×

ඉන්ටපෝල් මුල් පුටුව දකුණු කොරියාවට. රුසියාවේ සිහිනය බිඳ වැටෙයි.

ඉන්ටපෝල් මුල් පුටුවට පත් වනු ඇතැයි රුසියානු ජනාධිපති පුටින් විසින් ද මහත් බලාපොරොත්තු තබාගෙන සිටි රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ප්‍රකොප්චුක්ගේ බලාපොරොත්තු සුන් විය.


ඒ, දකුණු කොරියාවේ කිම් ජොන්ග් යැන් (Kim Jong Yang) නව ඉන්ටපෝල් ප්‍රධානියා වශයෙන් පත් කිරීමත් සමග ය.

කිම් ජොන්ග් යැන් පත්කර තිබෙන්නේ වසර 2 ක කාලයක් සඳහා ය.

ඉන්ටපෝල් සංවිධානය විසින් Breaking News යනුවෙන් පළ කළ ට්වීටයක මේ බව සඳහන් වේ.

නව (වැඩ බලන) ප්‍රධානියා පත් කර ගැනීම සඳහා අදාළ ඡන්ද විමසීම ඩුබායි හි පැවති 87 වැනි ඉන්ටපෝල් මහ සභාවේදී අද දිනයේ සිදුකෙරිණි.

මීට පෙර පළ වූ පුවත්වලින් කියැවුණේ ඉන්ටපෝල් වැනි ජාත්‍යන්තර සංවිධානයක ප්‍රධානියා වශයෙන් රුසියානු ජාතිකයෙකු පත් වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් ඇමරිකානු සෙනෙට් සභාවේ අවධානය යොමු වී ඇති බවයි. ඒ අනුව ඇමරිකානු සෙනෙට් සභාවේ දෙපක්ෂයේම මන්ත්‍රීවරුන් විසින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත විවෘත ලිපියක් ලියුවේ රුසියාවේ ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් නව ඉන්ටපෝල් ප්‍රධානියා බවට පත්කිරීම වළක්වා ගැනීම සඳහා මහ සභා සාමාජිකයන්ට බල කරන ලෙස ඉල්ලා සිටිමිනි.

මෙම ලිපිය, ඇමරිකාව විසින් ඉන්ටපෝල් ඡන්ද විමසීමට මැදිහත් වන්නේ සහ එය අවුල් කරන්නේ කෙසේද යන්න ගැන කදිම උදාහරණයක් යැයි පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්, විවේචනයක් ද කර ඇත.

ඉන්ටපෝල් සංවිධානයට මෙසේ නව ප්‍රධානියෙක් පත් කර ගැනීමට සිදුවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ පටන් මෙන්ග් හොන්ග්වෙයි නම්වූ ඉන්ටපෝල් ප්‍රධානියා චීනය විසින් රඳවා තබාගැනීමත් සමග ය. චීන ජාතිකයෙකු වන මෙන්ග් හොන්වෙයි, මව්රටට ගිය ගමනකදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දූෂණ චෝදනා නගමිනි. එයින් අනතුරුව ඉන්ටපෝල් සංවිධානය ද මෙන්ග් හොන්වෙයි ව එම තනතුරෙන් ඉවත් කළ බව නිවේදනය කළේය.

1923 වසරේ පිහිටවූ ඉන්ටපෝල් සංවිධානය, ලෝකයේ විශාලතම පොලිස් සංවිධානය වන අතර, අන්තර්ජාතික පොලිසිය යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙයයි. සාමාජික රාජ්‍යයන් වෙත අපරාධකරුවන් පිටුවහල් කිරීම, බුද්ධි අංශ මෙහෙයුම් යනාදී විශාල වැඩ කොටසක් ඉන්ටපෝල් සංවිධානය විසින් සිදුකරනු ලබයි. එහි මූලස්ථානය ප්‍රංශයේ ලියොන් නගරයේ පිහිටා ඇති අතර ලෝකයේ රටවල් 194 ක් එහි සාමාජිකයන් ය. ශ්‍රී ලංකාව ද එහි සාමාජික රාජ්‍යයන් අතර වේ. ඉන්ටපෝල් හි සාමාජික රාජ්‍යයන් 194 ක් සිටින අතර, ශ්‍රී ලංකාව ද එහි එක් සාමාජිකයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි