×

ජාත්‍යන්තර විරෝධය ඉදිරියේ සුල්තාන් බෝල්කියා සමරිසි දඩයම හකුලා ගනී!

අමානුෂික ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්කරමින් පසුගිය අප්‍රේල් මස 03 වනදා පටන් සමරිසි ප්‍රජාව හා විවාහයට පරිබාහිරව ලිංගික හැසිරීමේ නිරත වන පුද්ගලයන් ඉලක්ක කොට ගෙන ගල්පහර එල්ල කොට මරා දැමීමට බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව ජාත්‍යන්තරයෙන් එල්ල වූ ප්‍රභල විරෝධය මධ්‍යයේ මේ වන විට දියාරු වී යන බවක් පෙනෙන්නට ඇත.


මේ වන විට, බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සනාල් බෝල්කියා සමරිසි පුද්ගලයන් ඉලක්ක කොට ගෙන නියම කළ මරණ දණ්ඩනය තහනම් නියෝගයක් මඟින් අහෝසි කළ බවට වාර්තා වෙයි!

2013 වර්ෂයේ අගභාගය පටන් බෘෘනායි රාජ්‍යය ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්කිරීමට ස්වාධීන රාජ්‍යයක් වශයෙන් තමා හට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටි අතර, ව්‍යවස්ථාපිත නීතියෙන් පරිබාහිරව විවිධ ප්‍රදේශ වල ෂරියා නීතිය ක්‍රියාත්මක වූ බවට ද කරුණු හෙලිවිණ. ෂරියා නීතිය පදනම් වූ දණ්ඩ නීති සංග්‍රහය (Syariah Penal Code Order: SPCO) කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවත්, ප්‍රකාශ කළ පරිදි 2019 අප්‍රේල් මස 03 වනදා පටන් ක්‍රියාත්මක වන බවත් එම රාජ්‍යය නිවේදනය කොට තිබිණ.

කෙසේවෙතත්, සුල්තාන් බෝල්කියා දැන් ප්‍රකාශ කොට සිටින්නේ මරණ දණ්ඩනය SPCO නීතියට ප්‍රකාර නොකරන බවය.

සැලසුම් සහගත මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි ඇතැම් අපරාධ වලට බෘෘනායි රාජ්‍යයේ මරණ දණ්ඩනය මුල සිටම ක්‍රියාත්මක වූවද, 1990 වර්ෂයේ සිට මේ වන තුරුත් අධිකරණය ඉදිරියේ වරදකරු වූ කිසිවකුට මරණ දණ්ඩනය ලබා දී නොමැත.

සඳුදින (06) පටන් උදාවන ශුද්ධ වූ රාමසාන් මාසය සමරනු වස් කරනු ලැබූ ප්‍රකාශයක සුල්තාන් බෝල්කියා සඳහන් කොට සිටියේ, “SPCO ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් බොහෝ ගැටළු සහ වැරදි මතිමතාන්තර පැතිරී ඇති බව මම දනිමි. කෙසේවෙතත්, මෙම වැරදි මත නිෂ්කාශනය කළ විට, නීතියේ කුසලතාව පැහැදිලිව පෙනෙනු ඇත” යනුවෙනි.

“දශක දෙකකට වැඩි කලක පටන් පෙනෙන්නට තිබූ පරිදි, පොදු නීතිය යටතේ නියම වන මරණ දණ්ඩනය අප සැබවින්ම තහනම් කොට තිබෙනවා. අපරාධ දුරලීම සඳහා පුළුල් අවකාශයක් සපයා දෙන SPCO නීතින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද එය ඒ අයුරින් ම ක්‍රියාත්මක වනු ඇති,” බෝල්කියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හමුවීමට තමා සතු පෞද්ගලික 747 ගුවන්යානයක් භාවිතා කළ ලොව ඉදිරිපෙල ධනකුවේරයකු බවට ප්‍රසිද්ධ සුල්තාන් බෝල්කියා එකාධිපති වියරුවෙන් පෙළෙන ආඥාදායකයකු බවට ලොව නන්දෙස මානව හිමිකම් ක්‍රියාකරුවන්ගේ විවේචනයට ලක්වීම සිදුවූයේ අද ඊයෙක නොවේ. එය අනාදිමත් කළක පටන් දක්නට තිබූ සුලභ දසුනකි.

එහෙත්, එම චෝදනා වලට ඔහු ප්‍රතිචාර දැක්වීම ඉතා දුර්ලභ සිදුවීමකි. දැන් සිදුව ඇත්තේ එයයි!

පුදුමය නම්, රාමසාන් උත්සවය අරමුණු කොට ගෙන ඔහු කළ ප්‍රකාශය කිසිදිනක සිදුනොවූ පරිදි ඉංග්‍රීසි බසින් ද විකාශනය කිරීමටද ඔහුගේ කාර්යාලය කටයුතු කර තිබීමයි!

“රටේ පොදු නීතියත්, ෂරියා නීතියත් ක්‍රියාත්මක විය යුත්තේ සාමය හා සෞභාග්‍යය ඇතිකරලීමටයි,” ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.

“මෙම නීතීන් රටේ සදාචාරය, සංවරභාවය මෙන්ම මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ද ආරක්ෂා වන පරිදි ක්‍රියාවට නැංවීම වැදගත් වේ,” ඔහුගේ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තරයේ හෙළා දකින නීතින් ක්‍රියාත්මක කිරීමට බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව ජාත්‍යන්තරයේ දැඩි අවදානයට හා විරෝධයට යොමු විය.

ගිණිකොන දිග ආසියාවේ ඛනිජ තෙල් වලින් ස්වයංපෝෂිත ඉතා ධනවත් හා කුඩා රාජ්‍යයක් වූ බෘෘනායි රාජ්‍යයේ මුස්ලිම් ප්‍රජාව අතර ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්කරමින් ෂරියා නීතිය පදනම් වූ දණ්ඩ නීති සංග්‍රහයක් (Syariah Penal Code Order: SPCO) හඳුන්වා දෙමින් සමරිසි පුද්ගලයන් අතර හා වැඩිහිටි පුද්ගලයන් අතර සිදුවන ලිංගික ක්‍රියා මරණ දණ්ඩනයට නතු කරමින් ගත් තීන්දුව පසුගිය කාලවකවානුව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කරන ලදී. ලොව නන්දෙස මානව හිමිකම් ක්‍රියාකාරීන්, රාජ්‍යතාන්ත්‍රිකයින් මෙන්ම සුපිරි නළු නිළියන් ගායක ගායිකාවන් හා ලෝ වැසියන් ප්‍රභල විරෝධයක් එල්ල කළ බෘෘනායි රාජ්‍යය ගත් මෙම අමානුෂික තීන්දුව මේ වන විට සුල්තාන් බෝල්කියා හට එල්ල වූ ප්‍රභල දේශපාලන මෙන්ම පෞද්ගලික අවාසියක් බවට පත්ව ඇති බවට පසක් වේ.

බෘෘනායි හි සමසිරි දඩයමට විරෝධය පාමින් සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි බෘෘනායි රාජ්‍ය ප්‍රතිපාදන මත පවත්වාගෙන යනු ලබන ලංඩනයේ ඩෝචෙස්ටර්, ලොස් ඇන්ජලීස් හි බෙවර්ලි හිල්ස් ඇතුළු සුපිරි හෝටල් සංකීර්ණ වර්ජනය කිරීමට ගත් පියවර, හා එයට සහයෝගය දැක්වීමට සුපිරි පොප් ගායක එල්ටන් ජෝන් ඇතුළු ලොව නන්දෙස සුපිරි තරු පෙළ ගැසීම සුල්තාන් බෝල්කියා හට දේශපාලනික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කෙරිණ.

මෙම තීන්දුවත් සමඟ බහුජාතික සමාගම් තම කාර්යමණ්ඩල වලට බෘෘනායි ප්‍රතිපාදන මත පවත්වාගෙන යනු ලබන සුපිරි හෝටල් භාවිතා කිරීම තහනම් කරනු ලැබිණ. එමෙන්ම, ඇතැම් සංචාරක සමාගම් සංචාරක ස්ථානයක් ලෙස බෲනායි රාජ්‍යය ප්‍රවර්ධනය කිරීම නතර කොට ඇත. සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි මුල සිටම පෙන්වා දෙනු ලැබුවේ බෘෘනායි රාජ්‍යයේ මූල්‍යගලනය අඩපණ කළ හැක්කේ නම් මෙම තීන්දුව නිරායාසයෙන්ම අහෝසි වන බවය.

පෙනෙන්නට ඇති පරිදි ඔහුගේ අනාවැකිය සත්‍යයක් බවට පත්වී ඇත!

විශේෂයෙන්ම, බ්ලොග් අඩවි ක්‍රියාකරු පෙරෙස් හිල්ටන්, සුල්තාන් බොල්කියාගේ දෙවන පුත් අසීම් කුමරාගේ සමරිසිභාවය හෙලිදරව් කිරීමත් සමඟ, සුල්තාන් සිටුමැදුරට එල්ලකළ හෙනගෙඩි පහරක් මෙන් පෞද්ගික අවාසි සහගත තත්ත්වයක් උද්ගත වන්නට ඇත. මේ අතර, බෘෘනායි සිටුමැදුරේ සිදුවූ විවිධ අක්‍රමිකතා, ෂරියා නීතිය අමුඅමුවේ උල්ලංඝනය කළ සුල්තාන් බෝල්කියාගේ බාල සොහොයුරු ජෙෆ්රි කුමරාගේ සල්ලාල ජීවිතය පිළිබඳ කරුණු හෙලිදරව් වීමට පටන් ගැනීමත් සමඟ තමා විසින් ගත් තීන්දුව තමා හටම වල කපා ගැනීමක් බවට සුල්තාන් බෝල්කියාට පසක් වන්නට ඇති බවට අපගේ විශ්වාසයයි.

යුක්තිය ජයගනිමින් උන්මත්තක සමරිසි දඩයමේ යෙදෙන්නට වෙර දැරූ සුල්තාන් බෝල්කියා ගේ ප්‍රයන්තය ව්‍යර්ත කරමින් ඔහුටම අවබෝධ කරවූයේ ඒකාධිපති වියරුව එක් කඩුල්ලක් පනින විට, මනුසත් බව කඩුලු දසදහසක් පැන අවසන් බව කියාදුන් උසස් ලෝවැසියන්ගේ පාඩමය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි