×

ඉතියෝපියාවේ ‘මායි-කද්රා‘ වාර්ගික සංහාරය සිවිල් වැසියන් 600 කට වඩා බිලි ගනියි – නොබෙල් සාම ත්‍යාගය දිනූ අගමැති ඒකාධිපති යුධකාමියෙකු බවට !

උතුරුදිග ඉතියෝපියාවේ මායි-කද්රා හි නොවැම්බර් 9 වැනිදා සිදුවූ සමූල ඝාතනයෙන් සිවිල් වැසියන් 600 දෙනෙකුට වඩා ඝාතනය කර ඇති බව තහවුරු වේ.


ඉතියෝපියාවේ ‘මායි-කද්රා‘ වාර්ගික සංහාරය සිවිල් වැසියන් 600 කට වඩා බිලි ගනියි

උතුරුදිග ඉතියෝපියාවේ මායි-කද්රා හි නොවැම්බර් 9 වැනිදා සිදුවූ සමූල ඝාතනයෙන් සිවිල් වැසියන් 600 දෙනෙකුට වඩා ඝාතනය කර ඇති බව තහවුරු වේ.

මේ බව හෙළි කරන්නේ EHRC හෙවත් ඉතියෝපියානු මානව හිමිකම් කොමිෂන් සභාවයි.

ඒ අනුව ඉතියෝපියාවේ මේ වන විට පවතින සන්නද්ධ අරගලයෙන් ඉතියෝපියානු හමුදාව (ඉතියෝපියානු ආරක්ෂක බලකාය) හි ප්‍රහාරයට ලක් වන්නට පෙර මේ පිරිස ඝාතනය කර තිබෙන්නේ දේශීය ටිග්රේයන් මිලීෂියා භටයන් සහ පොලිසිය විසිනි. ඔවුන්ගේ සහයෝගය සහ අනුදැනුම මත ප්‍රාදේශීයව පිහිටා තිබෙන ‘සමාරි‘ නමැති තරුණ මිලිෂියා කණ්ඩායමක් ද මෙයට හවුල් වී ඇති බව පවසයි. මායි-කද්රාව පිහිටා තිබෙන්නේ ද ටිග්රේයි පළාතේ ය.

මෙම ඝාතනයන් ‘යුධ අපරාධ‘ සහ ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ‘ ගණයට අයත් වන බව ද EHRC පවසයි.

තමන් උපන් වාර්ගිකත්වයට මිස කිසිදු වරදක් මෙම සිවිල් වැසියන් විසින් සිදු කර නැති බව ද EHRC වැඩිදුරටත් පවසයි.

පිහි, කැති, මන්නා පිහි සහ ලණු සමග ගෙයක් ගෙයක් ගානේ යමින් මේ සංහාරය සිදුකර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. ඝාතනයන් සිදුකර තිබෙන්නේ කපා දැමීම හෝ ගෙළ සිරකිරීම් මගින් බව ද ඇසින් දුටු සාක්ෂිවලින් සනාථ වේ.

ඉතියෝපියාවෙන් සුඩානයට

නොවැම්බර් 5 වැනිදා සන්නද්ධ ගැටුම් ආරම්භ වීමෙන් පසුව 4000කට අධික පිරිසක් දිනපතාම ඉතියෝපියාවේ සිට සුඩානයට පැමිණෙමින් සිටිති.

මෙම සන්නද්ධ ගැටුම් ආරම්භ වුණේ ඉතියෝපියානු අගමැති අබී අහ්මද් විසින් සිය රටේ උතුරට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය. ඉතියෝපියාවේ උතුරු පළාතේ පිහිටා ඇති පළාත් ආණ්ඩුවට ඔහු පහර දීමට නියෝග කළේ උතුරු පළාතේ පිහිටා තිබෙන මධ්‍යම ආණ්ඩුවේ හමුදා මුරපොළවලට ටිග්රේයන් මිලීෂියාව පහර දීමට එකට එක කිරීමක් ලෙස ය.

එතැන් පටන් දෙපාර්ශවයම සාහසික ක්‍රියාවන් සිදුකරන බවට එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිති.

විශ්වාස කෙරෙන්නේ මේ වන විට සිවිල් වැසියන් දහස් ගණනක් ගැටුම් නිසා මිය ගොස් ඇති බවයි. දස දහස් සංඛ්‍යාත දෙනා අවතැන් වී ඇත.

මායි කර්දා හි සිදුවු සංහාරය පිළිබඳ මුල්වරට අනාවරණය කළේ ඇම්නේස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා) මානව හිමිකම් සංවිධානය විසින් සංහාරයෙන් දින 3කට පසුව ය. නොවැම්බර් 14 වැනිදා ඉතියෝපියානු මානව හිමිකම් කොමිසම දින 5 ක හදිසි විමර්ශනයක් මේ සම්බන්ධව පැවැත්වීය.

නොබෙල් සාම ත්‍යාග ලාභී ඉතියෝපියානු අගමැති

නොබෙල් ත්‍යාගය ලබා

2018 වසරේදී අබී අහමද් ඉතියෝපියාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වන විට එය සැලකුණේ ඉතියෝපියාව අප්‍රිකානු කලාපයේ දිදුලන රටක් බවට පත් වීමේ ලකුණක් ලෙස ය.

අසල්වැසි එරිත්‍රියාව සමග පැවති දීර්ඝකාලීන දේශසීමා අරගලය නිමා කරමින් ජාත්‍යන්තර සාමය වෙනුවෙන් දැක්වූ දායකත්වය සඳහා ඉතියෝපියානු අගමැතිවරයා, ඊළඟ වසරේ එනම් 2019 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.

නමුත් ඔහුගේ පාලනය යටතේ එයින් වසරකට පසුව රට යුද බිමක් බවට පත් ව තිබේ. මේ වන විට අබී අහමද් කියා තිබෙන්නේ‘ඉතියෝපියානු ජාතික ආරක්ෂක බලකාය‘ මේ යුද්ධයේ තුන්වැනි සහ අවසාන අදියර වෙනුවෙන් ක්‍රියාත්මක වන බවයි.

පසුගිය ඉරිදා දිනයේ මේ නොබෙල් සාම ත්‍යාගලාභියා, TPLF හෙවත් ටිග්රේ ජනතා විමුක්ති පෙරමුණට ආයුධ බිම තැබීම සඳහා පැය 72 ක කාලයක් ලබාදුන් අතර, එය මේ වන විට අවසන් වී තිබේ.

ඔහු මේ වන විට පවසා තිබෙන්නේ උතුරුදිග මෙකේලේ නගරයට බෝම්බ දමන බවයි. එය, මිලියන භාගයක ජනගහනයක් ජීවත් වන නගරයකි. මේ සතියේ අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස් වුණේ ද මේ අර්බුදය හේතුවෙනි. ඔවුන් තරයේ කියා සිටියේ මෙකේලේ නගරයට බෝම්බ දැමුවහොත් එය ‘යුධ අපරාධයක්‘ බවට පත්වනු ඇති බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ඉතියෝපියාවේ නායකයන්ගෙන් අයැද සිටියේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ය.

බැබළීම නතර වූ අගමැති

2020 සැප්තැම්බර් මාසයේදී පොලිටිකෝ වෙබ් අඩවියට ලිපියක් ලියන  SIMON MARKS පවසන්නේ ධුරයේ පළමු වර්ෂය තුළදීම අබී අහමද් ඒකාධිපති පාලනයක් වෙත සිය ආණ්ඩුක්‍රමය මාරු කරමින් (විතැන් කරමින්) සිටින බවයි.

‘‘පසුගිය වසරේදී ඉතියෝපියාවේ අගමැති අබී අහමද් ඔස්ලෝ නගර ශාලාවේ සිටගෙන සිටයේ නොබෙල් සාම ත්‍යාගය ලබාගැනීමට සහ අන්තර්ජාතික ප්‍රශංසාවන්ගේ වර්ෂාවකින් තෙමීමට ය. එරිත්‍රියාව සමග සාම කතා ඇරඹීමට සහ දශක ගණනක දේශපාලනික හා ආර්ථික මර්දනයකින් පසුව සිය රට ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු ගන්නා උත්සාහය ගෝලීය පිළිගැනීමක් ලැබුවේය.

එයින් වසරකට පසුව අගැමතිවරයා සිය රට තුළ සාමය ස්ථාපිත කිරීමට අසමත් වීම මගින් ඔහුගේ අන්තර්ජාතික කීර්තිධර ප්‍රතිරූපය විනාශ වීමේ අවදානමක් පවතින අතර, ඉතියෝපියාවේ ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමී ලෙස සංක්‍රාන්තියකට ලක් කිරීමට ඔහුට ඇති හැකියාව ද අභියෝගයට ලක්ව තිබේ.

2018 වසරේදී බලයට පැමිණි දා පටන් අබී විපුල බලාාපොරොත්තු සහිත ප්‍රතිසංස්කරණ විභවයක් අපේක්ෂා කළ අතර, වරෙක ඉබියතුරු දැමූ ආර්තිකයක් සහ පාලිත සංස්කෘතියක් සහිත ඉතියෝපියාව ලෝකයට විවර කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට අදහස් කළේය. දහස් ගණන් දේශපාලන සිරකරුවන් නිදහස් කෙරිණි. තහනම් කළ පක්ෂවලට ලියාපදිංචිය ලබාගැනීමට ඉඩ සැලසිණි. ටෙලිකොම් අංශය ලිබරල්කරණය කිරීමටත් ඩිජිටල් ආයෝජන වැඩිකිරීමටත් නීති සම්මත කෙරිණි.

නමුත් නොබෙල් ත්‍යාගය දිනා වසරක් ඇතුළත සිය ගණනක් ඉතියෝපියානුවන් එක්කෝ ආරක්ෂක අංශවල අතින්, එසේත් නැතිනම් ඉතියෝපියාවේ විවිධ වාර්ගික කණ්ඩායම් අතර හටගත් ප්‍රචණ්ඩත්වයන් විසින් ඝාතනයට ලක් විණි.

ආණ්ඩු විරෝධී උදඝෝෂකයන්, විරුද්ධ පාක්ෂික ආධාරකරුවන් සහ දේශපාලකයන් දහස් ගණනක් අත්අඩංගුවට පත් විණි. ඒ, මධ්‍යම ආණ්ඩුවේ බලය විමධ්‍යගත කළ යුතු බව කියමින් ඔවුන් ඉල්ලා සිටි අයිතිවාසිකම් වලට එරෙහිව ය…‘‘

නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරන නෝර්වීජියානු නොබෙල් කමිටුව, ඉතිහාසයේ කෙදිනකවත් මෙතරම් අසරණ වී නැත. දැන් ජගත් සංවිධානය, යුරෝපා කොමිසම, යුරෝපා සංගමය ඇතුළු ලෝක බලවතුන්ට සිදුව තිබෙන්නේ මේ නොබෙල් සාම ත්‍යාග ලාභියාගෙන්, ඉතියෝපියාවේ සිවිල් ජීවිත බේරාගන්නා මගක් සොයන්නට ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි