×

ජනගහණයට වඩා පාපැදි තිබෙන -100% ක් පරිසර හිතකාමී හරිත නගරය – කෝපන්හේගන්

ලංකාවේ ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන ප්‍රමාණයක් තිබේ. නමුත් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර ජනගහණයට වඩා වැඩිපුර තිබෙන්නේ පාපැදි ය.


මේ නුවර සැබවින්ම අසිරිමත් ය.

100%ක් පරිසර හිතකාමී

ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් 100%ක්ම පරිසර හිතකාමී ය.

ඒ වාර්තාව සමගින් තවදුරටත් හොඳින් වර්ධනය වන ආර්ථිකයකට ද එනුවර හිමිකම් කියයි.

බොහෝ අය සිතන්නේ ‘හරිත ආර්ථිකය‘ අසීරු දෙයක් බවයි. නමුත් කෝපන්හේගන් නුවර දෙස බලන්න. ‘හරිත ආර්ථිකයකට හිමිකම් කීවත් එහි ආර්ථිකය ශක්තිමත් ය. එසේම එය තවදුරටත් වැඩෙමින් පවතියි. ගතවූ වසර 20 තුළ එය 25%ක ආර්ථික වර්ධනයක් පෙන්වයි.

පිරිසිදු බල ශක්තිය

කෝපන්හේගන් නුවරට අවශ්‍ය කරන තාප බලයෙන් භාගයකට වඩා ලබාගන්නේ පිරිසිදු බලශක්ති ප්‍රභවයන්ගෙනි.

2002 වසරේ සිට මේ දක්වා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 42%කින් අඩු කර ගැනීමට ද එය සමත් වී තිබේ.

ඇවිද්ද පය දහස් වටියි

‘‘දියුණු රටක් යනු ජනතාව තනි තනි වාහනවල යන රටක් නොව, ලොක්කන් පවා පොදු ප්‍රවාහන සේවයේ ගමන් බිමන් යන රටකි‘‘ යනුවෙන් කියමනක් තිබේ. කෝපන්හේගන් නුවරදී මේ කතාව කදිමට පැහැදිලි වේ.

මෙනුවර වැසියන්ගෙන් 2/3ක්ම කෙටි ගමන් බිමන් සඳහා පාවිච්චි කරන්නේ පාපැදිය, පොදු ප්‍රවාහන සේවා හෝ පයින් ගමනයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙසට මේ නගරයේ ජනගහණයට වඩා වැඩි පාපැදි ප්‍රමාණයක් තිබේ. ‘පාපැදි සංස්කෘතිය‘ යන යෙදුම කෝපන්හේගන් වලටම ආවේණික වී තිබෙන්නේ මේ නිසා ය.

යටිතල පහසුකම් ගැන අලුත් ඇසකින්

කෝපන්හේගන් නුවර පාලකයන් යටිතල පහසුකම් සංවර්ධනය ගැන බලන්නේ රැඩිකල් දෘෂ්ටියකිනි. තිරසාර ජීවනයක් ළඟා කර ගැනීමට නම් එය එසේ විය යුතුම බව ඔවුහු සිතති.

හරිතාගාර වායු විමෝචනය අවම කරන පරිසර හිතකාමී ව්‍යාපාරික භාවිතාවන් දිරිගැන්වීම එහි න්‍යායපත්‍රයේ ප්‍රධාන කොටසකි.

වසර 2025 වන විට ‘ලෝකයේ ප්‍රථම කාබන් නිෂ්ක්‍රිය අගනුවර‘ – World’s first carbon-neutral capital බවට පත් වීම මේ සුන්දර නගරයේ සිහිනයයි.

ලෝකයේ බලශක්තියෙන් 80%ක්ම පරිභෝජනය කරන්නේ නගර විසිනි. තවද ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 60%ක්ම සිදුවන්නේ ද නගරාශ්‍රිතව ය. මිහිමවගේ අනාගතය සහ ඉදිරි පරම්පරාවේ ජීවිත ගැන සිතන විට ‘නගර සංවර්ධනය‘ යන සංකල්පය ඉතා ප්‍රවේශමෙන් සහ පරිසරයට ආදරයෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ එනිසා ය.

ඉතින් අප ජීවත් වන නගරවලට කෝපන්හේගන් වෙතින් ඉගෙන ගත හැකි පාඩම් අසීමිත ය.

Cover Photo: Nomadic Matt



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි