×

කාන්තාවගේ නිදහස හා ජීවිතය වෙනුවෙන් ජර්මනියේ සහය ඉරානයට

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) ඇස්තමේන්තු කර ඇත්තේ ළමුන් 32 දෙනෙකු ඇතුළු විරෝධතාකරුවන් 244 දෙනෙකු ආරක්ෂක අංශ විසින් මර්දනයේදී මරා දමා ඇති බවයි.


ඉරානයේම අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණය හේතුවෙන් ඇවිළුණු විරෝධතා හයවැනි සතියටත් එළැඹ තිබේ.

22 හැවිරිදි මහ්සා අමිනී සැප්තැම්බර් 13 වන දින ටෙහෙරානයේ සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ හිජාබය ලිහිල් ලෙස පැළඳ සිටි වරද හේතුවෙනි. පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇය මිය ගිය අතර එතැන් සිට කාන්තාවන්, පාසල් දැරිවියන්, මානව හිමිකම් කණ්ඩායම් ආදී මෙකී නොකී බොහෝ පිරිස් රටපුරා විරෝධතා පවත්වමින් ආණ්ඩුවට බලකර සිටියේ කාන්තාවගේ නිදහස හා ජීවත් වීමේ අයිතිය ලබා දෙන ලෙසයි.

ඉරානයේ මෙම විරෝධතාවයන්ට සහය පලකිරීම සඳහා ඊයේ(22) දින ජර්මනියේ විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත්වූ අතර විරෝධතාකරුවන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් බර්ලිනයට රැස් වූ අතර කාන්තාවගේ අයිතීන් පිළිබඳව මතක්කර දෙමින් ඔවුන් සිය විරෝධතාවයන් පැවැත්වීය. ඔවුන්ගේ ඉල්ලීම් අතර ඉරානයේ බලවත් විප්ලවවාදී ආරක්ෂක බළකායට එරෙහිව බටහිර සම්බාධක පැනවිය යුත් බවට ප්‍රකාශ වූ අතර ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයින් බටහිර අගනගරවලින් පලවා හැරිය යුතු බව විරෝධතාකරුවෝ පැවසූහ.

මේ වන විට ඉරානයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශය කපා හැර ඇත. ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) ඇස්තමේන්තු කර ඇත්තේ ළමුන් 32 දෙනෙකු ඇතුළු විරෝධතාකරුවන් 244 දෙනෙකු ආරක්ෂක අංශ විසින් මර්දනයේදී මරා දමා ඇති බවයි. තවත් 12,500කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තරුණයන් සහ ළමුන් බව එහි සඳහන් වේ.

ඉරාන ආණ්ඩුව මේ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මර්දනය සිය එකම අවිය කරගෙන සිටියි. ඔවුන් නිරන්තරයෙන් රජයට එරෙහිව විරෝධතා ඇතිකර වන බවට ඇමරිකා එක්සත් ජනපයට චෝදනා කරමින් සිටියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි