×

කොස්ටා රිකාවට සමරිසි සීනු හැඬවේ!

කොස්ටා රිකා රාජ්‍යය, සමරිසි විවාහ නීතිගත කළ මධ්‍යම ඇමරිකාවේ ප්‍රථම රට බවට පත්වූයේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12 ට එම නීතිය වලංගු භාවයට පත් වීමත් සමග ය.


ඒ මොහොතේම නව නීතිය යටතේ අතිනත ගත් ප්‍රථම සමරිසියන් දෙදෙනා කාන්තාවන් (lesbian) දෙදෙනෙකි. ඔවුන් ඇලෙක්සැන්ඩ්‍රා කුයිරෝස් සහ දුනියා ආරායා ය. කොවිඩ් වසංගතය නොවිණි නම් මෙය මීට වඩා දැවැන්ත ලෙස සමරන්නට ඔවුන් උත්සුක වනවා ඇත.

AFP

කොස්ටා රිකාව මේ සමගම මනුෂ්‍යත්වය අතින් කොතරම් ඉදිරි පිම්මක් තබා තිබේදැයි කියනවා නම්, රටේ ජාතික රූපවාහිනිය ඔස්සේ මෙම ප්‍රථම සමරිසි මංගල විවාහෝත්සවය විකාශය විය.

වෛවාහක සමානාත්මතාවය නීතිය බවට පත්වීම වෙනුවෙන් කොස්ටා රිකාවේ ජාතික රූපවාහිනිය විසින් විකාශය කළ පැය 3 ක වැඩසටහන තුළට මෙම විවාහෝත්සවයේ රූප රාමු ද ඇතුළත් කර තිබිණි.

සමරිසි විවාහද ‘වෛවාහක සමානාත්මතාවය‘ට ලක් කිරීම හෙවත්, විෂමරිසි විවාහ වලට සමාන නීතිමය පිළිගැනීමක් සමරිසි විවාහවලට ලබාදීම ඒ රටේ නායකයා තමන්ගේ ජනප්‍රිය ඡන්ද අහිමිවීමට හේතුවක් ලෙස දකින්නේ නැත. ඒ සඳහා අවශ්‍ය නිර්භීත කම මෙන්ම මධ්‍යස්ථ මතධාරිත්වය ද ඔහු තුළ තිබේ.

ජනාධිපති කාලෝස් අල්වාදෝ මේ පිළිබඳ පැවසුවේ මෙසේ ය. ‘‘මේ නීතිය වෙනස් කිරීම මගින් අදහස් වන්නේ කොස්ටා රිකාව, සමරිසි ගැහැණුන්ට සහ පිරිමින්ට හැමවිටම හිමිවිය යුතුව තිබූ අයිතිවාසිකම් පිළිගත් බවයි..“

ජයග්‍රහණයේ නියමුවා – ජනාධිපති කාලෝස් අල්වාදෝ – GETTY IMAGES

එයින් නොනැවතී ඒ රටේ ජනාධිපතිවරයා ස්පාඤ්ඤ භාෂාවෙන් කළ ට්වීටයේ සිංහල අදහස මෙසේ ය.

‘‘සහකම්පනය සහ ආදරය, මෙතැන් පටන් අපට ඉදිරියට පියනගන්නට ඉඩ දෙන – මගකියා දෙන මූලධර්ම බවට පත්වනු ඇත..‘‘

ඒ අනුව සමානාත්මතාවයේ සහ මනුෂත්වයේ මූලධර්ම ගැන විනා වෙනත් මූලධාර්මික කලබගෑනියක් ඔහු විසින් රට තුළ ඇති කළේ නැත. ඔහු ජනාධිපතිවරණ සමයේදී ලබාදුන් එක් මැතිවරණ පොරොන්දුවක් බවට පත්ව තිබුණේ ද සමරිසි විවාහ නීතිගත කරන බවයි.  දේශපාලකයෙකු වීමට පෙර ඔහු රොක් ගායකයෙකු සහ නවකතාකරුවෙකි.

නීතිය වෙනස් කිරීමට අධිකරණය මුල් වූ හැටි

කොස්ටා රිකාව මේ සඳහා පියවර තබන්නේ 2018 අගෝස්තු මාසයේ ය. ඒ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ‘‘සමරිසි විවාහ තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව සහ එය වෙනස්කොට සැලකීමක් බව‘‘ තීරණය කිරීමත් සමගිනි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, මෙම නීති වෙනස් කිරීමට ආණ්ඩුවට මාස 18 ක කාලයක් ලබාදුන්නේය. ඒ අතරම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ මාස 18 ඉක්ම වන තැන පාර්ලිමේන්තුව මෙය නීතියක් බවට පත් නොකළත්, ස්වයංක්‍රීයව එය නීතියක් බවට පත්වනු ඇත කියා ය.

කොස්ටා රිකා පාර්ලිමේන්තුවේ සිටියේ තමන් සමරිසියෙකු බව විවෘතව සහ නොබියව කියන එක් පාර්ලිමේන්තු සාමාජිකයෙක් පමණි. නමුත් එන්රික් සෑන්චස් (Enrique Sánchez) නමැති ඔහු, වසර ගණනාවක් තිස්සේ නොබියව, අදාළ ක්‍රියාකාරීන් සමග එක්වී මේ සඳහා අරගල කර තිබිණි.

ඇතැම් ආගමික කණ්ඩායම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ සමරිසි විවාහ නීතිගත කිරීම වළක්වා ගැනීමට හැකි සෑම දෙයක්ම කළ නමුත්, අධිකරණයේ මාර්ගෝපදේශනය හමුවේ ඔවුන්ට කළ හැකි දෙයක් තිබුණේ නැත. ආසන 57කින් සමන්විත කොස්ටාරිකා ව්‍යස්ථාදායක සභාවේ 20 දෙනෙකුම සිටියේ ඉවැන්ජලික ආගමික නැඹුරුව අධික ජනතා නියෝජිතයන් ය.

‘‘සමරිසි මිනිසුන් ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ අරගල තුළින් ඔවුන් දෙවැනි පන්තියේ පවුල් හෝ දෙවැනි පන්තියේ මිනිසුන් නැති සමාජයක් ගොඩනංවන්නට උදව් කළා..‘‘ යැයි එන්රික් පසුව රොයිටර්ස් පුවත් සේවය අමතා කීය.

සමරිසි විවාහ ලතින් ඇමරිකානු රටවල් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය, උරුගුවේ සහ මෙක්සිකෝවේ ඇතැම් පළාත්වල නීතිගත කර තිබේ. නමුත් කොස්ටා රිකාව මේ මගට පිවිසි පළමු මධ්‍යම ඇමරිකානු රටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි