×

අවලස්සනම ගැහැණියක වූ ලස්සනම අම්මා!

ගැහැණිය සුන්දර වන්නට සිහින දකින්නී ය. කමනීය වන්නට, ප්‍රිය උපදවන්නට කැමැති ඈ, කැඩපතින් ඒ රූබර ශෝබනත්වය දකින්නට ප්‍රියැත්තී ය. මේරී ඈන් බෙවන් නම් වූ ඇය, ඊට වෙනස් එකියක නොවිණි. ලස්සන සුන්දර ගැහැණියක වී, ආදර කුටුම්භයක, සදාදර උණුසුමට පෙම් කල ඈ, ‘අවලස්සන්නම ගැහැණිය’ කියා කිරුළු පලන්නට සිහිනෙකිනිදු නොසිතන්නට ඇත. නමුත්, හිතවත, මේරි ඈන්ගේ දෛවය ලියැවී තිබුනේ […]


ගැහැණිය සුන්දර වන්නට සිහින දකින්නී ය. කමනීය වන්නට, ප්‍රිය උපදවන්නට කැමැති ඈ, කැඩපතින් ඒ රූබර ශෝබනත්වය දකින්නට ප්‍රියැත්තී ය. මේරී ඈන් බෙවන් නම් වූ ඇය, ඊට වෙනස් එකියක නොවිණි. ලස්සන සුන්දර ගැහැණියක වී, ආදර කුටුම්භයක, සදාදර උණුසුමට පෙම් කල ඈ, ‘අවලස්සන්නම ගැහැණිය’ කියා කිරුළු පලන්නට සිහිනෙකිනිදු නොසිතන්නට ඇත. නමුත්, හිතවත, මේරි ඈන්ගේ දෛවය ලියැවී තිබුනේ ඒ සරළ, සුන්දර අපේක්ෂා ඇගෙන් උදුරා ගන්නට ම ය!

ලන්ඩනයේ දරිද්‍රතාවයෙන් පීඩිතව ගිය ඉසව්වක, 1874 හී ඈ, මේරි ඈන් වෙබ්ස්ටර් නමින් උපත ලබා තිබිණි. ඈ හැරුනු කොට තවත් දරුවන් සතක් වූ පවුල නේක දුක් දෝමනස්සයන් විඳි බැව් කීම, 19 වන ශතවර්ෂයේ ලන්ඩනය පිළිබඳ අනේක කතන්දර කියවා ඇති ඔබට අරුමයක් නොවේ යැ දනිමි. ඈ ළමා කාලය දුප්පත් කමින් දුක්පත් විය. ඊට ම පිළියම් සෙවූ, හෘද සවි දිරිය දියණිය යන්තම් මුහුකුරා එත් ම, සිය දුගී පවුලට සවියක් ම වෙමි යැ සිතූයේ ලන්ඩනයේ රෝහලක සාත්තු සේවිකාවක් වී කුඩා සොච්චමක් උපයා, සිය පවුලේ දරීද්‍රීය අග සවි කොට තැබී ය.

කල් යත් ම, යෞවනයෙන් සුන්දරත්වයට පත් ඈ, ඇවතුමෙන් පැවතුමෙන් කෝළ සුරතල්, මෘදු එකියක විය. ජීවිතය සරි ආදරයෙන් පුදන්නට ආදරබර පිරිමි සෙවණක් සහ ඒ උන් ආදර සෙවණේ රැකෙන්නට, රැකී සෙනෙහසින් වැඩෙන්නට, දරු මල්ලන් පිරි, කුඩා පවුලක් පැතූ ඈ, ඒ ඔබ්බෙන් වූ සංකීර්ණත්වයක් නොපැතීය.

ඒ ප්‍රාර්ථනා මුදුන් පත් ව, විසි නව හැවිරිදි වියේදී, ඇයට තෝමස් බෙවන් මුණ ගැසිනි. මල් සාප්පු සේවකයෙකු වූ ඔහු ආදරබර ස්නේහවන්ත පුරුෂයෙකු වූයෙන් ඈ පැතූ ලෝකයෙන් අඩක් ඔහු හමු වී සම්පූර්ණ විය. 1903 හි දී උන් විවාපත් වූ අතර, එතැන් පටන් ඈ මේරි ඈන් බෙවන් නම් විය.

සන්තුෂ්ටි ලෝකය සම්පූර්ණ කරවමින් උන් දරුවන් සතරක් ලදි. කොල්ලන් දෙදෙනෙක් සහ කෙල්ලන් දෙදෙනෙක් වූයෙන් අම්මා ට ද, තාත්තාට ද, දැන් ඒ සරි සතුටක් තව නැත. සියල්ල මුලින් උදුරා දමමින්, අහෝ ඒ සුන්දර කුඩා ආදර නිවහනට, දෛවයේ රුදුරු අදුරැති සෙවනැල්ලක් වැටින! ඉන් සියලු කාරණා වෙනස් විය.

පළමුව පැමිණියේ උග්‍ර හිසරදයකි. ඉරුවාරදයකැ සිතූ මේරි එය දරා, ගෙදර වැඩ පළහි නියුතු විය ඉන් පසු දැඩි පේශීමය විඩාවක් හා අස්ථිමය වේදනාවක් පැමිණිනි.

මේරි ඈන් ට වෛද්‍යමය පිරික්සුමක් අවැස්සේය. ඒ සම්බන්ධව එකළ වූ වඩා හොඳ වෛද්‍ය පිළිවිසීමක්, නොඑසේ නම් විශේෂඥ පරීක්ෂාවක්, රෝග ලක්ෂණ විසින් මේරි රිදවා ඉල්ලා සිටීය. නමුත් ඊට උන් සතු සරි වත්කමක් නොවිණි. උපන් දා සිට නිදහස් සෞඛ්‍ය සේවයේ සෙවණ යට හුන් ඔබ, ඉතිහාසයයේ මේ දුක් දෝමනස්සයන් අත් නොවිඳින්නේ ය. හිතවතුනි එය මහා වාසනාවකි. මේරි ඈන් ඒ වාසනාව අත් නොවින්දා ය. වෛද්‍යවරයෙකු ගේ ඇස නොගැටී ම, දිනෙන් දින කාරණා උග්‍ර විය.

මේරි ගේ සුන්දර පෙනුම ටිකෙන් ටික වෙනස් වී යන බවක් පෙණිනි. සුකොමළ ගැහැණු වුවනත විකෘති කරවා හකුපාඩා විශාල වී, නිකට දීර්ඝනය විය. නාසය සහ කන් දිනෙන් දින වර්ධනය වන බවක් පෙණිනි. සම්පූර්ණ මුහුණම ප්‍රමාණයෙන් විශාල වී ගිය අතර හිස් කබල විකෘති ස්වරූපයකට ඇද විය. මුහුණෙහි සරි වෙනස්කම් ශරීරය පුරාම සිදුවිය. අතුල් සහ පතුල් ක්‍රමයෙන් විශාල විය. උරහිස් අතිශය පුළුල් විය. කල්යත්ම, මේරි ගේ ලලනාමය ස්වරූපය ඇගෙන් ඉදිරී ගොස් රළු පිරිමි ස්වරූපයක් ඉස්මතුව, ඈ තවදුරටත් පෙනුමෙන් ස්ත්‍රියක නොව, ස්ත්‍රී ඇදුම් ඇඳි අවලස්සන පිරිමියෙකු යැ පෙන්වන රූප විකෘතියක් ඉස්මතු විය.

මේරි ගේ දුක්ඛිත සිතැඟි කෙසේ වන්නට ඇති ද? අස්ථි විශාල වී, මාංශ පේශී ඇඹරී, ඛන්ඩරා ඇදී රිදවී වේදනා ගෙනදුන් ශාරීරික දුහ්ඛය පසෙකින් තබමු. ඇගෙන් දිනෙන් දින උදුරා දැමෙන, ඇයට ඈ හඳුනාගත නොහැකි වී යන රූප විපර්‍යාසයේ දුක්ඛී අවලස්සන ඈ ජීවත්වන සෑම ක්ෂුද්‍ර මොහොතක්ම දැවි දැවී රිදවන, මහා පාපී ගෝරණාඩුවක් ව ඈ වටා සැරිසරන්නට ඇති.

ඈ වේදනාව පරයා නැඟි මහා ලජ්ජා සිතුවිල්ලකින් වෙලී සිය ආදර සැමියා දෙස ශෝකී ව බලන්නට ඇති. කැඩපතින් ඈ දකින විරූපි විකාරය, හිමි දෙනෙත් අග ද දිසෙනා බව දත්තෙන්, ඒ අභිමුව ආදරය පළා යතියැ ඈ මහත් බිය ගන්නට ඇති. දරුවන් අම්මා කියා නොකියතැ ඈ නිස්කාරණව තැවෙන්නට ඇති. ශෝකී වේදනා ඈ සිතු රිදුවා, තළා පෙළා, අසරණ කොට, හැඬවුම් වාර සියක් දහසක් උපද්දවා, ඒ කඳුලේ ඈ බලාපොරොත්තු, පෙර කියූ ඒ පුංචි බලාපොරොත්තු, දිය කර හරින්නට ඇති.

නමුත් තෝමස්, ඔහු නොවේ එක් බිඳුවකින් හෝ වෙනස් වී ගියේ. ඒ ආදරයේ පුරුෂයා පෙර සිතැඟි පරයා ඇයට ආදරය කරන්නට විය. රැකවරණය සළසා දෙන්නට විය. කුදු මහත් සෑම කර්තව්‍යයේම ඈ ට සවියක්ව, ඈ සමඟින්ම හිඳ, ඈට පෙරටත් වැඩියෙන් ස්නේහවන්ත විය. ඒ සියල්ලට වැඩියෙන්, පෙර සේ ම, මේ මා ප්‍රිය බිරින්දෑ ය කියා, සාඩම්බරයෙන් අතින් අල්ලා, පෙර ගිය හැම ගමනක් බිමනක් ම ඈ හා දැනිදු යනෙන්නට විය. ඉතිහාසයේ වූ මහා ප්‍රේමවන්තයෝ නම් මේ ය! මහා ප්‍රේමවන්තයෝ කවි, ගී හී නොලියවී, ආදර කතා ජේද පිට ජේද වල නොරැදී, පුරාවෘත කතාන්දර රූප රාමුවක නොඉදී, කුඩා කුටුම්භ වල රැඳිණි.

නමුදු මේරි ඈන් බෙවන් තවදුරටත් අවාසනාවන්ත විය. ඒ ආදරයේ දුප්පත් ස්වාමියා අකාලයේ මිය ගියෙන් දරුවන් සතර දෙනෙකු සමඟින්, පැන්සයක් අතේ නැති ඈ හුදෙකලාව අසරණ විය.

සැමියා මියෙන්නට පෙර, බොහෝ කොට දුක් මහන්සි වී, පිළියෙල කරදුන් වෛද්‍ය පරීක්ෂණ, පිරික්සන හී ප්‍රතිඵල ඈ වෙත ලැබී තිබිණි. ඇයට මානව වර්ධක හෝමනයේ (growth hormone) අධිස්‍රාවය නොඑසේ නම් කූටවිකටය (Acromegaly)නම් අවාසනාවන්ත රෝගී තත්වය හටගෙන තිබිණි. ඊට කොයි ලෙසකින් හෝ එකළ ප්‍රතිකාර නොවිණි. ඉන් දෙකෙන් එකක් විසඳා ගත් මේරී, රෝගයේ සුවවීම පිලිබඳ වූ බලාපොරොත්තු අත් හැරියේ, ළමුන් ලොකු මහත් කොට ජීවිතය හැකි තාක් උන් වෙනුවෙන් ජීවත්වීමේ බලාපොරොත්තුවේ එල්බ ගත්තාය.

උන් රකින්නට රැකියාවක් කරනු තියා අසරණ ස්ත්‍රියට එලියට අඩි තබන්නට හෝ ඉඩක් නොලැබිණි. කොල්ලන්ගේ උසුලු විසුලුය; විසිල් පහරය. මිනිසුන්ගේ අප්‍රිය ඉපැද්දූ බැලුම් ය. ගැහැණුගේ කම්මුලට අත එසැවී ගිය ඇස් විශාල කරගත් බලා සිටීම් ය. ඈ ට ඒ ඉවසා දරාගත හැකිය. නමුත් ඈ ඒ ඉවසූ මුදු, කිසිදු රැකියාවක් ඈ අවලස්සන රූපය ඉවසා දරා සිටියේ නැත. රැකියා ඉල්ලා ගිය හැම තැනින් ම ඈ පන්නා දැමිණි. දරුවන් රකිනුයේ කෙසේ ද? අම්මා තැවිණි. ලතැවිණි. පෙර ලස්සන ඇස් අග කඳුලු පිරිණි; අවලස්සන කම්මුලක් ඔස්සේ ඒ උණුසුම් බිඳුවක් ගලාහැළිණි. නමුදු බොහෝ කඳුලැලි ගල් ගැසිනි. ඉන් මාතෘත්වයේ මහා විරියක් ඉපැදිනි. දරුවන් ඇස අග කඳුලක් නොරන්දමි. ඈ සිතට දිරි ගන්නට ඇති.

මේ අතර ලන්ඩනයේ ‘අවලස්සනම ගැහැණිය’ තේරීමේ තරගයක් පැවැත්වෙන්නට යතැයි ඇයට ආරංචි විය. දෙවරක් නොසිතූ ඈ, සාගින්නෙන් දැවුනු පොඩිවුන් වෙනුවෙන්, ඒ නින්දා සහගත තරගයට ඉදිරිපත් විය. ඈ ඉන් ප්‍රථම ස්ථානය ලබා ගති.

මොහොතකින් ඈ ලන්ඩනය දෙදරවා ප්‍රකට විය. ‘ස්ත්‍රී මුර්ගයා’ යන මැයෙන් ඈ පිළිබඳ බොහෝ තීරු ලිපි, විශේෂාංග ලිපි ලියැවිණි. මාධ්‍යකරුවෝ අසනීපයක් හේතුකොට රූපය වෙනස් වී ගිය, පෙර සුන්දර වූ මේ ස්ත්‍රියගේ, අවලස්සනෙහි ස්භාවය විස්තර පිට විස්තර කරමින් කාරණා උලුප්පා දක්වමින් ඒ කුණු රසය දිව ගෑ පාඨකයා වෙත ලියා තබන්නට විය. විරූපී ස්ත්‍රී මුර්ගයාට කාර්ටූන් ඇදිණි. සමච්චලයට ලක් කෙරිණි. පරිභව කෙරිණි.

මේරි ඉන් සැලී ගියේ නැත! ඈ සිය අවලස්සන සිය අවියම කරගන්නට විය. තරගයෙන් ජයගෙන ප්‍රකට වූ ඈ, ප්‍රසිද්ධ සන්දර්ශනයන් හී, වේදිකාවන් හී, සැණකෙලියන් හී, සිය අවලස්සන පෙන්වා, මුදලක් උපයා ගන්න ට විය. මුදල් ගෙවා අවලස්සන ස්ත්‍රිය බලන්නට මිනිසුන් පැමිණිනි. ඉන් උන් කිසියම් වූ ප්‍රහර්ෂය ලද බැව් පෙණිනි. 1920 වනවිට මේරි ගෙ අවලස්සනයේ කතාන්දරය ලන්ඩනය පසුකර එංගලන්තය පුරා පැතිරිණි. ඉන් එහා ඒ පුවත යුරෝපයටත්, ඇමෙරිකා එක්සත් ජනපදයටත්, සැනෙකින් සැලවිය.

මේරි ඈන් බෙවන් වෙත ඇමෙරිකාවට පැමිණෙන මෙන් ආරාධනා ලැබිණි. ඒ කෝනිඅයිලන්ඩ් හී ‘Dreamland’ නම් සුප්‍රකට තේමා උද්‍යානයේ හිමිකරු වූ සෑම් ගම්පෙට්ෂ් ගෙනි. ඈ දරුවන් සිව් දෙනාම ගෙන එහි ලඟා විය. ඇයට එහි නිත්‍ය රැකියාවක් හිමි විය.

ඒ රැකියාව නින්දා සහගත ලෙස සරළය. ඇයට තිබුනේ දහසක් වූ ප්‍රේක්ෂකයින් මැද නිවේදකයෙකු විසින් ඈ ගේ අවලස්සන අරඹයා සිදුකරන, විහිළු තහලු, උසුලු විසුලු සහ කවට සරදම් මෙන් ම, ලැජ්ජා සහගත ප්‍රකාශ දරාගනිමින් තව තවත් තම අවලස්සන විදහා පෑමය. විසුළු මූණු මවා පෑමය. සිනහවට කාරණයක් වී පය අද්දා ගමන් කිරීමය. ඒ කරන ඈ, අතිශය නින්දිතාකාරයක විසුලු ඇදුමෙන් සරසවා තිබිණි. හිතවත, මේ සියල්ල ඈ සිනහවකින් දරා ගත්තා ය. ඉන් මුදලක් උපයා ගත්තා ය. ඒ තම දරුවන් වෙනුවෙන් කැප කලා ය.

ඒ මේරි නම් වූ අම්මා ය; මේරි නම් වූ ලස්සන අම්මා ය!!

ඈ හා සම තවත් මිනිසුන් එම සන්දර්ශනයේ විය. ඒ අතර රැවුල් වැවීගත් කන්තාවක, අතිශය මිටි මිනිසෙකු, බද්ධ නිවුන්දෙදරුවෙකු, යෝධ සිරුරැති පිරිමියෙකු ආදි නොයෙකුත් උන් විය. ඒ සැම උපතින් කිසියම් අඩුවක් ලදව ඉපිද ඒ පවට, සිනාහවෙහි මූලයක් වී, පව් ගෙවනා මිනිස් ජීවිත විය. ඒ අතර අපේ මේරි ද විය. අහෝ ඈ ඊට යන්තම් දශක එකහමාරකට පෙර සම්පූර්ණ සාමාන්‍ය ජීවිතයක් ගෙවූ, සැමියෙකුගේ ආදර ස්නේහයෙන් සුරතල් වූ සුන්දර ගැහැණියක බව ඔබට තව මතකද? ඈ විරූපීත්වය දැක ගන්නට ආ සෙනඟ අතරත ආදරණීය යුවළක් දැක, ඇයට උන්ගේ අතීත ආදර මතක, මතක් වී ගියේ දැ කියන්නට නොදනිමි. බාග දා, ඒ වන විටත් ඈ හැඟීම් ගල් ගැසී දෘඩව ගිය, හුදු අවට අසංවේදීත්වයේ කඩතුරාවකට මුවාවී ගත්, නිද්‍රා සන්‍යාසයකට සම වැද සිටින්නට ඇත!

ඈ කාටවත් අත නොපා දරුවන් උස් මහත් කොට, උගන්වා, සන්තුෂ්ටියේ ඵල නෙලා ගති. පුතුන් සහ දුව දෙදෙනා සමඟ ඇය සිටිනා එක් ජායාරූපයක් වෙයි. එහි ඒ දරුවන් ලස්සනට හැඳ පැලඳ සිටී. පෘෂ්ඨිමත්ව වැඩී සිටිනු පෙනෙන්නට තිබේ. ඒ ඇගේ මව් සෙනෙහස් අරගලයේ සාක්ෂ්‍ය වේ. සියක් දහසක් මිනිසුන්ගේ සිනහාපාසය මැද ඈ ඉපැයූ සාධරණ මුදලෙහි ඉපැයුම වේ. දරු සතර වෙනුවෙන් ඈ ඇගේ ගෞරවයේ, ආඩම්බරයේ, ආත්මාභිමානයේ මිල ගෙවී ය. නමුත් ඒ සතුටිනි. හෘද පුරෝගත් සතුටිනි. මන්ද ඈ එක් සුන්දර අම්මා කෙනෙකු වූ බැවිනි.

ඇක්‍රොමෙගලියේ සංකූලතාවයන්ට ගොදුරුව ඈ 1933 හි දී, සිය සුන්දර දිවි සැරියට සමුදුනි. ඒ වනවිට ඈ පනස්නව හැවිරිදි විය. ඇගේ අවසාන ඉල්ලීම ලෙස ඈ අවසන් කටයුතු ඈ මව් රට වූ එංගලන්තයේදී සිදු කරන්නට දරුවන් වගබලා ගති. ඉන් එහා ඒ දරුවන් පිළිබඳ කාරණා අප්‍රකටය. උන් ඈ මවගේ මහා උත්සහයට, වඩා උපරිම සාධාරණයක් ඉටු කොට සුන්දර ජීවිත හතරක් ගෙවන්නට ඇතැයි සිතන්නට කැමැත්තෙමි. ඒ එසේ ම වන්නට, මේරි නම් වූ ඒ අම්මා ද ප්‍රාර්ථනා කරන්නට ඇත.

මේරි ඈන් බෙවන් කියූ විට ඒ හා බැඳී ගිය ආදරබර සැමියෙකු හමු වේ. ඒ ආදරය සෑම ස්වාමිපුරුෂයෙකුගේ ම සිත හිරිවට්ටන තරමට ම ප්‍රබල ය. අති මහත් ය. ගෞරවනීය ය. බිරිඳකට ඒ මහා ආදරය වාසනාවකි. මේරි, එනයින් ඔබ වාසනාවන්තියක විය.

මේරි ඈන් බෙවන් කියූ විට සිත සවි දිරිය ගැහැණියක හමුවේ. ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන්ව ගිය කල, සිතදිරිය ඉතිරි කරගන්නට පහසුවකින් නොහැක්කේය. ඊට මහා ධෛර්යයක් තිබිය යුතු ය. මේරි, එනයින් ඔබ දිරිය වන්තියක විය.

මේරි ඈන් බෙවන් කියූ විට, මට අම්මා කෙනෙකු හමුවේ. ඒ අම්මා, උන් අවලස්සනය කියූ විට කඳුලක් නොහෙලා සිනහවක් පෑවා ය. නින්දිතම විසිලුවට, ගොරහැඩිම අපහාසයට, හිස නමා ස්තූතියි කියා කීවා ය. ගර්වය උගසට තබා, සොච්චමක් උපයා, සන්දර්ශනය අවසානයේ අම්මා වේදිකාවෙන් බැස ගියා ය. ඒ ඇගේ සාගිනියැති දරුවන් වෙතය. ‘අම්මා’ කියා උන් අමතන හඬ, අම්මේ, සන්දර්ශනයේ මහා ගෝරනාඩුව පරයා ඔබට ඇසුණා නොවෙද? ඉතිං එතකොට, සකල ලෝකයම, ඔබ පාමුලැති අබැටක් නොවෙ ද අම්මේ? මේරි, එනයින්, ඉතිහාසය කෙසේ ලීවද ඔබ සුන්දරම අම්මා කෙනෙකු විය!

මේරි ඈන් බෙවන් නම් එක් මෑණියක ගේ ආදරණීය කතාව, සියලුම ආදර අම්මාවරුන් ට, උපහාරයක් ම වන්න ට, ඉතිං ලියා තබනෙමි.

අම්මේ, ඔබ තරම් සුන්දර තවෙකෙක් නැත්තේය!!!

ඓතිහාසික ජායාරූප නොසැලෙයි පිටුවෙනි,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි