×

කමලා හැරිස් : ඇය ඔවුන්ගේ දියණියයි

ඉතිහාසය නැවත ලියන්නට යන මග අතරතුර, ඉන්දියාවට දුරකතන පණිවුඩයක් ලබා ගන්නට කමලා ඩී. හැරිස් මොහොතක් නතර වූවා ය.


බ්‍රහස්පතින්දා උදෑසන නව දිල්ලියේ දී, ඇගේ මාමා වන ගෝපාලන් බාලචන්ද්‍රන් හට ඔහු ගේ ලේලියට ඔහුට කතා කරන්නට අවශ්‍ය යැයි පණිවුඩයක් ලැබිණ. ඉක්මණින් ම, පවුලේ කිහිප දෙනෙකුම කණ්ඩායම් දුරකතන ඇමතුමකට එක් වූහ.

ඒ වන විට එක්සත් ජනපද මැතිවරණ අවසාන ප්‍රතිඵල ලැබි නො තිබුණ ද, කමලා හැරිස් සැනසීමකින් යුතුව ද, සතුටින් ද සිටියා ය. “මං කිව්වා, ‘බලන්න, ඔයා දිනනවා,’” සැත්තෑ නව වියැති බාලචන්ද්‍රන් සිහිපත් කළේ ය. “බය වෙන්න එපා.”

සෙනසුරාදා, ජයග්‍රහණය තහවුරු වූ පසු බාලචන්ද්‍රන් සතුටින් සිනාසුණේ ය. “මේක ලොකු දෙයක්, ඒ ගැන කිසිම සැකයක් නැහැ,” ඔහු කීවේ ය. “ඒක එක්සත් ජනපදයට හොඳ යි. ඒක ගොඩක් දෙනාට හොඳ යි.”

කමලා හැරිස්ගේ ඉන්දියානු පවුල

හැරිස් ගේ ඉතිහාසගත ජයග්‍රහණය – උප ජනාධිපති ධූරය දරන ප්‍රථම කාන්තාව වීම, ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු කාන්තාව වීම සහ ප්‍රථම ඉන්දියානු ඇමරිකානු කාන්තාව වීම – සැතපුම් දගස් ගණනක් ඔබ්බෙන් වූ ඇගේ මව ගේ මව් රටේ ප්‍රීතිඝෝෂා ඇති කරන්නට සමත් වූයේ ය. ඇය ගේ බහුවාර්ගික උරුමය සිහිපත් කරමින්, ඇගේ පියා ගේ මව් රට වූ ජැමයිකාවේ ද සැමරුම් පැවැත්විණ.

හැරිස් ගේ මව වන ශ්‍යාමාලා ගෝපාලන් කැලිෆෝර්නියාවේ අධ්‍යාපනය හදාරන්නට තුරුණු වියේ දීම ඉන්දියාවෙන් නික්මුණා ය. ඉන් පසු ඇය ජැමෙයිකාවේ සිට පැමිණි ආර්ථික විද්‍යාඥ‍යකු වන ඩොනල්ඩ් හැරිස් විවාහ කර ගත්තා ය. ශ්‍යාමලා ගෝපාලන්, ඇමරිකාවේ පුරවැසියෙකු බවට පත් වී විද්‍යාඥවරියක් බවට ද පත්වූවාය. ඇය සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සටන්කාමිනියක් බවට ද පත්වූවාය.

කුඩා දැරියක ලෙස, හැරිස් දකුණු ඉන්දියාවේ චෙන්නායිහි විසූ ඇගේ ඥාතීන් වෙත ගිය අතර, සිවිල් සේවකයකු වන තම මව්පස මුත්තණුවන් ඇසුරෙන් සාධාරණත්වය සහ යුක්තිය පිළිබද තම අදහස් වර්ධනය වූ ආකාරය පිළිබඳ ඈ ලියා තිබේ.

ඡන්ද ව්‍යාපාරය අතරතුර ඇය ඉන්දියානුවන් ඉතා ම සතුටට පත් කළේ ඇගේ ඉන්දියානු සම්භවය පිළිබද කතාබහ කිරීමෙනි. ඇය ගේ පිළිගැනීමේ කතාවේ දී, ඇය ඇගේ ‘චිත්ති’ලා ගේ සහය පිළිබඳ ද ප්‍රකාශ කළා ය; චිත්ති යනු නැන්දා යන්නට දමිල වදනකි.

ජනාධිපති ට්‍රම්ප් සමග සමීප සම්බන්ධතාවක් ඇති කර ගෙන සිටි ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ද ට්විටර් හරහා හැරිස් ගේ සාර්ථකත්වයට ප්‍රශංසා කළේ ය. “එය ඔබ ගේ චිත්තිලාට පමණක් නොව සමස්ත ඉන්දීය ඇමරිකානු ප්‍රජාවට ම ආඩම්බරය ගෙන දෙන්නක්” ඔහු ලීවේ ය.

හැරිස් ගේ ජයග්‍රහණයේ අභිමානය ඉන්දියාවේ අගනුවර සිට ඇගේ මුත්තණුවන් උපත ලැබූ චෙන්නායි හි ග්‍රාමයක් වන තුලසේන්ද්‍රපුරම් දක්වා පැතිර ගියේ ය.

මේ සතියේ මුල, එම ග්‍රාමයේ වැසියෝ බයිඩන්-හැරිස් දෙපළට ජය පතා විශේෂ පූජාවක් ද පැවැත්වුහ. ඡන්ද ප්‍රතිඵල සෙනසුරාදා රාත්‍රියේ ඉන්දියාව වෙත ළගා වුව ද පසු දා සිට ම රසකැවිලි බෙදා ගනිමින්, රතිඤ්ඤා පත්තු කරමින් ඉන්දියානුවෝ ජය සැමරූහ.

“මෙය අපට ඉතා වැදගත්,” තුලසේන්ද්‍රපුරම් අසල ව්‍යාපාරිකයකු වන කාලිදාස් වන්දයර් කියා සිටියි. “බයිඩන් සහ කමලා දේවි හැරිස් ට්‍රම්ප්ට වඩා ඉන්දියාවට යහපත් වනු ඇතැයි අපට විශ්වාස යි.”

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ නායක වන රාහුල් ගාන්ධි ද ඔහු ගේ හදපිරි සුබ පැතුම් පිරිනමයි. “එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත් ප්‍රථම කාන්තාව ගේ මූල ඉන්දියාව දක්වා පැමිණීම අප ආඩම්බරයට පත් කරන” බව ඔහු ට්විටර් හි ලියුවේ ය.

තමිල් නාඩු ප්‍රාන්තයේ දේශපාලන නායකයකු වන එම්. කේ. ස්ටාලින්, “ඇමරිකානු ජනතාව දමිළ සම්භවයකින් යුතු කාන්තාවක් තෝරා පත් කර ගැනීම පිළිබද” ඔහු ගේ දැඩි සතුට ප්‍රකාශ කරයි.

මෙයාකාර ම අභිමානයක් ජැමයිකාවේ ද වෙයි. “අප ගේ අයකු ලොව ඉහළ ම තලයේ තනතුරකට පැමිණීම අපට ආඩම්බරයක් ගෙන දෙන” බව 39 හැවිරිදි ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක වන ලටෝයා හැරිස් කියා සිටියි. ඇය සහ කමලා හැරිස් ඥාති සහෝදරියන් ද වෙති.

ජැමයිකාවේ අගමැති ඇන්ඩෲ හොල්නස් හැරිස් ගේ “කාන්තාවන් වෙනුවෙන් වූ සුවිශාල ජයග්‍රහණය”ට ආචාර කරන අතරතුර ම ඇය ගේ ජැමෙයිකානු උරුමය ද සිහිපත් කරයි.

ලොවෙහි අනෙක් කොණෙහි වන සැමරුමක් ද වෙයි. වයඹදිග අයර්ලන්තයේ බයිඩන් පවුලේ පාරම්පරික නිවසේ සාමාජිකයන් ද ඔහු ගේ ජය සැමරූහ.

ඉන්දියාවේ, හැරිස් ගේ මාමා වන බාලචන්ද්‍රන් ඡන්ද ප්‍රතිඵල නරඹමින් දින ගණනක් ගත කොට තිබුණේ ය. දැන් ඔහු චොකලට් කේක් කැබැල්ලක් ද වයින් වීදුරුවක් ද සමග ජයග්‍රහණය සමරන්නට සැරසෙයි. පසුව ඔහු තම ලේලිය උප ජනාධිපති ධූරයේ දිවුරුම් දෙනු දකින්නට වොෂින්ටනය බලා යනු ඇත.

ඔහු ගේ සිතුවිලි බොහෝමයක් හැරිස් ගේ මව වන ඔහු ගේ සොයුරිය ශ්‍යාමාලා සමග වෙයි. ඈ 2009 වසරේ මිය ගියා ය. ශ්‍යාමාලා තම දියණියන් දෙදෙනාට “ඔබ ඉගෙන ගන්නේ කුමක් වුවත් එය සමාජයේ යහපත වෙනුවෙන් යොදන්න” යැයි කියනු බාලචන්ද්‍රන් සිහිපත් කරයි.

හැරිස් ගේ ඡන්ද ව්‍යාපාරය අතරතුර බාලචන්ද්‍රන් ද යම් ජනප්‍රියත්වයක් ලබා ගත්තේ ය. උප ජනාධිපති විවාදයෙන් පසුව, ඔහු තම ලේලිය ගේ සහභාගීත්වය විස්තර කරන වීඩියෝවක් සමාජ ජාලවල ‘වයිරල්’ වූයේ මිලියනයකට අධික දර්ශන ලබා ගනිමිනි.

ඡන්ද ගණනය කරන අවස්ථාවේ දී ඔහු භාෂා තුනකින්, එනම් ඉංග්‍රිසියෙන්, දෙමළෙන් සහ හින්දියෙන් සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේ ය. හැරිස් ගේ ප්‍රියතම දකුණු ඉන්දිය කෑමවර්ග පිළිබද අසන විට ඔහු ආදරණීය ආවේගශීලීබවකට පත්වූවේ ය.

හැරිස් බයිඩන්ට මහත් වූ වාසියක් වනු ඇතැයි බාලචන්ද්‍රන් සිතයි. “මෙහි ප්‍රශ්නය වූයේ එක්සත් ජනපදය එක්සත් ජනපදය වශයෙන් ම පවතිනවා ද යන්න යි,” ඔහු තව දුරටත් කියා සිටියි.
ලෝකයේ දේශපාලනයට කාන්තා සහභාගිත්වය පිළිබඳ අදහස ඇති වූයේ ද ඇමරිකාවෙනි. පළමු කාන්තා ජනපතිවරියක් පත් කර ගැනීම ඒ එක් පළමු සිහිනයක් විය. අද කමලා හැරිස් ඒ මාවතට පිවිස සිටින්නීය. ඇය ඉතිහාසය ලියා තිබේ. ඇය ඉන්දියාවේ නොව ඇමරිකාවේ අනාගත උප ජනාධිපතිවරියයි. නමුත් ඇය සදහටම ඉන්දියාවේ දියණියයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි