×

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් අසල භූමි කම්පාවක්

ඉරානයේ පර්සියන් බොක්කට නුදුරු න්‍යෂ්ටික බලාගාරයක් අසල භූ චලනයක් සිදු ව තිබේ. ඊයේ (27) හට ගත් මෙම භූ චලනයේ විශාලත්වය රික්ටර් ඒකක 5.1 ක් වේ.


ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙම භූ චලනය ඇතිව තිබෙන්නේ බෂෙෂ් බලාගාරයට සැතපුම් 33 ක් නුදුරින්, පොළොව මතුපිට සිට කිලෝමීටර 38 ක් ගැඹුරිනි.

භූ චලනයෙන් න්‍යෂ්ටික බලාගාරයට සිදුව ඇති හානිය පිළිබඳ ඉරානය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි.

මේ අතර ගාඩියන් පුවත්පත සඳහන් කරන්නේ රික්ටර් ඒකක 5 ක ප්‍රමාණයේ භූ චලනයකට සැලකිය යුතු හානියක් න්‍යෂ්ටික බලාගාරයක් වෙත සිදුකළ හැකි බවයි.

බෂෂර් බලාගාරය ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරවලින් එකකි. එය ඉරාන ජනපති හසන් රුහානිගේ ද අධීක්ෂණයට ලක් වේ.

තවද මෙය ඉරානයේ පළමු න්‍යෂ්ටික බලාගාරය මෙන්ම,  සිවිල් අවශ්‍යතා සඳහා ඉදිකළ – මැදපෙරදිග පිහිටා තිබෙන පළමු න්‍යෂ්ටික බලාගාරය ද වේ.

Mohammad Berno-AP

2015 වසරේදී ඉරාන ජනපති, මෙම න්‍යෂ්ටික බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක – Mohammad Berno-AP

ඉරානයේ භූ චලන

ඉරානය පිහිටා තිබෙන්නේ භූ පැලුම් රේඛාවක් මත ය. දෛනිකව සුළු සුළු භූමි කම්පා ඇතිවීමේ අවදානමක් මේ අනුව ඉරානයට තිබේ. 2003 වසරේදී රික්ටර් ඒකක 6.6 ක භූමිකම්පාවක් බාම් ඓතිහාසික නගරයට බලපෑවේ 26,000 ක් දෙනා මරණයට පත් කරමිනි. බෑම් නගරය පිහිටා තිබෙන්නේ ද බෂෂර් න්‍යෂ්ටික බලාගාරය අසල වන නමුත්, වාසනාවකට මෙන් එවට න්‍යෂ්ටික බලාගාරයට කිසිදු හානියක් සිදු වී නැති බව පැවසුණි.

2015 න්‍යෂ්ටික අවිහරණ කෙටුම්පතෙන් අ්ැමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත්වීමෙන් පසුව ඉරානය ද 2019 වසරේදී නිවේදනය කළේ, තමන් එම කෙටුම්පත් නීතිය මගින් ඉඩ දී ඇති ප්‍රමාණයට වඩා වැඩිපුර යුරේනියම් වැඩිදියුණු කිරීමට අදහස් කරන බවයි. ටෙහෙරානය පවසන්නේ සිය න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම සිවිල් න්‍යෂ්ටික අරමුණු සඳහා යොදාගන්නා බව ය.

කෙසේ නමුත් භූමි කම්පාවලට බඳුන්වන කලාපයක පිහිටා ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ලෝක සාමයට සහ ජන ජීවිතවල ආරක්ෂාවට තර්ජනයක් බව විචාරකයෝ පෙන්වා දෙති.

Cover Photo: ඉරානයේ බෂෂර් න්‍යෂ්ටික බලාගාරය – Abedin Taherkenareh-EPA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි