×

ඉන්දියාව, මහ රෑ හමුදා ගුවන් යානයකින් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සිවිල්වැසියන් මුදා ගත් හැටි

ඉන්දු පාකිස්ථාන විරසකය මැද ඇෆ්ගනිස්ථානයේ සිටි ඉන්දියානුවන්ගේ ඉරණම


කාබුල් අගනුවර ඉන්දියානු තානාපති කාර්යාලයේ සේවය කළ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සහ ඉන්දියානු සිවිල් වැසියන්,  ඊයේ මධ්‍යම රාත්‍රියේ හමුදා ගුවන් යානයක් මගින් මුදාගෙන තිබේ. මෙම අවස්ථාව පිළිබඳ ද ගාඩියන් පුවත් සේවය විශේෂ වාර්තාවක් ගෙන එයි. පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

* * *

සටනක් නැති යටත්වීමක්

කාබුල් නුවර ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට මැෂින් තුවක්කු සහ ග්‍රෙනේඩ් ලෝන්චර සහිතව තලෙයිබාන් සටන්කරුවෝ බලා සිටියහ.

තානාපති කාර්යාල සංකීර්ණය තුළ ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සිවිල් වැසියන් 150 දෙනෙක් පමණ රැඳී සිටියේ තලෙයිබාන් සංවිධානය විසින් කාබුල් අගනුවර ග්‍රහණය තීව්‍ර කරන අන්දම ප්‍රවෘත්තිවලින් නරඹමිනි. ඔවුන් කාබුල් අගනුවර එයට පෙර දිනයේ අල්ලා ගත්තේ සටනකින් තොරව ය.

ඉන්දු-පාකිස්ථාන විරසකය

පාකිස්ථානය තලෙයිබාන් සංවිධානයේ විශාලතම ආධාරකරුවා විය. පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානය දීර්ඝ කාලයක් මුළුල්ලේ ඊනියා ක්‍රමෝපායික සටන් සඳහාත්, රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් පසමිතුරු ඉන්දියාවට තර්ජනයක් එල්ල කරමින් පාවිච්චි කර තිබිණි.

මේ අතර, ඉන්දියාව, තලෙයිබාන් සංවිධානය පළවා හැරීමෙන් පසු වසර 20කට පෙර පිහිටුවාගත් ඇෆ්ගන් ආණ්ඩුවට ප්‍රබල ලෙස සහයෝගය ලබාදුන්නේ, දැඩිමතධාරී ඉස්ලාමීය කණ්ඩායමේ වෛරයට පාත්‍ර වෙමිනි.

නමුත් ඉන්දියානු තානාපති කාර්යාලය අවට රැඳී සිටි තලෙයිබාන් සටන්කරුවන් පළිගැනීමට ඉක්මන් වන බවක් පෙනෙන්නට නොතිබුණු අතර, ඒ වෙනුවට එම පිරිස කාබුල් ගුවන්තොටුපොළ වෙත රැගෙන ගියහ. ඔවුන් එන තෙක් එහි හමුදා ගුවන් යානාවක් නතර කර තිබිණි.

නවදිල්ලිය, මේ කණ්ඩායම ඉවත් කර ගැනීමත් සමග, ඇෆ්ගනිස්ථානය තුළ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම සංකේතවත් වේ.

අත වැනීම් සහ මද සිනා පෑම්

ඉන්දියානු ජාතිකයන් රැගෙන යන්නට තලෙයිබාන් වාහන දුසිම් දෙකක් පමණ තානාපති කාර්යාලය වෙත ඇදී ආවේය. ඒවායේ නැග ඔවුන් පිටව යද්දී ඇතැම් සටන්කරුවෝ ඔවුන්ට අත වනා මද සිනා පෑහ.

එක් අයෙක් ඔවුන්ව කාබුල් නුවර වීදි දිගේ හරිත කලාපය වෙත මග පෙන්වූ අතර, එතැන්පටන් වූ ප්‍රධාන මාර්ගය විහිදී ගියේ ගුවන්තොටුපොළ වෙතට ය.

ඇෆ්ගන් නායකයන් රටේ සම්පූර්ණ පාලනය නිල වශයෙන් අතට ගැනීමට පෙර එහි සිටින 200 ක පමණ ඉන්දියානු ජාතිකයන් සම්පූර්ණයෙන්ම සිය රට කැඳවා ගන්නට ඉන්දියාව දැඩි සේ තීරණය කර තිබේ.

මේ අතර අඳුර වැටීමට පෙර තානාපති කාර්යාලය බංකරයක් ලෙස යොදාගැනීමට තලෙයිබාන් සංවිධානය තීරණය කළේය. ඉන්දියානු ජාතිකයන් මෙම අත්දැකීම විස්තර කළේ ‘නිවාස අඩස්සියට තමන් පත්වූ බව හැඟුණා‘‘ යනුවෙනි.

අහසට වෙඩි

ගොළුබෙලි ගමනින් ඇදී ගිය රිය පෙළ කාබුල් ගුවන්තොට වෙත ළඟා වීමට පැය 5කට වඩා කාලයක් ගත විය. ඉන්දියානුවන් ඒ ගෙවී යන සෑම මිනින්තුවම ගත කළේ සිය ජීවිතවලට කුමක් සිදුවේද යන අවිනිශ්චිත භීතිය ද සමග ය. අසාමාන්‍ය ප්‍රමාණයකින් කාබුල් නගරය පුරා මුරපොළවල් ඉදි කර තිබූ අතර, යුද්ධයෙන් අවතැන් වූ දහස් ගණන් දෙනා වීදිවල දැකගත හැකි විය. ලද විරාමවලදී වාහනවලින් ගිනි අවි උරුක් කරගෙන බිමට පනින සටන්කරුවෝ, පිරිස් වෙත ගිනි අවි එල්ල කර පාරෙන් ඉවත් වන ලෙසට ඔවුන්ට තර්ජනය කළහ. එක් අවස්ථාවකදී තලෙයිබාන් සටන්කරුවෝ පිරිස් බිය ගැන්වීමට අහසට වෙඩි මුර කිහිපයක් පත්තු කළහ.

ගුවන් තොටුපොළේදී ඔවුන්ව ඇමරිකානු සොල්දාදුවන් විසින් භාරගත් අතර, තවත් පැය 2 ක් රැඳී සිටීමෙන් පසුව C-17 වර්ගයේ හමුදා ගුවන්යානයකට නංවා ගනු ලැබිණි.

නැවත මව්රට බලා ආ ඉන්දියානු ජාතිකයෙක් මෙසේ කියයි.

‘‘ඉන්දියාව කියන්නෙ පාරාදීසයක්..‘‘

තලෙයිබාන් සංවිධානය විනීත වී ද?

සිය දෙහැවිරිදි දියණිය ඇකයේ හොවාගෙන සිටි තවත් ඉන්දියානුවෙක් සිය කාර්යාලයෙන් එක්වරම ඉන්දියාව බලා ඒමට ගත කළ පැය කිහිපය මෙසේ විස්තර කළේය.

‘‘ගුවන් යානයට ගොඩ වෙන්නට පැය කිහිපයකට කලින් තලෙයිබාන් මම රැකියාව කරන තැනට ආවා..‘‘ සිය නම හෙළි කිරීමට අකමැති වෙමින් ඔහු AFP පුවත් සේවය සමග කීය.

‘‘ඔවුන් විනීත විදිහකට හැසිරුණා..නමුත් ආපසු යන විට ඔවුන් අප ළඟ තිබුණු වාහන දෙකක් අරගෙන ගියා.. ඒ මොහොතේ මට වැටහුණා ඒ රටේ මම හෝ මගේ පවුල සිටීම තවදුරටත් ආරක්ෂිත නැති බව..‘‘

[embedyt] https://www.youtube.com/watch?v=r6Q3ib7e4p8[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි