×

දිනේෂ් ප්‍රියන්ත හේරත් : කිලිනොච්චි වෙඩි බිමේ සිට තෝකියෝ පැරාලිම්පික් දක්වා

ශ්‍රී ලංකාවේ හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත ඊයේ දිනයේ ලෝක පැරාලිම්පික් උළෙලේ වාර්තා පොත්වලට එක් වූයේ පළමු ශ්‍රී ලාංකික රන් පදක්කම ලබාදෙමින් පමණක් නොව එම ඉසව්වෙන් ලෝක වාර්තාවක් ද තබමිනි.


32 හැවිරිදි දිනේෂ් ප්‍රියන්ත, F46 තරග කාණ්ඩයෙන් මීටර 67.79 ක් දුරට හෙල්ලය විසි කර නව ලෝක වාර්තාවක් තැබුවේය. මීට පෙර මේ ඉසව්වේ ලෝක ශූරයා වූ ඉන්දියාවේ දේවේන්ද්‍ර ජාජ්හාරියා (Devendra Jhajharia) හට මීටර 64.35 කට සහ රිදී පදක්කමකට සීමා වන්නට සිදු විය.

2019 ඩුබායි හි පැවති හෙල්ලය විසි කිරීමේ ලෝක ශූරතා තරගාවලියේදී රන් සහ රිදී පදක්කම් බෙදා ගත්තේ ද මේ දෙදෙනා ය. නමුත් එවිට රන් පදක්කම දේවේන්ද්‍ර විසින් ද රිදී පදක්කම හේරත් විසින් ද දිනාගත්තේය.

මාස ගණනක සිට තමන් මේ රන් පදක්කම සඳහා සූදානම් වූ බව දිනේෂ් ප්‍රියන්ත කියයි. මේ දිනවල තෝකියෝවේ ග්‍රීස්ම කාලගුණය ලංකාවේ දේශගුණයට බොහෝ දුරට සමාන වීම එයට මහත් රුකුලක් වූ බව කියයි. තරග වැදෙන අවස්ථාවේදී ඔලිම්පික් ක්‍රීඩාංගනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ක් විය.

ටෝකියෝ 2020 පැරාලිම්පික් නිල වෙබ් අඩවිය විසින් ද දිනේෂ් ප්‍රියන්ත හේරත් ව ‘War hero‘ හෙවත් රණ විරුවෙකු ලෙස හඳුන්වා දී ඇත.

ඒ, කිලිනොච්චි සටන නිසා ය.

2014 වසරේදී LTTE සංවිධානයට විරුද්ධව ගජබා රෙජිමේන්තුවේ 59 වන සේනාංකයේ සටන් වැද සිටියදී දිනේෂ් ප්‍රියන්තගේ වම් අතට වෙඩි වැදිණි. සිය වෙඩි වැදුණු අත යථා තත්වයට පත් කර ගන්නට වසර ගණනාවක් ගත විණියැයි ඔහු තෝකියෝ නුවරදී කියයි. වෙඩි වැදුණු සලකුණු තුනක් ඔහුගේ වම් අතෙහි තවමත් දක්නට ඇත. සටන් බිමෙන් ඉවත් වන්නට සිදුවූ වහාම ඔහු ක්‍රීඩා අංශයට යොමු විය. මුලින් එයට විරුද්ධත්වය පෑ බිරිඳ, පසුව සිය ක්‍රීඩාවට සහයෝගය ලබාදෙන්නියක් බවට පත් වූ බව ද ඔහු කියයි.

තිදරු පියෙක් වන ඔහු, ලංකාවේ හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩාවේ අනාගතය ගැන මෙසේ කියයි.

‘‘හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩාවට කොයි තරම් දරුවො අලුතෙන් එකතු වෙනවද කියල දන්නව නම් ඔබ පුදුම වෙයි. දැන් අපිට යුරෝපියානුවන් එක්ක තරග කරන්න පුළුවන් බව විශ්වාසයි. ආසියාව, ඉදිරි වර්ෂවලදී හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩාවේ සුපිරි බලවේගය බවට පත් වේවි..‘‘

මූලාශ්‍රය – https://www.paralympic.org/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි