත්වල වත්මන් භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූහ. ඔවුන් කියා සිටියේ, සොලමන් දූපත් සමූහයට අයත් දූපත් 33ක භූමි ප්‍රමාණ 1947ත්, 2014ත් අතර කාල පරිච්ඡේදයේදී වෙනස් වී ඇති බවකි.

5.සැමෝවා දූපත්

insideevs.com

88759935 – lalomanu beach with open huts called fales, south side of upolu island, samoa

වර්ග කිලෝමීටර 3000ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත සැමෝවා දූපත, දකුණු පැසිපික් සාගරයෙහි පිහිටි එකකි. එහි ජනගහනය 250,000ක් පමණ බව කියැවේ. මේ දූපත් රාජ්‍යයට අයත් දූපත් සංඛ්‍යාව හතකි. දූපත් සියල්ලක්ම වාගේ ඉතාමත් දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්වන බව පැවසේ. ඒ හැරුණු විට රට වටා තිබෙන කොරල් පර ද සමඟම, දූපත් මුහුදු ජලයෙහි නොපෙනී යා හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

විද්‍යාඥයන්ගේ මේ අනාවැකි පළ කිරීමත් සමඟම, සිය රටෙන් වායුගෝලය විමෝචනය කෙරෙන කාබන් ප්‍රමාණය අවම කිරීමට සැමෝවා බලධාරීහු පියවර ගත්හ. 2020 වනවිට වායුගෝලයට කාබන් මුදාහැරීම උදාසීන මට්ටමකට රැගෙන ඒම, එරට බලධාරීන්ගේ වත්මන් උත්සාහයයි. එනිසා, පුනර්ජනනී බලශක්ති ප්‍රභවවලින් බලශක්තිය උත්පාදනයට පියවර ගෙන ඇත. සැමෝවා හි ජනගහනයෙන් 98%කට අධික පිරිසක් විදුලි බල පහසුකම භුක්ති විඳිති. ඔවුන්ට අවශ්‍ය විදුලි බලය ජනනය කර ගන්නේ ඩීසල්වලිනි.

පුනර්ජනනී බලශක්ති ප්‍රභවවලට මාරුවීම තුළින්, වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය සෑහෙන පමණ කපා හැරීමට ඔවුන්ට හැකියාව ලැබේ. ඒ හැරුණු විට, ශාක මිලියනයක් රෝපණය කිරීමත් එරට වැසියන් අතින් මේ වනවිට සිදුවේ. මෙබඳු වැඩපිළිවෙළක් දියත් කළ ද, ගෝලීය කාලගුණ විපර්යාස නිසා ඇතිවන මුහුදු මට්ටම ඉහළ යාමේ තර්ජනයෙන් මිදී සිටීමට සැමෝවා රාජ්‍යයට අනාගතයේදී ඉඩක් ලැබෙන්නේ නැත.

6.නාවුර් රාජ්‍ය

bloomberght.com

වර්ග කිලෝමීටර 21ක පමණ භූමියකින් සමන්විත නාවුරු රාජ්‍යයේ ජනගහනය දස දහසකට මඳක් අධික ය. පැසිපික් සාගරයේ මධ්‍යයට වන්නට ස්ථාපිත නාවුරු දූපත, මේ සියවස අගභාගයේදී මුහුදේ ගිලී යනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහස ය. වසර 3000ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන නාවුරු රාජ්‍යයට, කවදත් ස්වභාවික ජලය හිඟ විණ. මේ නිසා, වැසි ජලය එකතු කර, ඒ මත යැපෙන්නට එහි වැසියන්ට සිදුව තිබේ. එයට හේතුව එරට පුරා නිතර නිතර දක්නට ලැබෙන නියං සහිත වියළි කාලගුණ තත්ත්වයයි. ජල හිඟය මකා ගැනෙන්නේ ලවණ ස්වභාවය ඉවත් කරන ලද කරදියෙනි.

7.ෆීජී දූපත්

Fiji Budget Vacations

Fiji Budget Vacations

දකුණු පැසිපික් සාගරයෙහි පිහිටා ඇති ෆීජී දූපත් රාජ්‍යයට අයත් දූපත් සංඛ්‍යාව 330ක පමණ වෙතැයි කියැවේ. මේ දූපත්වලින් 100ක පමණ ජනයා ජීවත් වෙති. වර්ග කිලෝමීටර 18,300කින් සමන්විත මේ රාජ්‍යයේ ජනගහනය, ලක්ෂ නවය ඉක්මවයි.

ෆීජී රාජ්‍යය මුළුමනින්ම වාගේ සාගරයට බිලිවන බව විද්‍යාඥයන් මේ වනවිට තහවුරු කරගෙන තිබේ. ඉතාමත් රමණීය රටක් වන ෆීජී රාජ්‍යය, මුහුදු මට්ටම ඉහළ යාමේ කටුක ඉරණමට ගොදුරුව දියබත් වීම, අසල්වැසි ප්‍රධාන රාජ්‍යවලට මෙන් ම, ලෝකයටම බරපතළ ප්‍රශ්නයක් වනු ඇත. එයට හේතුව මුහුදට බිලිවන සෙසු රාජ්‍යවලට සාපේක්ෂව එහි සිටින අධික ජනගහනය ඒ රටවලට බරක් වීම ය.

8.මාර්ෂල් දූපත්

DW

දූපත් විශාල සංඛ්‍යාවකින් සමන්විත රාජ්‍යයක් වුවත්, ඊට යටත් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 181ක් පමණ වේ. පැසිපික් සාගරයේ පිහිටි මේ දූපත් රාජ්‍යයේ ජනගහනය 53,000කට මඳක් වැඩි ය. මජුරෝ නගරය එරට අගනුවර ය. මේ නගරය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 3ක් පමණ ඉහළිනි. සාගර රළ සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ නැඟෙන බොහෝ අවස්ථාවවලදී, මජුරෝ නගරය මුහුදු ජලයෙන් යටවන බව වාර්තාවල දැක්වේ. ඉන් මිදෙන්නට අනුගමනය කළ හැකි කිසිදු තාක්ෂණයක් මේ රාජ්‍ය සතුව නැත. එනිසා බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, මාර්ෂල් දූපත මුහුදට බිලි වී , නැත්තටම නැති වී යාම මේ වනවිට ආරම්භ වී ඇති බවකි.

9. වනවාටු දූපත්

Air Vanuatu

Air Vanuatu

වර්ග කිලෝමීටර 12,000කට ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත වනවාටු රාජ්‍යයේ ජනගහනය ලක්ෂ තුනකට ආසන්න බව සඳහන් වේ. මේ සා ජනගහනයක් සිටින වනවාටු රාජ්‍යයට අයත් ඇතැම් දූපත්, වසරකට සෙන්ටිමීටරය බැගින් මුහුදු ජලයේ ගිලෙමින් තිබෙන බව ඇසුවහොත්, සමහරවිට ඔබ විශ්වාස නොකරනු ඇත.

10.සී ෂෙල්ස් දූපත්

ඉන්දියන් සාගරයේ පිහිටියාවූත්, අප්‍රිකා මහද්වීපයට අයත් වූත් සීෂෙල්ස් දූපත් සමූහය, දූපත් 115කින් පමණ සමන්විත ය. වර්ග කිලෝමීටර 459ක පමණ වර්ග ප්‍රමාණයකින් යුක්ත මේ දූපත් රාජ්‍යයේ ජනගහනය 92,000ක් තරම් බව දැක්වේ. සීෂෙල්ස් දූපත් සමූහයට අයත් දූපත්වලට අයත් බිම් පෙදෙසෙහි ඉහළින් ම පිහිටා ඇති ස්ථානය, මුහුදු මට්ටමේ සිට මීටර කිහිපයක් උසින් පිහිටා ඇති බව කියැවේ. මුහුදු මට්ටම මීටර දෙකකින් පමණ ඉහළ ගියහොත්, සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ ගුවන්තොටුපොළ මුළුමනින්ම ජලයෙන් යට වී යනු ඇත.

11. පලව්

බටහිර පැසිපික් සාගරයේ පිහිටි මේ දූපත් රාජ්‍යය වර්ග කිලෝමීටර 459කින් යුත් එකකි. එහි ජනගහනය 21,503ක් පමණ වේ. දුපත් 340කින් සමන්විතය. මේ රාජ්‍යය ආශ්‍රිත කොරල් පර ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා විනාශයට පත්ව ඇත. මුහුදු මට්ටම ඉහළ ගියහොත් පලව් රාජ්‍යයත් මුහුදේ ගිලී යනු නිසැකය.

මේ රාජ්‍ය කිහිපය පමණක් නොව ජපානය, එක්සත් රාජධානිය, අයර්ලන්තය, බංගලිදේශය, වියට්නාමය සහ නෙදර්ලන්තය ආදී රාජ්‍ය ගණනාවකට මුහුදු මට්ටම ඉහළ යෑම තර්ජනයක් වනු ඇත. කාලගුණය නරක අතට හැරීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් මිලියන ගණනින් සරණාගතයන් තත්ත්වයට පත්වනු ඇත.


ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

බ්‍රසීලයේ වම දකුණ පැටළේ

ලෙබනන් හා ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත් වන ලකුණු

error: Content is protected !!
error: Content is protected !!