×

ටෝකියෝ 2020: අවසන් මොහොතේ ඇමරිකාවට පළමු තැන

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද අවසාන දිනයයි. මේ වනවිට තරග සියල්ල අවසන්ව ඇති අතර තවත් පැයකින් පමණ සමාප්ති උළෙල පැවැත්වීමට නියමිතය.


ඊයේ දිනය අවසන් වනවිට රන් පදක්කම් 38 ක් සමගින් පදක්කම් සටහනේ පෙරමුණේ සිටීමට චීනය සමත් වූ අතර රන් 36 ක් සමගින් ඇමරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයේ පසුවිය.

අද දිනයේදී පැවති තරගවලින් ඇමරිකාව තවත් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වූ අතර ඒ අනුව අවසන් මොහොතේදී චීනය අභිබවා යාමට ඔවුන් සමත් විය. චීනය අද අවසන් තරග කිහිපයකට ක්‍රීඩා කළ නමුත් ඔවුන්ට කිසිදු රන් පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.

වෙනදා රන් පදක්කම් විශාල ප්‍රමාණයකින් ඇමරිකාව ඉදිරියෙන් සිටින නමුත් මෙවර ඔවුන්ට චීනයෙන් සහ ජපානයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල විය. එම අභියෝගය හමුවේ ඇමරිකාවට පළමු තැන රැකගැනීමට හැකි වූයේ එක් රන් පදක්කමක් සමග පමණි. මීට පෙර ‍මෙවැනි පදක්කම් සටහනක් දිස් වූයේ 1896 ඇතැන්ස් පළමු නූතන ඔලිම්පික් උළෙලේදී සහ 1912 ස්ටොක්හොම් ඔලිම්පික් උළෙලේදී පමණි. 1896 දී ඇමරිකාව රන් 11 දිනා ගන්නා විට සත්කාරක ග්‍රීසිය රන් 10 ක් දිනාගත් අතර 1912 දී ඇමරිකාව රන් 25 ක් දිනා ගන්නා විට සත්කාරක ස්වීඩනය රන් 24 ක් දිනා ගත්තේය.

මෙවර සත්කාරක ජපානය රන් 27 ක් දිනා ගනිමින් තෙවැනි ස්ථානයට පත් වූ අතර මේ ජපානය වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ඔලිම්පික් උළෙලයි. සිව්වැනි ස්ථානයේ පසුවන මහා බ්‍රිතාන්‍යය රන් 22 ක් දිනාගෙන ඇති අතර රුසියානු ඔලිම්පික් කමිටුව රන් 20 ක් සමග පස්වැනි ස්ථානයේ පසුවේ. ඕස්ට්‍රේලියාව රන් 17 ක් සමග හයවැනි ස්ථානයේ පසුවන අතර ඉන් පසුව නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය යන රටවල් රන් 10 බැගින් දිනාගෙන සිටී.

රටවල් 65 ක් එක් රන් පදක්කමක් හෝ දිනාගෙන සිටින අතර අවම වශයෙන් එක් ලෝකඩ පදක්කමක් හෝ දිනාගෙන පදක්කම් සටහනට එක් වූ රටවල් ප්‍රමාණය 93 කි.

දකුණු ආසියානු කලාපය නියෝජනය කරන රටවල් අතරින් පදක්කම් සටහනට ඇතුළත් වූ එකම රට ඉන්දියාව පමණි. ඉන්දියාව මෙවර රන් පදක්කමක්, රිදී පදක්කම් 02 ක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය. හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් එම රන් පදක්කම හිමි වූ අතර ඔලිම්පික් ඉතිහාසයේ මළල ක්‍රීඩාවලින් ඔවුන් දිනාගත් එකම රන් පදක්කම එය වීමද විශේෂත්වයකි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි