×

ඉන්දීය කොවිඩ් අර්බුදය: නිළ සංඛ්‍යා ලේඛන මෙන් දස ගුණයක් වැඩි බවට සැකයක් !

කොවිඩ් ආසාදිතයන් සහ කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉන්දීය බළධාරීන් නිකුත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණ සත්‍ය නොවන බවට සැකයක් මතුව තිබෙනවා.


සත්‍ය තත්වය හිතාමතා සඟවන බවට හෝ පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ සත්‍ය තත්වය වාර්තා කිරීමට නොහැකි තත්වයක් හෝ උද්ගත වී ඇති බවයි ඇතැම් පාර්ශ්ව පවසන්නේ.

මේ නිසා ඉන්දීය කොවිඩ් වසංගත තත්වයේදී ජනතාව මුහුණ දී සිටින සැබෑ තත්වය තවමත් ලෝකය හමුවේ නිරාවරණය ‍වී නොමැති බවයි වාර්තා වන්නේ.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රභාත් ජා මහතා පවසන්නේ ඉන්දියාවේ නිළ සංඛ්‍යා ලේඛනවල සඳහන් ආසාදිතයන් ප්‍රමාණයට වඩා දස ගුණයක් ආසාදිතයන් වැඩි විය හැකි බවයි.

තවමත් පරීක්ෂාව ලක් නොවූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සාමාන්‍ය සමාජය තුළ සිටින බවද ජා මහතා පෙන්වා දෙනවා.

එක් නිවසක එක් පුද්ගලයෙකු වෛරසයට ගොදුරු වුවහොත් එම නිවසේ තවත් කිහිප දෙනෙකුට හෝ එසේ නැතහොත් සමස්ත පවුලටම වෛරසය ආසාදනය වී තිබිය හැකි නමුත් ඒ සියල්ල සංඛ්‍යාලේඛනවලට පැමිණෙන විට තවත් දින කිහිපයක් ගතවන බවද ඔහු පෙන්වා දෙනවා.

කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු නිළ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් කිරීමේදී පරීක්ෂණ රැසක් සිදු කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව නම් එක් ආසාදිතයෙකු සම්බන්ධයෙන් අවම වශයෙන් පරීක්ෂණ 10 ක් වත් සිදුකළ යුතුය. කෙසේ වෙතත් ඉන්දියාව තවමත් සිදු කරන්නේ පරීක්ෂණ 05 ක් පමණි.

එක්සත් ජනපද බළධාරීන් එක් ආසාදිතයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ 17 ක් සිදු කරන අතර එය ෆින්ලන්තය වැනි රටවල් නම් පරීක්ෂණ 57 ක් දක්වා ඉහළ යයි.

මෙම සංකීර්ණ ක්‍රියාවලිය හමුවේ ආසාදිතයන් ලෙස වාර්තා වන පුද්ගලයන්ගේ නම් සංඛ්‍යා ලේඛනවල ඇතුළත් කිරීමේදී යම් කාල පරාසයක් ගත වේ.

එසේම ලොව දෙවැනි විශාලතම රට වන ඉන්දියාව තුළ භූගෝලීය ගැටලු, වෙනත් තාක්ෂණික ගැටලු, මෙන්ම සමාජමය ගැටලු හේතුවෙන්ද නිවැරදි සංඛ්‍යා ලේඛන සකස් කිරීම ගැටලු සහගත වේ.

ඊයේ දිනයේදීද ඉන්දියාවෙන් ආසාදිතයන් 370,059 ක් සහ මරණ 3422 ක් වාර්තා වී තිබෙනවා. එය පෙර දිනයට සාපේක්ෂව යම් අඩුවීමක් වුවද කිසිසේත්ම සතුටු විය හැකි තත්වයක් නොවේ.

පසුගිය දින 07 ක කාලය තුළදී පමණක් ඉන්දියාවෙන් ආසාදිතයන් මිලියන 2.6 ක් වාර්තා වී තිබෙනවා. එය පෙර සතියට සාපේක්ෂව 16% කින් ඉහළ යාමකි.

අවසන් දින 07 තුළ මරණය 23,829 ක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 46% කින් ඉහළ යාමකි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි