×

අමිතාබ්ගේ පවුලම කොරෝනා පොසිටිව් වෙද්දී ‘මෙහෙම ගියොත් දිනකට කොරෝනා රෝගීන් ලක්ෂ 3 ක්‘! – ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

ඊයේ දිනයේ වාර්තා වූයේ සුපිරි සහ ප්‍රවීණ නළු අමිතාබ් භච්චන් ද කොවිඩ් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි.


ඔහුගේ පුත් අභිෂේක් භච්චන් ද පොසිටිව් තත්වයේ පසුවන බව සොයාගෙන ඇති අතර, මේ වන විට ඔහු ද රෝහල්ගත වී සිටියි. තවද අභිෂේක්ගේ බිරිඳ වන අයිශ්වර්යා රායි සහ ඔවුන්ගේ දියණිය වන ආරාධ්‍යා ද මේ වන විට පොසිටිව් තත්වයට පත්ව ඇති බව ඉන්ඩියා ටයිම්ස් ප්‍රකාශ කරයි.

එයට අනුව අයිශ්වර්යා සහ ආරාධ්‍යා පොසිටිව් තත්වයෙන් පසුවන බව දෙවැනි වෛද්‍ය වාර්තාවෙන් ද තහවුරු වූයේ යැයි සනාථ කර තිබෙන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිවරයා විසිනි.

මේ වන විට රෝහල්ගත ව සිටින අමිතාබ්-අභිෂේක් පිය පුතු දෙදෙනාට බරපතළ තත්වයක් නැති බවත් සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පවතින බවත් විදෙස් වාර්තාවල දැක්වේ. අමිතාබ් භච්චන් 77 හැවිරිදි වන අතර අභිෂේක් 44 හැවිරිදි වේ.

කෙසේ වෙතත් මේ පුවතත් සමග ඉන්දියාවේ බොහෝ පුද්ගලයන් රෝග පරීක්ෂා සිදුකරගන්නා බව ද දැකගත හැක. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා ද අද දිනයේ රෝග පරීක්ෂාවකට ලක් විය.

මේ අතර ලබන වසරේ ශීත සෘතුව වන විට ඉන්දියාවේ දිනකට ලක්ෂ 2.87 දෙනා බැගින් කෝවිඩ් වසංගතයට ගොදුරු වීමට ඉඩ ඇතැයි පර්යේෂකයන් විසින් අනතුරු අඟවා තිබේ.

ඒ, මේ වන විට ඔවුන් සතුව වසංගතය මැඬලීමට තරම් ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමේ තත්වය සලකා බලමිනි. මෙහිදී එන්නත් හෝ ඖෂධමය මැදිහත්වීම් නොමැති කම දිගින් දිගටම පැවතුණහොත්, කොවිඩ් වසංගතයට ගොදුරු වූ ලෝකයේ නරකම රට බවට 2021 ශීත සෘතුව අග වන විට ඉන්දියාව පත්වනු ඇත.

රෝග මර්දන ක්‍රමවේදයන්ගේ දුර්වලතාවය නිසා මේ අනුව 2021 වසර තුළදී ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් ගණනක් වාර්තා වන රටවල් 10 මෙම පර්යේෂණය මගින් ලැයිස්තුගත කර තිබේ.

ඒ,

1. ඉන්දියාව
2. ඇමරිකා එක්සත් ජනපදය
3. දකුණු අප්‍රිකාව
4. ඉරානය
5. ඉන්දුනීසියාව
6. එක්සත් රාජධානිය
7. නයිජීරියාව
8. තුර්කිය
9. ප්‍රංශය
10. ජර්මනිය

වශයෙනි.

මේ නවතම පුරෝකථනය ලබාදෙන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතය (MIT) විසින් ලෝකයේ රටවල් 84 ක කොවිඩ් මර්දන පහසුකම් සලකා බැලීමෙනි. ඒ සඳහා ඔවුන් විසින් dynamic epidemiological model යොදාගෙන ඇති අතර, Estimating the global spread of COVID-19 නමැති එම පර්යේෂණ වාර්තාව පසුගිය ජූනි 24 වැනිදා එළිදැක්විණි. එම පර්යේෂණය සිදුකිරීම සඳහා කිසිදු රටක්, සංවිධානයක් හෝ ආයතනයක් විසින් මුදල් ලබා දී නොමැති බව ද එම පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කර ඇත.
සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකාව මෙතැනින් කියවන්න.

https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3635047



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි